විදෙස් ශ්‍රමිකයින්ට ගෞරව කිරීමක් ලෙස පවසා තීරුබදු සහන සහිතව විද්‍යුත් වාහන රටට ආනයනය කිරිමේ දි විදේශ ශ්‍රමිකයන්ට ලබා දෙන බව කී අයිතිය අවභාවිතා කරමින් සිදුකළ බරපතල දූෂණය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක විජිත හේරත් අද (06) පැවසුවේය.
වසර ගණනාවක් තිස්සේ විදේශ රටවල සේවය කරමින් දුක් විඳි මැදපෙරදිග රැකියා කරන ගෘහ සේවිකාවන් පවා රවටා ගනිමින් ඔවුන්ට යම් මුදලක් දී ඔවුන් හරහා අධි සුඛෝපභෝගී විද්‍යුත් වාහන රට තුළට ගෙන්වීමේ ජාවාරමක් සම්බන්ධව මාධ්‍යවේදියෙක් කළ ප්‍රශ්න කිරීම හමුවේ කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේය.
“විදෙස් රැකියාවල යෙදුනු ශ්‍රමිකයින්ට යම් ක්‍රමවේදයකට අනුව ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන්න දෙනවා කියලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. මේකෙ අක්‍රමිකතා ගොඩක් වෙලා තියනවා. පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවෙත් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙත් මමත් ඉන්න අවස්ථාවලදි මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.
එතනදි කරුණු වාර්තා වුනා අඩු කත්සේරු කරලා, වෙනත් රටවල ලියාපදිංචි කරලා වාහන ගෙනත් තියනවා කියන එක පිළිබඳව. ”
“එහෙම ගෙනාපු පාවහන බොහෝ ප්‍රමාණයක් තැන් තැන්වල සේල්වල තියනවා. ඒත් එක්කම පහුගිය කාලෙ මුදල් අමාත්‍යාංශයේන් ගැසට් එකක් නිකුත් කළා සැප්තැම්බර් මාසේ 30 වැනිදා වනවිට මෙම වාහනවල ලියාපදිංචිය අවසන් කළ යුතුයි, එතැනින් පස්සේ ලියාපදිංචි කරන්න බැහැයි කියලා. එතකොට දැන් වාහන ප්‍රමාණයක් තියනවා. නීත්‍යානුකූල ක්‍රමවලට ගත්තු වහන්ත තියනවා සේල්වල. ඒවත් රෙජිස්ටර් කරගන්න බැරි විදිහක් තියනවා. එහෙම ගැටලුවක් ඇති වෙලා තියනවා. ඒ අනුව දැන්
මේ වාහන ගෙන්වීම හා ඒවා ලබා දීමම ප්රශ්නකාරී සිද්ධියක්.”
“ඉදිරියේ දී නිවැරදි පරික්ෂණයක් අපි කරනවා. දැනට වාහන විකුණන ආයතනවල තියන ලියාපදිංචි නොකළ වාහනවලට සැප්තැම්බර් 30න් පස්සේ ලියාපදිංචි කිරීමට අවසරය දීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයෙන් තීන්දු ගතයුතුයි. අපි ඒ ගැන සලකා බලනවා. එය වෙනම කාරණාවක්. ඇත්තටම සමහර විදේශගත අය ඒ ගොල්ල සල්ලි වියදම් කරලා නෙමෙයි මේ වාහන අරන් තියෙන්නේ. වෙන අයගෙ සල්ලි මෙහාට එවලා, ආපහු උණ්ඩියල් ක්‍රමවලින් ඒ සල්ලි ඒ අයට යවලා වෙන වෙන ක්‍රමවලට තමයි මේ වාහන ලබා දීලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ පිළිබඳ විමර්ශනය කරනවා. ” ඇමතිවරයා පැවසුවේය.