ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන ගණේමුල්ල සංජීව උසාවි විත්ති කූඩුව තුළදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය මේ වනවිට රටින් පලාගොස් ඇති බවට වූ සැකයක් ආරක්ෂක අංශ තුළ මතුව තිබේ.
මීට පෙර බොහෝ දෙනා සැක පළකර තිබුණේ ගණේමුල්ල සංජීව මරාදැමීම සඳහා සම්බන්ධ වී සිටි ඇතැම් පාර්ශ්ව විසින් සාක්ෂි වසං කිරීම සඳහා අදාළ ඝාතනයට ගිනි අවිය රැගෙන පැමිණි ඉෂාරා සෙව්වන්දි ඝාතනය කොට ඇති බවය. නමුත් එම සැකය තහවුරු කිරීම සඳහා කිසිදු සාක්ෂියක් මෙතෙක් ලැබී නොතිබීම හේතුවෙන්, මේ වනවිට බොහෝ දෙනා සැක පළකරන්නේ ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය රටින් පලාගොස් ඇති බවකි.
ගණේමුල්ල සංජීව උසාවි විත්ති කූඩුව තුළදී වෙඩිතබා ඝාතනය කෙරුණේ ඉකුත් පෙබරවාරි 19 වැනි දිනය. මේ වනවිට අදාළ ඝාතනය සිදුකොට මාසයකට වැඩි කාලයක් ඉක්ම ගොස් තිබුණද, සැකකාරිය සිටින ස්ථානයක් සොයාගැනීමට අදාළ අංශවලට තවමත් නොහැකි වී තිබේ.
මේ අතර, පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාද මේ වනවිට රටින් පලාගොස් ඇති බවට වගකිව යුතු අංශ සැක මතුකොට තිබේ.
කැලණිය ප්‍රදේශයේ ඉඩමක් විකිණීම සම්බන්ධ චෝදනාවක් මත පසුගිය දිනෙක පොලිසිය විසින් ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට ගියද, ඒ මහතා එහි සිටියේ නැත.
එමෙන්ම ස්ථාන කිහිපයක්ම පරීක්ෂා කොට තිබුණද මේ දක්වාම ඒ මහතා සොයාගැනීමට පොලිසියට අවස්ථාව ලැබුණේද නැත.
ඒ අනුව, බොහෝ පාර්ශ්වයන් සැක මතුකරන්නේ ප්‍රසන්න රණවීර මහතාද මේ වනවිට අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම සඳහා රටින් පිටව ගොස් ඇති බවය.
