ටෙලිකොම් සමාගම විකිණීම සඳහා ගැනුම්කරුවන් සොයාගැනීමේදී විනිවිදභාවයක් නොමැති ක්‍රමවේදයක් අනුගමනය කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැසීය. ගැනුම්කරුවන් තෝරාගත් ක්‍රමවේදය පිළිබඳ වගකීමක්, වගවීමක් සහ විනිවිධභාවයක් නොමැති බවත්, සුදුසුකම් ලැබූ බවට ප්‍රසිද්ධ කළ ඉල්ලුම්කරුවන් දෙදෙනාගෙන් එක් අයකු Disqualified කර ඇති බවත්, ටෙලිකොම් සමාගම විකිණීම ගජමිතුරු ධනවාදී දේශපාලන ගනුදෙනුවක්ද යන්න පිළිබඳ බොහෝ දෙනකු තුළ සැකයක් මතුව ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය. පහත පළවන්නේ සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ එම සම්පූර්ණ ප්‍රකාශයයි.
ගරු අග්රාමාත්යතුමත් මේ සභාවේ සිටින අවස්ථාවේ මම ඔබතුමාට මේ ප්රශ්නය ඉදිරිපත් කරන්න කැමැතියි. ටෙලිකොම් සමාගම විකිණීම සඳහා ගැනුම්කරුවන් සොයාගැනීමේදී විනිවිදභාවයක් නොමැති ක්‍රමවේදයක් අනුගමනය කරලා තිබෙනවා. මම ඔබතුමාගේ අවධානය ඒ සඳහා යොමුකරනවා. ඒ ගැනුම්කරුවන් තෝරාගත්ත ක්‍රමවේදය පිළිබඳ වගවීමක් නෑ, වගකීමක් නෑ, විනිවිදභාවයකුත් නෑ, පාරදෘශ්යභාවයකුත් නෑ. සුදුසුකම් ලත් බවට ප්‍රසිද්ධ කරපු ඉල්ලුම්කරුවන් දෙදෙනෙක්ගෙන් එක්කෙනෙක් එක්වරම Disqualified කරලත් තියෙනවා. බොහෝ දෙනකුගේ අවිශ්වාසයක් තියෙනවා මේකත් ගජ මිතුරු ධනවාදී දේශපාලන ගනුදෙනුවක්ද කියන කාරණාව සම්බන්ධයෙන්.
විශේෂයෙන්ම මේ ප්රශ්නය තුළ ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමුකරන්න කැමැතියි මේ වත්කම් ගණනය කිරීමේදී බොහොම බරපතළ අක්රමිකතාවන් සිදුවෙලා තිබෙනවා. වත්කම් ගණනය කිරීම ටෙලිකොම් කෝපරේෂන් එකත්, ටෙලිකොම් ආයතනයත්, ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් කෝපරේෂන් එකත් කරලා තියෙනවා. හැබැයි රජය මගින් ටෙලිකොම්හි ඉඩම් සහ ගොඩනැගිලිවල පමණක් වටිනාකම තක්සේරු කරලා තියෙනවා. කේබල් පද්ධතිය සම්බන්ධව මධ්‍යස්ථාන දිවයින පුරා ටෙලිකොම් සේවා සපයන කොපර් කේබල් ජාලය, ෆයිබර් කේබල් ජාලය දිවයින පුරා ඇති මධ්‍යස්ථාන 500කට ආසන්න සංඛ්‍යාවක ඇති ටෙලිකොමියුනිකේෂන් උපකරණ, සම්ප්‍රේෂණ කුලුනු, ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථාන, උපකරණ ආදී විශාල වත්කම් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි රජය ක්‍රියාත්මක කරපු ඒ වත්කම් ගණනය කිරීමේදී ටෙලිකොම් ආයතනය දෝෂසහිතව මේ ක්‍රියාව ක්‍රියාත්මක කරලා තිබෙනවා.
ඒ වගේම මම සඳහන් කරන්න කැමැතියි ටෙලිකොම් කොටසක මිල ගණනය කිරීමේදී සමස්ත ඉඩම්වල වටිනාකම මිලියන 400ක් ලෙස ගණනය කරගෙන තමයි කොටස් මිල නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි 2023 ටෙලිකොම් එකේ මූල්‍ය වාර්තාවට අනුව ඉඩම්වල නිවැරැදි වටිනාකම රුපියල් මිලියන 58,000යි. මෙහෙම තත්ත්වයක් තිබියදී මේ වටිනාකම අවතක්සේරු කරලා කුණුකොල්ලෙට ටෙලිකොම් එක විකුණන්නට යන ක්‍රියාදාමය අපි තරයේ හෙළාදකිනවා.
ගරු අග්රාමාත්යතුමනි, මේ ටෙලිකොම් ආයතනය වසර ගණනාවක් පුරා අධික ලාභ ලබපු ආයතනයක්. ඒ වගේම බදු සහ ලාභාංශ ලෙස රුපියල් මිලියන 25,000කට ආසන්න මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීලා තිබෙනවා. අපිට දැන් තර්කයක් තියෙනවා දිගින් දිගටම පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ, යම් ක්‍රමවේදයක් තුළ. ඒක අපි පිළිගන්නවා. හැබැයි කොහොමද මේ ලාභ ලබන ආයතන කුණුකොල්ලෙට විකුණන්නේ. හැබැයි එක දෙයක් තිබෙනවා එක අවුරුද්දක විතරක් මේක පාඩුවක් ලබලා තිබෙනවා. මං ළඟ සංඛ්‍යාලේඛන තිබෙනවා. මම ඒවා සභාගත කරන්නම්. කොවිඩ් සමයේ බිලියන 12ක් ශුද්ධ ලාභය. හැබැයි මොකක්ද කළේ? ටෙලිකොම් එක විකුණා දමන්නට ඒ ටෙලිකොම් එකේ චෙයාර්මන්ව පන්නලා දැම්මා. ඔහුව පන්නලා දමලා එකපාරටම ටෙලිකොම් එකේ ලාභය අඩුවුණා. දැන් අලාභ ලබන ආයතනයක් වුණා. ඒක කොහොමද වුණේ?
මම පැහැදිලිව කියන්න කැමැතියි මේ හැම දෙයක්ම කරන්න ඉස්සෙල්ලා වෝහාරික විගණනයක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනේ. මේක ජාතික අපරාධයක්. ලාභ ලබන ආයතන මේ විදියේ කුණුකොල්ලෙට ගජමිතුරු ධනවාදය හරහා විකුණා දැමීම ඉතා අසික්කිත දෙයක්. ඒ නිසා ගරු අගමැතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා ඔබතුමත් රාජ්‍ය දේපළ විකුණා දමන ක්‍රියාදාමයට විරුද්ධ වුණු පුද්ගලයෙක්. ලාභ ලබන ටෙලිකොම් එක විකුණන්න තිබෙන ජනවරම මොකක්ද? ඒ නිසා මේ කැත වැඩ කරන්න එපා. ලාභ ලබන ආයතන මෙහෙම කුණුකොල්ලෙට විකුණන්න එපා. අපි පිළිගන්නවා අලාභ ලබන ආයතනවලට මෙහෙම යන්න බෑ. ඒවා ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. නමුත් මේක ලාභ ලබන, අපේ රටේ දැවැන්ත සම්පතක්. ඒ නිසා කරුණාකරලා කැබිනට් මණ්ඩලයේදී මේ ගැන කතාකරලා මේ පිළිබඳ නැවත සාකච්ඡා කරන්න.
-mawratanews