gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කකුල් තුනේ කනප්පුවකින් ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක ටෝනි මාටින්ගේ ඝාතකයින් සොයාගත් හැටි

ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යනු විද්‍යාත්මකව සහ කලාත්මකව පැමිණිල්ල මෙහෙයවීමට නම් දරා ඇති විශිෂ්ඨයෙකි. කොබෙයිගනේ රූප සුන්දරී ඝාතනය, ටෝනි මාටින් ඝාතනය, මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සහ හොකන්දර සය පුද්ගල ඝාතනය ආදී ආන්දෝලනාත්මක නඩු රැසක පැමිණිල්ල මෙහෙයවීමට ඔහු දායක වී ඇත. සිය අත්දැකීම් නිර්මාණශීලීව යොදාග්නිමින් නීතියද පැහැදිලි කරමින් ඔහු විසින් රචිත 'යළි මැවෙන අපරාධයක්' කෘතියේ සංස්කරණය කළ දෙවන මුද්‍රණයද පසුගියදා ජනගත කෙරිණ. 
ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න නීතිපති දෙපාර්තමේන්තුවෙන් සමුගත්තේ ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු ලෙස කටයුතු කරමින් සිටියදීය. මේ, ඔහුගේ අත්දැකීම් අලලා ලියැවෙන ලිපි මාලාවේ දෙවැන්නයි.

මක් කමක් ඇති පවුලක ඉපදුණු කඩවසම් තරුණයකු වූ ටෝනි මාටින් සුප්‍රසිද්ධ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ රගර් ක්‍රීඩකයෙකි. ඔහුට මුදල්හදල් වලින්ද කිසිඳු හිඟයක් නොවීය. වයස අවුරුදු 34ක් වූ ඔහු සිය මව සමඟ කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජය අසල නිවසක වාසය කළේය. නිවසේ ප්‍රධාන කොටසේ මව වාසය කළ අතර ටෝනි වාසය කළේ එහිම වූ ඇනෙක්සියේය. 1986 මැයි මස 16 වන දා ටෝනි මාටින් ගේ දිවියට තීරණාත්මක විය. අලුයම 2.45ට පමණ ටෝනිගේ මවට ඇසුණේ "මමී මමී" යනුවෙන් කලබලකාරී කෑගැසීමකි. අනතුරක සේයාව ඉව වැටුණු බැවින් මව වහාම පොලිසියට ඇමතුමක් දුන්නාය. ඔවුන්ගේ නිවසට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණීමට විනාඩි 15ක් පමණ කාලයක් ගතවිය. ඔවුන්ගේ නිරීක්ෂණයට දුරදීම හසුවූයේ හයිලෙවල් මාර්ගයට මුහුණලා ඇති යකඩ ගේට්ටුව තරමක් විවරව  ඇති බවයි. යකඩ ගේට්ටුව වසා ඇතිවිට ප්‍රධාන මාර්ගයේ සිට බලන අයෙකුට ඉඩමේ අභ්‍යන්තරය නොපෙනේ. විවෘත කර තිබූ ගේට්ටුවෙන් ඇතුල් වූ පොලිස් නිලධාරීන් දුටුවේ ටෝනි මාටින්ගේ මෝටර් රථය ඇනෙක්සියේ ඉදිරිපස කොටසේ නවතා ඇති අයුරුයි. ඇනෙක්සියේ දොර අසල තිබූ ජනේලයේ සිට ප්‍රධාන ගේට්ටුව දක්වා වූ පාරේ රුධිරය සහිත පාවහන් සලකුණුය. ඇනෙක්සියේ දොර වසා තිබිණ. එහෙත් යාබද ජනේලයේ පියන විවෘත  කර තිබූ අතර, එහි ලී රාමුවට සම්බන්ධ යකඩ රාමුව ඉවත් කර බිම දමා ඇති අයුරුද පොලිස් නිලධාරීහු නිරීක්ෂණය කළහ. කිසිවකු එම ස්ථානයෙන් ඇතුළු වී හෝ පිටවී ඇති බව පෙනී යයි.

ටෝනි මාටින්ගේ මව වාසය කරන්නේ යාබද ප්‍රධාන නිවසේය. පොලිස් නිලධාරීහු ඇනෙක්සියේ දොරෙන් ඇතුළු නොවී මවගේ නිවස වෙත ගොස් ඇයට කතා කළහ. ප්‍රධාන නිවස සහ ඇනෙක්සිය අතරද දොරක් ඇත්තේය. එය ආවරණය වන සේ ප්‍රධාන නිවසේ අල්මාරියක් තබා ඇත. මවගේ නිවසට ගිය පොලිස් නිලධාරීන් ටෝනි මාටින් වාසය කළ ඇනෙක්සියට ප්‍රවිෂ්ට වූයේ අල්මාරිය ඉවත් කර එතැන තිබූ දොර විවෘත කිරීමෙනි. අල්මාරියේ බර නිසාම මහලු මවට එය ඉවත් කළ නොහැකිය. එමෙන්ම  ඈ ඒ සඳහා උත්සහයක් හෝ දරා නැත. අල්මාරියේ බරට වඩා අනතුරෙහි බර හදවතට දැනුණ නිසා පොලිසියෙන් පැමිණෙන තෙක්ම ඇ සියල්ල දරා ගනිමින් උපේක්ෂාසහගතව සිටියාද විය හැකිය. පොලිස් නිලධාරීන් මවගේ ගෙදර දොර ඇර ඇනෙක්සියට එබී බැලුවා පමණි. ආරෝහ පරිණාහ දේහයකට හිමිකම් කියන රගර් ක්‍රීඩක ටෝනි මාටින් සිය ඇඳ අසල බිම නිරුවතින් වැටී සිටියේය. ඔහුගේ සිරුරෙන් ගලාගිය රුධිරය ඒ අවට දැකිය හැකි විය. අපරාධකරුවන් ඒ වනවිටද එම ස්ථානයෙන් පලා ගොසිනි.

"මේ භූමිය මැනැවින් නරඹා, රස විඳ ඔබ ආපසු යන්න. ඔබ ගෙනා කිසිවක් මෙහි තබා නොයන්න. එමෙන්ම, මෙහි ඇති කිසිවක්ද රැගෙන නොයන්න. ඔබ ගෙනා පියසටහන් පමණක් මෙහි තබා යන්න." ප්‍රසිද්ධ වනාන්තරයක පිවිසුම් ස්ථානයේ ප්‍රදර්ශනය කර ඇති දැන්වීමකි. අපරධ ස්ථානයක් සම්බන්ධයෙන්ද එය අදාළය. අපරාධයක් සිදුවූ තැනකට පසුව පැමිණෙන අයෙකුගේ පියසටහන් පවා වැදගත් සාක්ෂි විනාස කරන්නක් විය හැකිය. අපරාධ ස්ථානයක් යනු සාක්ෂි උල්පතකි. ටෝනි මාටින් ඝාතනය පරීක්ෂා කිරීමට පැමිණි පොලිස් නිලධාරීහු බොහෝ ප්‍රවේසම්සහගත වූහ.යම්හෙයකින් ඔවුන් අපරාධකරුවන් ඇනෙක්සියට පිවිසි තැනින්ම ඇතුළු වූවානම් වටිනා සාක්ෂි යටපත් වීමට ඉඩ තිබිණ. ඇනෙක්සියට ඇතුළුවීමට භාවිතයට නොගන්නා දොරකින් ඇතුළු වීම ඔවුන් විසින් ගනු ලැබූ ප්‍රඥාවන්ත තීරණයකි. ඇල්බට් අයින්ස්ටයින්ගේ සුප්‍රසිද්ධ ප්‍රකාශයක් තිබේ. "ලෝකය භයානකය. ඒ, විසම පුද්ගලයින් නිසා නොව. විසම පුද්ගලයින් සම්බන්ධයෙන් අනෙකුත් අය විසින් කිසිවක් නොකරනු ලබන නිසාවෙනි." එනිසා ලෝකය අනතුරුදායක තත්ත්වයෙන් මුදාගැනීම පිණිස පොලිස් නිලධාරියා තමා සතු රාජකාරිය නොපිරිහෙලා ඉටුකර අපරාධකරුවන්ට එරෙහි සාක්ෂි එකතු කරගත යුතු බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න පෙන්වා දෙයි. අපරාධ ස්ථානයක් පරීක්ෂා කිරීමේදී පොලිසිය එය සිහිතබා ගන්නේය.

රගර් ක්‍රීඩක ටෝනි මාටින් ඝාතන නඩුව පසුගිය දශක කිහිපය පුරාම මෙරට දැඩි අවධානයට ලක්වූවකි. ශ්‍රී ලංකාවේ සාක්ෂි නීතිය සම්බන්ධයෙන්ද එය ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.
අපරාධය සිදු වූ දා පුතුගේ කෑගැසීම ඇසූ මව නිවසේ විදුලි පහන් දැල්වීමට ක්‍රියා කළාය. ඒ අතර කලබලයක් සහ කිසිවකු පැන යන බව ඇයට ඇසුනද ඈ කිසිවක් දුටුවේ නැත. එනිසා පොලිසියට ඉතිරිව තිබුණේ අපරාධ ස්ථාන්යේ සාක්ෂි පරෙස්සමට එක් රැස් කරගැනීමයි.

රගර් ක්‍රීඩක ටෝනි මාටින් ඝාතන නඩුව පසුගිය දශක කිහිපය පුරාම මෙරට දැඩි අවධානයට ලක්වූවකි. ශ්‍රී ලංකාවේ සාක්ෂි නීතිය සම්බන්ධයෙන්ද එය ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.
මවගේ නිවස දෙසින් ඇනෙක්සියට පිවිසි පොලිස් නිලධාරීන්ට පැහැදිලි වූයේ මියයාමට පෙර ටෝනි මාටින් දැඩි සටනක යෙදී ඇති බවයි. ඇනෙක්සියේ තිබූ රුධිරය සහිත ඇඟිලි සලකුණුද ඔවුහු නිරීක්ෂණය කළහ. එහෙත් ඒ පිළිබඳ තමන් විශේෂඥයින් නොවන බැවින් ඔවුන්ට ඉවසීමට සිදුවිය. උදෑසන 9 පමණ වනවිට අධිකරණ වෛද්‍ය නිලධාරී, රජයේ රස පරීක්ෂක, ඇඟිලි සටහන් පරීක්ෂක නිලධාරීන් ආදීහු එම ස්ථානයට පැමිණියහ. පසුව මෘත දේහය රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත රැගෙන යාමට පියවර ගැනිණ. අනතුරුව පරීක්ෂා කිරීමේදී, කාමරයේ අතුරා තිබූ කාපට් එක යට තිබී මිටියක යකඩ හිස සහිත කැඩී ගිය ලී කොටසක් සොයා ගැනිණ. එහි ඉතිරිය එම ස්ථානයේ නොවීය. තවත් පොලු කැබලි තුනක්ද තිබිණ. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී ගෙලෙහි කැපුම් තුවාල මෙන්ම පොලිසිය භාරයට ගත් මිටි කැබැල්ලෙන් පහර දුන් බවට සැක කළ හැකි සලකුණුද හිසේ නිරීක්ෂණය කළ හැකි විය. ඒවාද ඇතුළුව සිරුර පුරා තුවාල 88කි.

ඇසු දුටු සාක්ෂි කිසිවක් නොමැතිව අපරාධකරු අනාවරණය කරගැනීමේ අභියෝගය පොලිසිය හමුවේ විය. ටෝනි මාටින්ට අත්උදවු  දෙන්නට ගෙදරට ආ ගිය ජයසේන නැමැත්තාගේ ප්‍රකාශයක් ඒ සඳහා මග පෑදුවේ ඒ අතරයි. සිදුවීමට පෙරදා රාත්‍රියේ ජයසේන ටෝනි මාටින්ගේ නාන කාමරයෙහි ඇඳුම් සෝදමින් සිටියේය. ඒ අවස්ථාවේදී දොර දෙසින් ඇසුණේ "ටෝනි ටෝනි" යනුවෙන් අමතන හඬකි. 
"අන්න චීනා ඇවිත් ඉන්නවා. එක්කන් එන්න."
ටෝනි නාන කාමරයේ රෙදි සේදූ ජයසේනට දැනුම් දුන්නේය. ඒ අනුව ඇනෙක්සියේ දොර විවර කළ ජයසේනට පෙනී ගියේ චීනා සමඟ තවත් අයෙකු සිටින බවයි. හෙතම ඒ බව සිය ස්වාමියාට දැනුම් දුන්නේය.
"හරි. ඒ දෙන්නටම එන්න දෙන්න. ඒත් චීනව විතරක් කාමරේට ගේන්න."
මේ දෙදෙනාම ටෝනි මාටින්ට පසුව හැව්ලොක් ක්‍රීඩා සමාජයේ රගර් කණ්ඩායමට සම්බන්ධ වූවෝ වෙති. චීනා ටෝනි මාටින්ගේ කාමරයට ගොස් විනාඩි දහයක් පමණ කතාබහ කරන අතර කීගර් සාලයේ අසුන්ගෙන සිටියේය. පසුව දෙදෙනාම පිටව යන අතර ජයසේන ඒ දෙදෙනා පිටුපසින් ගමන් කළේය. එහිදී ඔහුට දැකගත හැකි වූයේ අගුලු දමා තිබූ ගේට්ටුව විවර කර ඇති බවයි. එම ගේට්ටුව පිටතින් විවෘත කිරීමට නොහැකිය.
පැමිණි දෙදෙනා අතම හෙල්මට් තිබුණද, මෝටර් සයිකලයක් දැකීමට නොතිබිණ. දෙදෙනා ඈතට යනතුරු බලා සිටි ජයසේන නැවත  ඇනෙක්සියට පැමිණ ටෝනි මාටින් ඇමතීය. "සර් ඒ දෙන්නා ගේට්ටුවෙන් පැනලා වගේ ඇවිත් තියෙන්නෙ. හෙල්මට් තිබුණට බයික් එකකුත් නෑ."
"මං අද හවසත් ක්ලබ් එකට ගිහින් චීනට බැනලා ආවේ. මිනිහ මගෙන් සල්ලි වගයක් ගත්තා. ඒ ටික තවම දුන්නේ නෑ."
චීනා මුදල් ලබාගෙන තිබුණේ සිය මෝටර් රථය ටෝනි මාටින්ට උකස් තැබීමෙනි. එහි පොත ටෝනි මාටින් සන්තකයේ තිබිණ. ඒ පිළිබඳව ඇතිවූ ආරවුල මත මේ ඝාතනය සිදු කිරීමට පෙළඹවීමේ හේතුවක් විය හැකිය. ඒ අනුව අදාළ පුද්ගලයින් කෙරෙහි පරීක්ෂකයින්ගේ අවධානය යොමු විය. ඔවුන්ගේ පැමිණීම අපරාධය කිරීමට පෙර සූදානමක් ලෙස සලකා පරිවේෂණීය සාක්ෂි ලෙස අදාළ කර ගැනිණ.
එහෙත් ඔවුන් වැරදිකරුවන් කිරීමට එය ප්‍රමාණවත් නොවේ. දෙදෙනා ගැන සොයා බැලුවද කිසිඳු හෝඩුවාවක් දැනගන්නට ලැබුණේ නැත. චුයි පොං ෂික් හෙවත් චීනා කෑගල්ලේ ඥාති නිවසකට ගොස් ඇතැයි ආරංචි විය. රිකාඩෝ බ්‍රැඩ්ලි කීගර් දින කිහිපයකට පසු සොයාගැනීමට හැකි විය. කීගර්ගේ නිවසේ කුස්සියෙහි කනප්පුවක් තිබිණ. එය කකුල් හතරේ එකක් වුවද කීගර් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි තිබුණේ කකුල් තුනක් පමණි.  

ඒ අනුව, මූට්ටු පිළිබඳ රජයේ විශේෂඥවරයාගේ උපදෙස් ලබාගැනිණ. ඔහු පෙන්වා දුන්නේ අපරාධ ස්ථානයෙන් සොයාගත් පොලු කැබලි තුන එකතු කළ විට තනි පොල්ලක් සෑදෙන බවයි. එය කීගර්ගේ නිවසේ වූ කනප්පුවේ ඉතිරි කකුල බව තහවුරු කෙරිණ. එයද පරිවේෂණීය සාක්ෂියකි. කීගර් පළමු විත්තිකරු කෙරිණි. පළමු විත්තිකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී අපරාධ ස්ථානයෙන් සොයාගැනුණු ඇඟිලි සටහන් ඔහුට සසැඳිණ. ඉන් තහවුරු වූයේ අපරාධය කිරීම සඳහා ඔහුට අවස්ථාවක් තිබූ බවයි. පැමිණිල්ල විසින් කැඳවනු ලැබූ ඇඟිලි සටහන් පරීක්ෂකවරයාගේ සාක්ෂිය අසත්‍ය බව පැවසීමට විත්තිය විසින් ව්‍යාධිවේදය සම්බන්ධ විශේෂඥයකුගේ මතය යොදාගැනීමට උතසාහ දරනු ලැබීය. එහෙත් ඔහු ව්‍යාධිවේදය සම්බන්ධ විශෙෂඥයකුගේ මතය යොදාගැනීමට උත්සාහ දරනු ලැබීය. එහෙත් ඔහු ව්‍යාධිවේදය සම්බන්ධය විශේෂඥයකු මිස රුධිරය සම්බන්ධය විශේෂඥයකු නොවන බව පෙන්වාදීමෙන් ඔහු විශේෂඥ ගණයෙහිලා සැලකිය හැකි සාක්ෂිකරුවකු නොවන බව අධිකරණයට ඒත්තු ගැන්වීමට පැමිණිල්ල සමත් විය.

චීනා හෙවත් චුයිං පොං ෂික් දෙවැනි විත්තිකරු ලෙස අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු අතේ සීරීම් සලකුණු විය. මරණකරු හා පොර බැදීමේදී එවැනි තුවාල විය හැකි බවද තහවුරු කෙරිණ. දෙවැනි විත්තිකරු විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් පැවසුවේ සිය අතේ සීරීම් බල්ලා පැනීමෙන් සිදු වූ බවයි. එහෙත් ඒ බව තහවුරු කිරීමට විත්තිය අපොහොසත් විය. නඩුවට පෙර කළ වැඩිදුර පරීක්ෂණවලදී ඔවුන්ගෙන් තවත් තොරතුරු හෙළිවිය.
"වැල්ලවත්ත ධර්මාරාම ඇළේ මල්ලක් තියෙනවා. අපට ඒක විසි කරපු ඉසව්ව පෙන්නන්න පුළුවන්."
ඒ අනුව අදාළ මල්ල සොයාගැනිණ. එහි තිබූ දේ අතර අපරාධ ස්ථානයෙන් සොයාගත් මිටියේ කැඩී ගිය කොටස යැයි සැක කළ හැකි ලී කැබැල්ලක්ද විය. ඇළෙන් සොයාගත් මිටි කැබැල්ලද අපරාධය වූ තැන වූ මිටියද එකම මිටිය බව තහවුරු විය.

කෙසේ වෙතත් පොලිසියට ලබාදෙන පාපොච්චාරණයක් අධිකරණය ඉදිරියේ සාක්ෂියක් ලෙස පිළි නොගැනේ. එහෙත් ඒ ඔස්සේ යම් කිසිවක් සොයාගන්නේනම්, ඒ සොයාගැනීමට අදාළ සමීපතම වාක්‍ය සාක්ෂි ආඥා පනතේ 27 වන වගන්තිය යටතේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැකිය.

දෙවන විත්තිකරුගේ ප්‍රකාෂය මත කිරුළපන සරණංකර පාරේ ඇළේ තිබී ප්ලාස්ටික් බෑගයක්ද සොයාගැනිණ. එහි වූයේ පිරිමි අඳින ජැකට්ටුවකි. එහි සාක්කුවක තිබී ඉස්කුරුප්පු ඇණ හයක්ද හමුවිය. ඒ ඇණ හය ටෝනි මටින්ගේ නිවසින් ගලවා ඉවත් කළ ජනේලයට අයත් බවද තහවුරු කෙරිණ.  
භාණ්ඩ මත තහවුරු කෙරෙන නඩුවකදී නඩු භාණ්ඩ පැවතීම අත්‍යවශ්‍ය වේ. එහෙත් මෙම නඩුවට අදාළ භාණ්ඩ ගබඩා කර තිබූ කාමරයේ හදිසි ගින්නක් ඇති වී එහි වූ නඩු භාණ්ඩ විනාශ විය. කෙසේ වෙතත් ඒ වනවිට අදාළ භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්තා ලබා අවසන්ව තිබිණ. එහෙත් ඒවා අධිකරණයට යොමු කර තිබුණේ නැත. එසේ වුවද දැඩි පරිශ්‍රමයක් දරා භාණ්ඩවල අනන‍යතාව ඔප්පු කිරීමට පැමිණිල්ලේ නීතිඥවරු සමත් වූහ.

මේ සියල්ලට අමතරව තවත් සාක්ෂිකරුවකු ප්‍රකාශ කළේ සිදුවීමට අදාළ දිනයේ විත්තිකරුවන් දෙදෙනා සහ තමා පාන්දර වන තෙක් කොළඹ නගරයේ ඇවිදිමින් සිටි බවයි. 
"අපි එදා රුපියල් තිස්පන්දාහක විතර බිව්වා. ඊටපස්සෙ අපි ගෙවල්වලට යන්න පිටත් වුණා. මුලින්ම මාව නිවසට ඇරලුවා. ඊටපස්සෙ වාහනේ හිටියේ චීනයි කීගරුයි විතරයි."
මේ සියලු දේ සිදුව ඇත්තේ අපරාධ ස්ථානයට ආසන්නවය. 
සොයාගත් මල්ලක තිබී ටෝනි මාටින්ගේ යැයි සැක සහිත තොප්පියක්ද හමුවිය. එය සනාථ කරගත හැක්කේ ජයසේනගෙනි. එහෙත් කටට උත්තරය දෙන ආකාරයේ ප්‍රශ්න අසමින් එය තහවුරු කළ නොහැකිය. එනිසා පරෙස්සමට ප්‍රශ්න කළ යුතුය.

"මහත්තයා උදේට මොකද කරන්නේ?"
"දුවන්න යනවා."
"කොහෙටද යන්නේ?"
"ගෝල්ෆේස්."
"පිනිබබාද දුවන්නේ?"
"නෑ. තොප්පියක් දාගෙන යනවා."
"ඒ තොප්පිය පහළ උසාවියේදී හඳුනාගත්තා."
"ඔව්."
පැමිණිල්ලට ඇසීමට තිබුණේ එපමණකි. අනතුරුව විත්තියේ නීතිඥවරයාගේ ප්‍රශ්න කිරීම්ය.
"ජයසේන, තමන් වැඩ කරන්නෙ කොළඹ මහරෝහලේ?"
"ඔව්."
"මහරෝහල ගාව පෙට්ටි කඩ තියෙනවා."
"ඔව්."
"මේකත් ඒ වගේ තොප්පියක්ද?"
"ඔව්."
එතැනින් ප්‍රශ්න කිරීම නැවතුණේනම් තොප්පිය ටෝනි මාටින්ගේම තොප්පිය බව තහවුරු නොවීමට ඉඩ තිබිණ. එහෙත් විත්තිය තවදුරටත් පැමිණිල්ලේ සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළ නිසා පැමිණිල්ලට වාසිදායක ප්‍රකාශයක් නිකුත් කෙරිණ. 

"එහෙනං තමාට බැහනෙ මේක ටෝනි මාටින්ගෙ තොප්පිය කියන්න?"
"ඇයි සර් කියන්න බැරි? ඕක දවසක්දා ඉරුණා. එතකොට මටයි දුන්නේ ඒක මහලා ගේන්න කියලා. පොලිසිය හොයාගෙන තිබුණ තොප්පියෙ ඒ මැහුම් තිබුණා."
පැමිණිල්ලට විත්තියේ සහාය හිමිවූයේ ඒ අමතර ප්‍රශ්නයෙනි.
දෙවැනි විත්තිකරු සිදුවීමෙන් පසු නැවතුණේ කෑගල්ලේ ඥාති කාන්තාවකගේ නිවසකය. ඒ අතරතුර ඝාතන සිදුවීම සම්බන්ධ ප්‍රවෘත්තිය පුවත්පත්වල පළවෙයි. දෙවැනි විත්තිකරු ඒ පුවත කියවා පුවත්පත පසෙකින් තබයි.
"ඔයා මේ රගර් ක්‍රීඩකයාව දන්නැද්ද?"
එම ප්‍රවෘත්තිය දකින ඥාති කාන්තාව චීනාගෙන් අසයි. චීනා පහැදිළි පිළිතුරක් නොදෙයි. එමෙන්ම එකම කණ්ඩායමේ ක්‍රීඩා කරන සගයාගේ අවමංගල්‍ය උත්සවයට හෝ සහභාගී නොවී චීනා කෑගල්ලේ රැඳී සිටී. එයද සැකකටයුතුය.

නඩුවේ වෛද්‍ය සාක්ෂිවලදී හෙළිවූයේ ඝාතනය කිරීමට දෙදෙනෙකුවත් සහභාගී වී ඇති බවයි. අපරාධස්ථානයේ මිටියක් තිබූ බව කීම දැඩි සේ අභියෝගයට ලක්විය. අපරාධ භාණ්ඩයක් ලෙස උසාවිය භාරයට ගත් භාණ්ඩ ගිනිගෙන තිබීම එයට හේතුවයි. එහෙත් අධිකරණ වෛද්‍ය නිලධාරියා මෘතදේහය පරීක්ෂා කරන අවස්ථාවේ සිරුරේ පපුව මත මිටියේ කොටස තබා ඡායාරූපයක්ද ලබාගෙන තිබිණ. එයද පැමිණිල්ලට වාසිදායක විය.
සියලු හේතු එකිනෙක අමුණමින් සංකීර්ණ ක්‍රියාදාමයක් ඔස්සේ විත්තිකරුවන් වරදකරුවන් බව තහවුරු කර ගැනීමට හැකියාව ලැබිණ. අභියාචනාධිකරණය හමුවේ ඔවුන් ගොනුකළ අභියාචනයද නිශ්ප්‍රභා කෙරිණ. පසුව ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනයද ප්‍රතික්ෂේප විය.
ණයට දීමෙන් මුදලත් මිතුරාත් අහිමි විය හැකිය. එපමණක් නොව ජීවිතයට පවා හානිවීමට ඉඩ තිබේ. එය කෙසේ වුවද, කෙතරම් සැලසුම් කළද අපරාධකරුවකුට සදාකාලිකව සැඟව සිටීමටද නොහැකිය. දශක ගණනාවක් තිස්සේ මෙරට නීති ක්ෂේත්‍රයේ වැදගත් භූමිකාවක් ඉටු කරන ටෝනි මාටින් නඩුව ඊට හොඳම උදාහරණයකි.

-රෂ්නිකා ලියනගේ 
- ධරණී පුවත්පත




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka