අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය ජූලි මස 8 වනදයි. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකුගේ මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.
කෙසේවෙතත් එම ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනා සහ ඝාතනය මෙරට සිට මෙහෙයවූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහයද පැතූ අතර එවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීමෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාශය ඊයේ (23) සිදු කළ විශේෂ මෙහෙයුමකදී ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ දෙහිවල කව්ඩාන ප්‍රදේශයේදී. පොලිසිය පැවසුවේ අත්අඩංගුවට පත් පිරිස අතර ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුවෙකු වන අජිත් රෝහණ නොහොත් චණ්ඩි වැමැත්තාද සිටින බවයි.
ඔහු 31 හැවිරිදි අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර හිටපු යුද හමුදා සෙබළෙකුද වන බව පැවසේ.
ඔහු 14 වන සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ පුද්ගලයකු වන අතර මින් පෙරද මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවෙකි.