කවුරුන් මොනවා කීවත් මත්පැන් කියන්නේත් යම් පිරිසකගේ ආහාරයක් බවත්, මත්පැන් නිශ්පාදනය සඳහා සහල් ලබාදීම නීති මගින් තහනම් කළත් තමන් විශ්වාස කරන්නේ එවැනි නීතිවලින් පාලනය නොකර සහල් ආශ්‍රිත අතුරු නිශ්පාදන සඳහා සීමා රහිතව ඉඩ ලබා දිය යුතු බවත් කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පැවසීය.
රටක් ලෙස අප කළ යුත්තේ වී වගාවෙන් ලැබෙන අස්වැන්න අතුරු නිශ්පාදනවලට යෙදවීම සීමා කිරීම නොව, ඉල්ලුමේ තරමට සැපයුම ලබා දීම බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම පාරිභෝගිකයා ගැන කතා කිරීමට පෙර ගොවියා ගැන කතා කළ යුතු බවත්, සහල් මිල ගැන කතා කිරීමට පෙර වී මිල සම්බන්ධව කතා කළ යුතු බවත් කී ඇමතිවරයා උඩින් හාල් මිල තිරණය කර අවසානයේ ගොවියගේ පැත්තට පැමිණ පලක් නැති බව පෙන්වා දුන්නේය.
ඇමතිවරයා මෙසේ ද කීවේය.
“හාල්වලින් යම් ප්‍රමාණයක් යනවා වෙනත් වෙනත් නිශ්පාදන. මට නම් හාල් වලින් වෙනත් වෙනත් නිශ්පාදන කරනවා කියලා දැනුනම මට නම් පුදුම සතුටක් තියෙන්නේ. ඒත් නීති පනවලා තියනවා හාල්වලින් සමහර නිශ්පාදන කිරීම තහනම් කරලා. අපේ රටේ ප්‍රධාන කෘෂිකාර්මික නිශ්පාදනයක් වෙච්ච සහල්වලින් අතුරු නිශ්පාදන තව තවත් බිහි වෙනවා නම් තමයි හොඳ. වැඩි වැඩියෙන්… අගය එකතු කරගෙන යන්න පුලුවන්නම්. ”
“බිස්කට්… කේක්… මම නම් කියන්නේ මත්පැන් වර්ගත්. මත්පැන් කියන්නෙත් ආහාරයක්. වෛද්‍යවරු මොනවා කිව්වත් අනෙක් අය මොනවා කිව්වත් මම කියන්නේ ඒකත් එක්තර පිරිසකට ආහාරයක්. මත්පැන් නිශ්පාදනයට හොරෙන් යනවා. අච්චරක් යනවා මෙච්චරක් යනවා. බියර් හදන්න යනවා….”
“මම නම් කියන්නේ ඒවට ගන්න තරමට හොඳයි… අපි දැනගන්න ඕන ප්‍රමාණවත් ලෙස අමතර ඒවටත් එක්ක නිශ්පාදනය කරන්න. ඒකට අපි සමත් මෙන්න ඕන. හැබැයි නීති තියනවා.”
“ඉතින් යම් කට්ටියක් ආවා ඉඩම් ඉල්ලන්න සෝගම් වවන්න. මම ඇහුවා මොකටද?. බියර් හදන්න. කම්පැණියක් ආවා. මම කිව්වා ඒවා කරමු. ප්‍රශ්නයක් නෑ. නමුත් එතකොටම රටේ හාල් හිඟයක්. ඊට පස්සේ එනවා දේශපාලන ප්‍රශ්නයක්. අපේ නලීන් බණ්ඩාර මහත්තයට එහෙම පුලුවන් සාහිත්‍ය දාලා…. අදත් වෙලාව මදි වුනේ සාහිත්‍ය දාන්න ගිහිල්ලානේ. ”
“අපි ඒ වෙලාවේ සෝගම් වගාවට ඉඩම් වෙන් කළා නම් කියනවා හාලුත් හිඟ වෙලාවේ බලන්ඩකො එන්.පී.පී ආණ්ඩුව වෙනත් ඒවට මේ ඉඩම් වෙන් කරලා වගා කරන්න යනවා කියලා. ඒ නිසා ඒක ප්‍රමාද කළා. බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දි ඒක කරන්න. ”
“අක්කර 200ක් ඉල්ලන් ආවා දූරියන් වවන්න. කෙලින්ම විදේශ රටවලට යවන්න. අපි එකඟයි. නමුත් පහුගිය කාලේ ඉඩම් නරක විදිහට පරිහරණය කරලා තිබ්බ නිසා වංචාකාරීව පරිහරණය කරලා තියන නිසා, සමහර ඉඩම් දීලා පරිහරණය කරලා නැති නිසා අපට මේ ගෙවිච්ච කාලේදී සිද්ධ වුනා ඉඩම් ලබාදීමේ දී සැලකිල්ලට ගන්න. කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙනුවෙන් ආයෝජකයො ආපු තරමට අපිට බැරි වුනා ඒ අයට ඉඩම් දෙන්න. ඇතිවෙලා තිබුණ තත්ත්වය නිසා. ” ඔහු පැවසුවේය.
ඇමතිවරයා වැඩිදුරටත් කීවේ ඉදිරියේ දී යැපුම් කෘෂිකර්මයෙන් එහා ගිය ව්‍යාපාරික කෘෂිකර්මාන්තය සඳහා ආයෝජනය කළ හැකි ආයෝජකයින් ගොවීන්ගේ ඉඩම් සමග සම්බන්ධ කර ඒකාබද්ධ කෘෂි ව්‍යාපෘතියක් සැලසුම් කිරීමේ විශාල උත්සාහයක් රජය සතුව ඇති බව ද ඇමතිවරයා පැවසුවේය.