හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට සහ ව්‍යාපාරික අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව මහාධිකරණයේ අල්ලස් නඩුවක් විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණ දී තිබූ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබේ.
ඇලෝසියස් මහතාට අයත් බව කියන සමාගමක් මගින් රවි කරුණානායක මහතා නැවතී සිටි සුඛෝපභෝගී මහල් නිවාසයක් සඳහා වාරික ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් මෙම නඩුව පවරා තිබුණි.
මහාධිකරණ නඩු විභාගය ආරම්භයේදී මූලික විරෝධතාවක් ඉදිරිපත් කරමින් කරුණානායක මහතාගේ නීතීඥවරු තර්ක කළේ කැබිනට් අමාත්‍යවරයකු වූ තම සේවාදායකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව “රාජ්‍ය සේවකයෙකු” ලෙස සැලකිය නොහැකි බැවින් නඩුව ඉදිරියට ගෙන යා නොහැකි බවයි. පැමිණිල්ල මෙම තර්කයට විරුද්ධ විය. පසුව එම මූලික විරෝධතාව නිෂ්ප්‍රභ කළ මහාධිකරණය නඩු විභාගය පවත්වාගෙන යන ලෙස පැමිණිල්ලට නියම කළේය.
කෙසේ වෙතත්, කරුණානායක මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර, එය කොළඹ මහාධිකරණයට අදාළ නඩුව විභාග කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. අනතුරුව CIABOC හි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා කිරීමට විශේෂ අවසරයක් ගොනු කරන ලදී.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ නියෝගය අත්හිටුවමින් ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළහ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියමිත කාල සීමාව තුළ ලිඛිත දේශන ගොනු කරන ලෙස ද පාර්ශවකරුවන්ට නියම කළ අධිකරණය සැප්තැම්බර් 4 වැනිදා කරුණු දැක්වීමට නියම කළේය.
