පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිදෙනකු සේවයෙන් පහ කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තීරණය කර ඇත.
කතානායකවරයා මෙම තීරණය ගෙන ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ නිර්දේශ අනුවය.
මෙම ලිංගික අතවර සිද්ධිය සිදුවී ඇතැයි පැවසෙන්නේ පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේදීය.
තොරතුරු අනාවරණය වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් අභ්‍යන්තර පරීක්ෂණ මණ්ඩලයක් පත් කරනු ලැබීය.
එම මණ්ඩලය දුන් මූලික විමර්ශන වාර්තාව අනුව සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුව පත් කෙරිණ.
එම කමිටු වාර්තාව පසුගිය දා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට බාර දෙනු ලැබීය.
මෙම ලිංගික අතවර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවන් 15 දෙනෙකුගෙන් කමිටුව ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණ.
මේ අතර පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදු වී ඇතැයි පැවසෙන විවිධ අඩන්තේට්ටම් සහ ලිංගික හිරිහැර සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මහලේකම්වරියගේ නියෝගය පරිදි මේ දිනවල විමර්ශනයක් පැවැත්වේ.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙම සිද්ධිය පාර්ලිමේන්තුවේදී පසුගිය 7 වැනිදා අනාවරණය කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරින් එම දෙපාර්තමේන්තුවේ සේවිකාවන් කිහිපදෙනෙකුගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මේ අතර එම හිරිහැර සිද්ධිය සම්බන්ධයෙන්ද බාහිර ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු සේවකයෝ කතානායකවරයාගෙන් ඉල්ලා සිටිති.
( සුජිත් හේවාජුලිගේ – ලංකාදීප)