ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව තමිල් මට්ටල් කුට්ටලි පක්ෂ නායක හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වි විග්නේෂ්වරන් ඊයේ කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කර සිටියේය.
පෙරේදා දිනය වනතුරු තමන් ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙළට සහය දැක්විය යුතු බව කියමින් සිටි සී.වී. විග්නේෂ්වරන් අද මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කරන්නේ දෙමළ පොදු අපේක්ෂකයෙක්ව පත් කිරීමට තමන් සැරසෙමින් සිටින බවය.
” දෙමළ පොදු අපේක්ෂකයෙක් අපි පත් කරනවා. අපි එයාට තමයි ඡන්දය දෙන්නේ. වෙන කාටවත් නෙමෙයි. ” විග්නේෂ්වරන් පැවසුවේය.
සියලු පක්ෂ ඒ සඳහා එකතුවන බවත් පක්ෂ හත් දෙනෙක් පමණ එකතු වී පසුගිය සතියේ වව්නියාවේ රැස්වීමක් කැඳවූ බවත් ඔහු කීවේය.
“ඒ අනුව අපි කමිටු පත් කලා. ඒ කමිටුවලින් කවුද අපේ අපේක්ෂකයා කියලා නම් කරල දෙමළ ජනතාවට ඒ අපේක්ෂකයට ඡන්දය දෙන්න කියලා අපි කියනවා. ”
“ඒ උනාට අපි දිනන්නේ නෑ. මෙච්චරකල් අපට වෙච්චි දේවල් ඔක්කොම කියලා මිනිස්සුන්ව එකඟ කරගෙන අපේ තීරණය මොකක් ද කියලා ලෝකයට අහන්නක බල කරන අවස්ථාවක් හැටියට මේ අවස්ථාව අපි භාවිතා කරනවා. ‘” විග්නේෂ්වරන් පැහැදිලි කළේය.
මේ කරන වැඩෙන් එක් අපේක්ෂකයෙක් වෙත සියයට පනහක ප්‍රතිශතය ලැබීම වැලැක්වී නොයන්නේදැයි මාධ්‍ය ඇසූ ප්‍රශ්නයට විග්නේෂ්වරන් කීවේ එය සිදුවිය හැකි බවය.
“ඒකට මම කිව්වෙ දෙවැනි තුන්වැනි මනාපය කාටහරි දෙන්න පුලුවන් කියලා. ඒකට අපේ නායකයො කැමති වෙන්නෙ නෑ. අපි කොහොම හරි අපේ පලවෙනි ඡන්දය දෙන්නේ අපේ අපේක්ෂකයට. ” ඔහු අවධාරණය කළේය.