තමන්ට පහර නුදුන්බව මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ නම් එය සම්පූර්ණ අමූලික අසත්‍යයක් බව දින 10ක් පුරා රෝහල්ගතව සිට ඊයේ (13) නිවසට පැමිණි නුවර දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පවසයි.
මාධ්‍යයට කරුණු දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මේ බරපතල සිද්ධිය වී දින 10ක් ගතවී ඇතත් සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට කටයුතු කර නොකිරීම සම්බන්ධව තමන් දැඩි ලෙස කණගාටු වන බවය.
“මගේ දකුණු පාදයේ ප්ලේට් එකක් දාලා තියනවා. තාම මට ඇවිදගන්න බෑ. දින දහයක් වෙලා සිද්ධියට. පොලිසිය කට උත්තර ගත්තා. අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාවක් ගත්තා. කෙසේ වෙතත් තාම අත් අඩංගුවට ගැනිමක් සිද්ධ වෙලා නෑ. ඒ පිලිබඳව බොහොම කණගාටු වෙනවා.”
“මේක සුලුපටු දෙයක් නෙමෙයි. මහින්දානන්ද අලුතමගේ කියනවා නම් පහරදීමක් සිද්ධ වුනේ නෑ කියලා ඒක සම්පූර්ණ අමූලික අසත්‍යයක්. “ තමන් මේ සම්බන්ධව නඩු මගට යෑමට සූදානම්වන බවද ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අවධාරණයෙන් පැවසුවේය.
මේ පිළිබඳව අද මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යයට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ සාක්ෂි ප්‍රකාශ අනුව සිදුවීමේ සත්‍ය අසත්‍යතාවය නිරවුල් කරගෙ අදාල පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.
දැන් සිදුවී ඇති තත්ත්වය අනුව සාක්ෂිවල යම් කිසි පරස්පරතාවයක් ප්‍රකට වන බව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ට දන්වා ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමතිවරයා සහ පොහොට්ටුවේම පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ අතර මෙම ගැටුම ඇතිවූයේ පසුගිය 03 වැනිදා ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුවය.