gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සෙවනගල වෛද්‍ය අධිකාරීවරයා සහ පවුලම ඝාතනයට ජල ටැංකියට වස මුසු කළ රෝහල් සාත්තු සේවකයාට වසර 20ක් සිර දඬුවමක්!

වසර 11ට පෙර සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වරයාගේ නිල නිවසේ පිහිටි වතුර ටැංකියට වස මුසු කර වෛද්‍ය වරයා, බිරිය හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමට තැත්කළ එම රෝහලේම සාත්තු සේවකයෙකුට රුපියල් 20,000ක දඩයක් හා වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා  විසින් නියම කළේය. 
මෙලෙස සිර දඩුවම් නියම කෙරුණේ එවකට සෙවනගල රෝහලේ සාත්තු සේවකයෙකු ලෙස කටයුතු කළ සෙවනගල පදිංචි 53 හැවිරිදි නම්මුනි ආරච්චිගේ නිමල් රංජිත් නැමැති අයෙකුටය.

2012.02.03 වන දින එවකට සෙවනගල ශ්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වරයා වශයෙන් සේවය කල ජී.වී. චාමින්ද විතානගේ මහතාගේ නිල නිවසේ පිහිටි ජල ටැංකියට කිසියම් අයෙකු වස මුසු කර තමන් ඇතුළු පවුලේ උදවිය ඝාතනය කිරිමට තැත් කර ඇති බවට අදාල වෛද්‍ය වරයා විසින් සෙවනගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව පරීක්ෂණ පැවැත් වූ සෙවනගල පොලිසිය සිද්ධියට සැකපිට සෙවනගල රෝහලේ සේවය කල නිමල් රංජිත් නැමති සාත්තු සේවකයා හා එම රෝහලේම වෙනත් වෛද්‍ය වරයෙකු අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී පැවති මුලික නඩු විභාගයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු වෛද්‍ය වරයාට එරෙහිව සාක්ෂි ඉදිරිපත් නොවිම හේතුවෙන් ඔහු නිදොස් කෙරුණු අතර සාත්තු සේවකයාට එරෙහිව නිතිපති වරයා විසින් අධි චෝදනා 04ක් යටතේ ඇඹිලිපිටිය මහාධිකරණය හමුවේ නඩු පවරණ ලදි.

නඩු විභාගයේදී රජයේ රස පරීක්ෂක කේ.ඒ.පී.බී.පෙරේරා   සාක්ෂියට කැදවා තිබු අතර එහිදි ඔහු සාක්ෂි දෙමින් අධිකරණය හමුවේ පවසා තිබුනේ එච්.සී.පී.ඒ. (2 මීතයිල් 4 ක්ලෝරෝෆිනොක්සි ඇසිඩ්) නැමැති වල් නාශකය අදාල ජල ටැංකියේ පිහිටි ජලයට මුසුව තිබූ බවයි. 

එමෙන්ම වැඩි දුරටත් කොළඹ වෛද්‍ය පීඨයේ විෂවේදී අධිකරණ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන්ද අධිකරණය වර්තාවක් ලබා ගෙන තිබූ අතර ඒ  ඉන්ද අදාල වල් නාශකය පිළිබද හා එහි ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කර තිබුණි. 

ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සැකකාර සාත්තු සේවකයාට එරෙහිව නගා තිබු අධි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් විය.

ඒ අනුව ඉදිරිපත් වු සියළු සාක්ෂි සළකා බැලූ ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු වරයා චුදිතට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණු අතර එය වසර 10කින් සමගාමීව ගෙවී යායුතු බවටද බන්ධනාගාර අධිකාරී වරයාට නියම කෙරුණි.

මීට අමතරව අදාල චෝදනා සදහා රුපියල් 5000 බැගින් රුපියල් 20,000ක දඩයක්ද නියම කෙරුණි.

නීතිපති වරයා වෙනුවෙන් සෙවනගල පොලිසියේ පොලිස් සැරයන් (41742) ඇතුගල සමග රජයේ අධිනීතිඥ කලන කොතලාවල මහතා පැමිණිල්ල මෙහෙයවන ලදි.
අදාල නඩු තීන්දුව පසුගිය 21 වැනිදා ලබා දී ඇත. 

-සූරියවැව නුවන් ජයසේකර
-lankasara
 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka