කුරුණෑගල සජබ මන්ත්රිවරයකු ඇතුළු විපක්ෂයේ මන්ත්රිවරු පිරිසක් දිනපතාම ජනාධිපතිවරයා හමුවී ඔහුගෙන් ප්රයෝජනය ගත්තද තවමත් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට නොපැමිණි බවත්, ඊට හේතුව ඔවුන්ගේ කොන්ද පණ නැතිකම බවත් හිටපු ඇමැති මනූෂ නානායක්කාර පැවසීය. එම පිරිස ආදරය කරන්නේ ජනතාවට නොව තනතුරුවලට බවද හෙතෙම කීවේය.
‘ගිනිගත් දේශය නිවීමට ජනපතිට යෝධ ශක්තියක්වූ අපේ ඇමැති’ නමින් කුරුණෑගලදී පැවැති උත්සවයකදී ඔහු මේ බව කියා සිටියේය.
ඇමැති තනතුර දරන ලද කාලයේදී විදේශ රැකියා ක්ෂේත්රයේ ප්රවර්ධනය වෙනුවෙන් මනූෂ නානායක්කාර ඉටුකරන ලද සේවය අගැයීම සඳහා විදේශ රැකියා බලපත්රලාභීන්ගේ දේශපාලන සංසදය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.
‘‘මගේ දේශපාලන ගමනේදී මා ගැන පමණක් සිතුවානම් මේ වාගේ අභියෝගාත්මක තීරණයක් ගන්නේ නැහැ. හරි දේශපාලනඥයෙක් තමන්ගේ වාසියට වැඩ කළානම් ඔහු නියම දේශපාලනඥයෙක් නොවෙයි. අපි ඒවාට විරුද්ධව කතා කළා වගේම ඒ ප්රශ්න විසඳන්නත් නියම දේශපාලනඥයන් විදිහට ඉදිරිපත් වුණා. ඒ සඳහා පක්ෂය මාරු කිරීමට පවා සිදු වුණා. අපි එහෙම කරනකොට සමහරු ඇහුවා ලජ්ජා නැද්ද කියලා. අහිංසක මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න මොකටද ලජ්ජා වෙන්නේ? ලජ්ජා වෙන්න ඕනෑ මිනිස්සුන්ගේ ප්රශ්න නොදැක්කා වගේ අහක බලාගෙන හිටිය අයයි.’’
– පුෂ්පකුමාර ජයරත්න