gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාස්කු දින ප්‍රහාරය ගැන ශාක්ෂි පිටපත් ඉල්ලුවහම පාර්ලිමේන්තුව එක එක කතා කියලා!

2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු දින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන චූදිත සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු අටදෙනෙකු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවට ලබාදුන් සාක්ෂිවල පිටපත් මීට පෙර මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ඉල්ලා තිබුණා. 
 
තොරතුරු ලබා නොදීම සම්බන්ධව ඔහු විසින් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව  වෙත් පැමිණිලි කර තිබෙනවා. මීට මාස 7ක ට පෙර සිදුකළ එම පැමිණිල්ල පුරා මාස 7ක් තුළ විභාගයට ගත් අදාළ කොමිසම පසුගිය 04වෙනිදා එම විභාගය අවසන් කර තිබෙනවා. පැවති අභියාචනා  විභාගය අවසන් කළ කොමිසම එහි තීන්දුව සඳහා දින නියම කළ බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, යුද හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂ චූූලා කොඩිතුවක්කූ, නවුෆර් මවුලවි, ගෆූර් මාමා සහ අබ්දුල් කාදර් ෆාතිමා  හාදියා යන පිරිස ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ලබාදුන් සාක්ෂිවල පිටපත් තරිඳු ජයවර්ධන මහතා කොමිසමෙන් ඉල්ලා තිබුණේ සමාජය හා සාමයික කේන්ද්‍රය වෙනුවෙන්. අදාළ අභියාචනය පෙරේදා (04) තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වන අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු රෝහිණී මාරසිංහ, නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ ජගත් ලියනආරච්චි සහ ඒ. එම්. නහියා ඉදිරියේ විභාගයට ගෙන් තිබුණා.

එහිදී නීතිඥ සුරේන් ඩී. පෙරේරා සහ නීතිඥ මනුෂිකා කුරේ විසින් සකස් කරන ලද පිටු 10ක ලිඛිත දේශනයක් තවත් ඇමුණුම් 20ක් සමඟ කොමිසමට ඉදිරිපත් කරමින් අභියාචක දැනුම් දුන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් වරින් වර තම ස්ථාවරය මාරු කර ඇති බවයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මුලින් මෙම තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ තමන්ගේ සන්තකයේ, බාරයේ හෝ පාලනයේ මෙම තොරතුරු නොමැති බව කියමින්. ඒවා සන්තකයේ, බාරයේ, පාලනයේ තිබෙන බවට අභියාචකගේ නීතිඥවරයා කරුණු දැක්වීමෙන් පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තූව තම ස්ථාවරය වෙනස් කර, එම තොරතුරු ලබාදීම මගින් බලතල හා  වරප්‍රසාද පනත උල්ලංඝනය වන නිසා ලබාදිය නොහැකි යැයි පැවසූ බවත් අභියාචක සඳහන් කරනවා.

එසේ තිබියදී ජුනි 28දා තොරතුරු කොමිසමට ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා නැවත වරක් තම ස්ථාවරය වෙනස් කරමින් පාස්කු වෙළුම් රඳවා තබාගෙන සිටියද, ඒවා  සන්තකයේ, බාරයේ හෝ පාලනයේ නොමැති බව කියා තිබෙනවා. පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරිවරයාගේ කරුණු දැක්වීම අසත්‍ය බව සිය ලිඛිත දේශනයෙන් ඔප්පු කර ඇති බවත් අභියාචක මෙහිදී අවධාරණය කළා.
ශ්‍රී ලංකා  පාර්ලිමේන්තුව වරින් වර ස්ථාවර වෙනස් කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවත්, අදාළ වෙළුම් සන්තකයේ, බාරයේ, පාලනයේ නැතැයි ප්‍රකාශ කරන්නේ කුමන පදනමකින් ද යන්න ගැනත් තොරතුරු කොමිසම පාර්ලිමේන්තුවේ නිලධාරීන්ගෙන් මෙහිදී ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් අදාළ නිලධාරීන් සඳහන් කළේ එම වෙළුම් පාර්ලිමේන්තුවේ රඳවා තබාගැනීම පමණක් කරන බවයි. රඳවා තබාගැනීම යනු පාර්ලිමේන්තුවේ බාරයේ හෝ සන්තකයේ තිබීම නොවේදැයි කොමිසම ප්‍රශ්න කළ අතර, ඊට පිළිතුරු දෙමින් එය බාරයේ තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීන් පිළිගත් බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුවේ නිලධාරීන් නීතියට අනුකූල නොවන ලෙස ලිඛිත දේශන ඉදිරිපත් කිරීම ගැන අප්‍රසාදය පළ කළ තොරතුරු කොමිසම, කොමිසමට අසත්‍ය කරුණු දැක්වීම දඬුවම් ලැබිය හැකි වරදක් වන බව ද අවධාරණය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තූ 04දාට පෙර අවසන් වරට ලිඛිත ව කරුණු දැක්වීම් කරන ලෙස පාර්ලිමේන්තුවට දැනුම් දුන් තොරතුරු කොමිසම, ඊට පිළිතුරු සැපයීම සඳහා අභියාචකට අගෝස්තූ 18 තෙක් කල්දෙමින් මාස 07ක් පුරා පැවති අභියාචනා විභාගය අවසන් කර තිබෙනවා.

ලිඛිත දේශන ලැබුණු පසු සියලු කරුණු සලකා  බලමින් තොරතුරු කොමිසමේ තීන්දුව ප්‍රකාශයට පත්කරන බව කොමිසම දෙපාර්ශ්වයට ම දැනුම් දී තිබුණා. අභියාචක තරිඳු ජයවර්ධන වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ පෙනී සිටි අතර, අභියාචනා විභාගය නිරීක්ෂණය කිරීම සඳහා සමාජය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා ඇතුළු පිරිසක් පැමිණ සිටියා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka