ජනාධිපතිවරයා ලැජ්ජාසහගත විදිහට මගේ නඩුවට බලපෑම් කලා යයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. සති අන්ත පුවත්පතක් හා සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙසේ පවසා ඇත.
මම සතුටු වෙනවා. මට මන්ත්‍රි ධුරයක්වත් නොමැති මොහොතක අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයේ සිටින මොහොතක අධිකරණය මාව නිදොස් කට නිදහස් කිරීම් සම්බන්ධව. නැති නම් ඒකත් ඩීල් එකක් කියලා කියන්න පුළුවන්. දැන් එතුමා ජනාධිපති ධුරයේ. මට විපක්ෂයේ කිසිම මන්ත්‍රි ධුරයක්වත් නැහැ ඒ නිසා.
ඇත්තෙන්ම ඒ නඩුවේ මං හිතනවා අනුර කුමාර මැතිතුමාලා කිසිම සම්බන්ධයක් නෑ මේ නඩුව දාන්න. ඒ යහපාලන ආණ්ඩුවේ එක්තරා ඇමැතිවරයෙක් මාත් එක්ක ඇති පෞද්ගලික තරහක් නිසා දාපු බොරු නඩුවක්.
1997 මම කූටලේඛනයක් හැදුවා කියලා නඩුව දාන්නේ 2016. අවුරුදු 19කට පස්සේ තමා ඒ චෝදනාව මට එල්ල කරන්නේ. අවුරුදු විස්ස සම්පූර්ණ වුණා නම් නීතියට අනුව නඩුවක් එහෙම දාන්නත් බෑ. එතකොට මට එහෙ හොයා කූට ලේඛනයක් හැදුවා හදපු කූටලේඛනය අධිකරණයට ඉදිරිපත් කරලා නෑ. අත්අකුරු විශේෂඥයාගේ වාර්තාවකුත් නෑ. ඊළඟට කූට ලේඛනය කියන ලේඛනය සාක්ෂියට අස්සන් කරපු අයගෙන් අඩුම තරමේ පොලිස් ප්‍රකාශයක්වත් අරන් නැහැ. එවැනි නඩුවක් සතුරෙක්ගේ අතට පත්වුණත් ආත්මගරුත්වයක් තියාගෙන නඩු තීන්දුවක් මට එරෙහිව ලියන්න බැහැ. මොකද මහාධිකරණයෙන් එවැනි තීන්දුවක් දුන්නොත් අපි අනිවාර්යයෙන්ම අභියාචනාධිකරණයට යනවා. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. මෙවැනි පසුබිමක් තුළින් පරම සතුරෙක් විනිසුරු පුටුවේ හිටියත් එවන් නඩු තීන්දුවක් දීමේ හැකියාවක් නැහැ.
ඕකට සම්බන්ධ විදේශිකයා දැන් වයසයි. ඔහුට සිහියත් අඩුයි කියලා කියනවා. දැන් එහෙම කෙනෙක්ගෙන් කොහොම සාක්ෂි ගන්නද නේද?
නඩුව බලන්න. ඔහු ඇවිල්ලා පුරුද්දක් විදිහට බොරු කියන ඕස්ට්‍රේලියා ශ්‍රේෂ්ඨාධිකරණයට බොරු කියලා වැරදිකරු වුණ පුද්ගලයෙක්. ඕස්ට්‍රේලියාවේදී බංකොලොත් පුද්ගලයෙක්. ඒ කියන්නේ කිසිම ආදායමක් නොමැතිව සිටි අයෙක්. එවැනි පුද්ගලයෙක් මුදල් ගෙවාගෙන ඇවිත් නාටකයක් රඟපාන්න. නමුත් අධිකරණය එය නාටකයක් බව තහවුරු කළා.
ඔබලා දිගටම චෝදනා කළා ජේවීපී. එකේ ඉන්නෙ කුහකයෝ පළිගන්නවා. ද්වේෂ සහගතයි කියලා. ඕනෙ නම් ඉතින් මේක මොකක් හරි කරලා ඔබ හිරගත කරලා දාන්න තිබුණනේ නේද එහෙම හැසිරුණා නම්?
ඇත්තෙන්ම මාව හිර කරන්න උත්සාහ කරා මේ නඩුවෙදි.
කවුද?
ජනාධිපතිවරයා. ඇත්තටම ලැජ්ජාසහගත විදිහට මගේ නඩුවට බලපෑම් කළා.
වගකීමෙන් කියන දෙයක්ද මේ?
ඔව්. වගකීමෙන් කියන්නෙ. ඒකනෙ පත්තරේ දාන්නෙ. මං මේක බොරු කියලා කියනවා නම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්නේ. මේ නඩුව කල්දීමෙන් පසු ජනාධිපතිවරු හතර දෙනෙක් සිටියා. මේ නඩුව ගැන ඒ උගත් මහත්තුරු වචනයක් කතා කළේ නැහැ. නමුත් වර්තමාන ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියාවේ ජාතිකයකුට කූට ලේඛන හදලා වංචා කළා කියලා අවස්ථා තුනකදී මාව ගැන ප්‍රකාශ කිරීම හරහා අධිකරණයට අනිසි බලපෑමක් කළා.
කොයි කාලයේද ඒ අවස්ථා තුන සිදුවුණේ?
අවස්ථා තුන තමා ජනාධිපතිතුමා කුරුණෑගලදී කරපු කතාවක්. ඒ වගේම යාපනය සුහද හමුව. තුන්වැනි එක පාර්ලිමේන්තුවට ඇවිත් කරපු කතාව ජනාධිපති වුණාට පස්සේ.
මොකක්ද කරපු චෝදනාව?
මේ නඩුව ගොනු කිරීමෙන් පසු රටේ ජනාධිපතිවරු හතරදෙනකු හිටියා. වෙනත් කිසිම ජනාධිපතිවරයකු නොකළ අයුරින් වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා නඩුව ගැන ප්‍රසිද්ධියේ කතා කළා. නඩුවක් විනිශ්චයට භාජනය වී තිබෙන අවස්ථාවේ එම නඩුව පිළිබඳව කිසිම කෙනකු ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. ඒක පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල තියෙන කාරණයක්. පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ තියෙනවා විනිශ්චයට භාජනය වූ කරුණක් පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා කරන්නට බැහැ.
ඔබ ඉතාමත් බරපතළ ප්‍රකාශයක් සිදුකරන්නේ?
එවැනි තත්ත්වයක් ඇති කරලා කළේ දෑස් බැඳ සිටින යුක්තියේ දෙවඟනට අනිසි බලපෑමක් එල්ල කිරීමයි. ඒ කියන්නෙ හිඟන්නකුටවත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න බැහැ විනිශ්චයට භාජනය වූ කරුණක් පිළිබඳව. එවැනි කරුණක් පසුපසින්ම විනිසුරුවරුන්ගේ උසස්වීම් ඉහළට නිර්දේශ කරන තැනැත්තා ඒ විතරක් නෙමෙයි මහාධිකරණ විනිසුරුවරුන්ගේ විනය බලධරයා බවටත් පත්වෙන ජනාධිපතිවරයා නඩුවක් පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීම විනිශ්චකාරවරුන්ට කරන අනිසි බලපෑමක්. මේ රටේ තවමත් ස්වාධීන නීතිගරුක විනිසුරුතුමන්ලා සිටින නිසා ඒ බලපෑම් කිරීමේ උත්සාහයෙන් ප්‍රයෝජනයක් ගන්න ජනාධිපතිවරයාට නොහැකි වුණා.
ඔබ ඒක පොයින්ට් එකක් කිව්වා කිසිම ජනාධිපතිවරයකු මේ වගේ මැදිහත් වෙලා නෑ කියලා?
නැහැ. මම නැවත කියන්නම්. මේ නඩුව ප්‍රකාශයට පත්වුණාට පස්සේ ජනාධිපතිවරු හතර දෙනෙක් සිටියා. මෙම ජනාධිපතිවරයා හැර අනෙක් සියලුම අය මහත්වරුන් ලෙස හැසිරුණා. මේ නඩුව ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැතුව.