තරුණ පරම්පරාව මාතෘ භූමියේ වගකීම සිය දෙවුර මත දරා තමාගේ අනාගතයත් රටේ අනාගතයක් සුබවාදී දිශානතියකට ගෙන යෑමට උත්සුක විය යුතු බවත් ඊයේ (07) දින ශ්‍රී ලංකා පොලිස් නිත්‍ය සේවයට එක්වීම ශක්තිමත් පියවරක් ලෙස සියල්ලෝම සිහි තබා ගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
නීතියේ විධානය ආධිපත්‍ය රට තුළ තහවුරු කිරීම වෙනුවෙන් සුභවාදී හැරවුමක් අවශ්‍ය බව අවධාරණය කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වූයේ කළුතර කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු කඳවුරේ ඊයේ (07) පැවති 82වන මූලික පුහුණු පාඨමාලාව හැදෑරූවන්ගේ විසිර යාමේ උත්සවයට එක් වෙමිනි.
තම වෘත්තියට කොතරම් සාධාරණයක් ඉටු කරනවාද, ගෞරව කරනවාද යන්න කෙනෙකුගේ වෘත්තීය ජීවිතය තුළින් නිරූපණය වන බවත්, එම වෘත්තීයභාවය සාක්ෂාත් කර ගැනීමෙන් මෙරටට අවශ්‍ය පරිවර්තනීය වෙනස ඇති කිරීමට දායක වන ලෙසත් ජනාධිපතිවරයා ආධුනික පොලිස් නිලධාරීන්ට ඇරයුම් කළේය.
බොහෝ ක්ෂේත්‍ර බිඳවැටුණු මොහොතක රට පරිවර්තනීය යුගයකට ගෙන යාමට පුරවැසියා දේශපාලන අධිකාරිය වෙනස් කිරීමට කටයුතු කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලන අධිකාරිය පර්වර්තනය කළ පමණින් රටක් සාර්ථක නොවන බවත් සියලු ක්ෂේත්‍රවලම සුබවාදී පරිවර්තනයක අවශ්‍යතාවත් පෙන්වා දුන්නේය.
මහජන අපේක්ෂාවේ භාරය, නවක පොලිස් නිලධාරින්ට පැවරෙන බවද එය ආරක්ෂා කරමින් සංවිධානාත්මක අපරාධවලට, මත්ද්‍රව්‍යවලට මේ රට ගොදුරක් වීමට ඉඩ නොතබන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අවධාරණය කළේය.
හදිසි ආපදා තත්ත්වයක් යටතේ පුරවැසියන් වෙනුවෙන් විශේෂ කාර්ය බලකාය සිදු කර තිබෙන සේවය ඉතා ප්‍රශංසනීය බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මූලික පුහුණුව සාර්ථකව නිම කරන ලද ආධුනික උප පොලිස් පරීක්ෂකවරු 118ක් ආධුනික පොලිස් කොස්තාපල් 231ක් මෙම පෙළපාලියේදී විසිර ගියහ.
පුහුණු පාඨමාලාවේදි විශේෂ දක්ෂතා දක්වන ලද නිලධාරීන්ට සහතිකපත්‍ර සහ සම්මාන පිරිනැමීම ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් සිදු කෙරිණි.
විසිර යාමේ උලෙළට එක් වූ ජනාධිපති අනුර කුමර දිසානායක වෙත සමරු තිළිණයක් පිළිගැන්වීමද මෙහිදී සිදු විය.
විශේෂ බලකායේ නිලධාරීන් විසින් සංග්‍රාමික භූමියේ සිදු කරන මෙහෙයුම් සංදර්ශනයක්ද ඉදිරිපත් කෙරිණි.
“නියතයි ජය ” යන්න සිය තේමා පාඨය කර ගනිමින් 1983 වර්ෂයේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය වර්තමානයේ ප්‍රභූ ආරක්ෂාව, අපරාධ, සංවිධානාත්මක අපරාධ මැඬලීම සහ මතින් තොර රටක් නිර්මාණය කිරීම සඳහා මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීමට යොදවා සිටින කීර්තිමත් ඒකකයකි.
