2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ අපරාධකරුවන් අනිවාර්යයෙන් සොයා නීතිය හමුවට පමුණුවන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (06) කටුවාපිටිය පල්ලියට පැමිණ තවමත් එහි ඇති ලේ වැකි සුරුවම් අතර හිඳිමින් කටුවාපිටියේ වින්දිත ජනතාවට සහතික වුනේය.
ඉතිහාසයේ මුල්ම වතාවට ජනතාවගේ ප්‍රාර්ථනා හා පාලකයින්ගේ ප්‍රාර්ථනා සමපාත වූ රජයක් බිහිවී ඇති බව කී ජනාධිපතිවරයා, පාස්කු ප්‍රහාරය විමර්ශනය සිදුකර සාධාරණය ඉටුවනු දැකීමේ කටුවාපිටිය ජනතාවගේ ප්‍රාර්ථනාව තමන්ගේත් ප්‍රාර්ථනාව පැවසූවේය.
ඔහු පාස්කු වින්දිතයින් හමුවේ කටුවාපිටිය පල්ලියේ දී මෙසේ පැවසුවේය.
මා හිතනවා ඔබ පසුගිය ජනාධිපතිවරණයේදී එම දේශපාලන තිරණය ගන්නකොට තවත් සාධක ගොඩක් සැලකිල්ලට භාජනය කළා හා සමාන ලෙස මෙම පාස්කු ඉරිදා ප්‍රහාරයට සාධාරණය ඉටුවීම පිළිබඳ අපේක්ෂාවක් තිබුණා කියලා මා විශ්වාස කරනවා.
මේ ජන ප්‍රජාව ජිවත්වෙන බොහෝ ප්‍රදේශවල ජනතාව අප කෙරෙහි විශ්වාස තබා තිබෙනවා. මා හිතනවා ඒ විශ්වාසය සාධක ගොඩක් අතර ප්‍රධානම සාධකය පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරය පිළිබඳ සාධාරණයේ සහ යුක්තියේ අපේක්ෂාව. මම ඔබට සහතිකයක් දෙන්නම්. ඔබගේ අපේක්ෂාවත් මාගේ අපේක්ෂාවත් එකක්.
පළමු කොටම අප පාලනයක් ගොඩ නගලා තියනවා මේ රටේ පුරවැසියන්ගේ අරමුණත්, මාගේ අරමුණත් එකක් වෙන. මේ රටේ පුරවැසියන්ගේ අපේක්ෂාවත් මාගේ අපේක්ෂාවත් එකක් වෙන. මේ රටේ පුරවැසියන්ගේ බලාපොරොත්තුවත් මාගේ බලාපොරොත්තුවත් එකක් වෙන. ඒ නිසා ඔබ අපේක්ෂා කරන යුක්තිය පිළිබඳ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම නිරාකරණය කරලා සාධාරණය ඉටු කිරීම මාගේත් අපේක්ෂාව සහ බලාපොරොත්තුව.
එය දැනටමත් අපි ආරම්භ කර තිබෙනවා. ඉතා ඉක්මනින් අපේ පරීක්ෂණ දියත් කිරීම සදහා කටයුතු දියත් කරලා තිබෙනවා. ඔබ අප කෙරෙහි විශ්වාසය තබන්න. ඔබට අප මේ ප්‍රශ්නයේ දී සාධාරණත්වය යුක්තිය මේ සමාජය තුළ තහවුරු කරනවා. නැවත මෙවැනි ඛේදවාචකයක් අපේ රට තුළ ඇති නොවීම සඳහාවූ පරික්ෂණයක් අත් දැකීමක් අපේ රටට අවශ්‍යයයි. ඒ පිළිබඳව මා ඔබට සහතික කරනවා.” ජනාධිපති අනුර කුමාර දිසානායක කළ කතාව පහත දැක්වේ.
අද පෙරවරුවේ කටුවාපිටිය පල්ලියට පැමිණි ජනාධිපතිවරයා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමක් ද සිදුකළේය.
අනතුරුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයේ වින්දතයින් ලෙස ඔවුන්ගේ ගැටලු සෘජුවම තමන් වෙත ලබා ගත්තේය.