gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුංචි ඡන්දය මාර්තු

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම බොහෝ දුරට මාර්තු මාසය දක්වා පමණ කල්යනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු 09 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දින නියම කරගෙන පැවැතිය ද, රජයෙන් මුදල් නොලැබීම මත එම වසරේ අප්‍රේල් මස 25 වැනිදා දක්වා මැතිවරණය කල් දැමිණි. පසුව මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවූයේ ප්‍රමාණවත් පරිදි මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම නිසාවෙනි.

කෙසේ නමුත්, පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ද ලබා දුන්නේය. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වීමෙන් පසු මැතිවරණය කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් විය. ඒ අනුව ලබන වසරේ ජනවාරි මාසයේ අග මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර තිබිණි.

කෙසේ නමුත්, මැතිවරණයට අදාළ නාමයෝජනා යළි කැඳවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ යළි නඩුවක් ගොනු කෙරුණු අතර, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් තීරණය කරනු ලැබුවේ ද පැරණි නාමයෝජනා අහෝසි කර නව නාමයෝජනා කැඳවීමේ අවශ්‍යතාව පවතින බවය. ඒ අනුව, පළාත් පාලන පනතට අදාළ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉදිරියේ දී අනුමත කිරීමට නියමිතය. එමෙන්ම, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුව ද ලබන ජනවාරි මස අගදී යළි කැඳවීමට නියමිතය.

කෙසේ නමුත් දැනට කැඳවා තිබෙන නාමයෝජනා අවලංගු කර නව නාමයෝජනා කැඳවීමට අදාළ සංශෝධන පළාත් පාලන පනතට එකතු කිරීමෙන් අනතුරුව බොහෝ දුරට මැතිවරණය මාර්තු මාසයේ දී පැවැත්වීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. 2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය 2022 වසරේ ඡන්ද හිමි නාමලේඛනය යටතේ පැවැත්වීමට නියමිත විය. එම නාමලේඛනයට අනුව මැතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් නව ඡන්දදායකයන් විශාල පිරිසකට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමිවන බව දේශපාලන පක්ෂ නියෝජිතයෝ කියා සිටියහ.

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් බොහෝ දෙනකු මේ වනවිට දේශපාලනය අතහැර ඇත. ඇතැම්හු විවිධ රැකියා සඳහා විදෙස්ගතව සිටිති. ඇතැමුන් මියගොස් තිබේ. තවත් කීපදෙනකු පාර්ලිමේන්තු මැතිවරණයට තරග කර පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ලෙස මේ වනවිට කටයුතු කරති. එමෙන්ම පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් ඇතැම් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මේ වනවිට ක්‍රියාකාරී තත්ත්වයක නැතැයි ද තොරතුරු අනාවරණය වේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර පළාත් පාලන ආයතන 340 ක් සඳහා සභිකයන් 8,000 ක් පමණ පළාත් පාලන මැතිවරණයේ දී තෝරා පත්කර ගැනීමට නියමිතය.

-සාලිය කුමාර ගුණසේකර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka