''මා පෙනී හිටියේ මේ රටේ ඕනෑම මනුස්සයෙකුට හිමි ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන්.'' යයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරයේ කටයුතු කළ අවසාන දිනයේ (ඊයේ 24) ඔහු එබව කියා සිටියේ Voice Tube සමාජ මාධ්‍ය නාලිකාව වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
පසුගිය දිනක යූටියුබ් නාලිකාවක් චෝදනා කල පරිදි තමන් කිසි දිනක අති විශාල ගාස්තු තම සේවාදායකයන් වෙතින් ලබා නොගන්නා බව සදහන් කල ජනාධිපති නීතීඥවරයා, ''හරක් කටා'' වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියේ ඔහුව පොලිස් අත් අඩංගුවේ සිටියදී මරා දැමීම වැළැක්වීමට මිස අන් යමකට නොවන බව සදහන් කළේය.
තමන් නාලන්ද එල්ලාවල මිනීමැරුම් නඩුවේ සැකකරුවන්ට මෙන්ම චෙම්මිනී සමූහ මිනීමැරුම් නඩුවේ හමුදා සැකකරුවන්ට ජීවිත තර්ජන හා බලපෑම් හමුවේ පෙනී සිටි අතීතය සිහිපත් කල සාලිය පීරිස්, තමන් වර්තමානයේ එල්ලවන බලපෑම්ද තමන්ගේ කටයුතු සදහා බාධාවක් කර නොගන්නා බව අවධාරණය කලේය.
විශේෂයෙන්ම අත් අඩංගුවේ සිටින සැකකරුවන් මරා දැමීමෙන් විමර්ශන අඩපනවනවා පමණක් නොව, ඒකී ජාලයන් පිටුපස සිටින බලවත් පුද්ගලයන්ද ආරක්ෂා වන බව ඔහු සදහන් කලේය.
-theleader.lk