නිධානයක් ගොඩ ගැනීමේ අරමුණින් තම ගෙවත්තේ අනවසරයෙන් කැණීම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවකු අනවසරයෙන් කැණීමක් කළ බවට වන චෝදනාවට පමණක් වරද පිළිගැනීම නිසා කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න ඔහුට මුදලින් රුපියල් හැට දහසක දඩයක් නියම කළේය.
මෙසේ දඩ නියම වූයේ කුරුණෑගල පන්ලියද්ද පදිංචි කරුවකුටය.
සැකකරු විසින් කැණීම් කර ඇති සින්නක්කර ඔප්පු සහිත ඔහුගේ ඉඩමේ අදාළ භූමිය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වූයේ අදාළ භූමියේ කැණීමක් කර ඇති බවත් එම භූමිය පුරාවිද්‍යා භූමියක් නොවන බවත්ය. එහෙත් අදළ භූමිය කැණීම් කරන්නට ඇත්තේ නිධානයක් ගොඩ ගැනීමේ අරමුණින් විය හැකි බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.
සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ පැවැසුවේ රජයේ සහ ජාතියේ පිනට නිදන් පහළ වන බවත් එවැනි නිධානයක් රජයේ නිලධාරීන්ගේද මැදිහත්වීමෙන් මේ දිනවල වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේදී ගොඩ ගනිමින් තිබෙන බව රජයේ ප්‍රබල අමාත්‍යවරයකු වන සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළ බවයි.