gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ යන්නේ කොයි පාරේ – ඉන්දුනීසියා ගිය පාරේ... හෙලිකොප්ටරය මැදමුලනට බායි ද?

මාලිමාවෙන් පාර හොයන අය මැදමුලන වලව්වේ නතර වුණත්, දුරකථනය නාද වෙද්දී දුරකථනයේ අනිත් පස රාජපක්ෂවරුන් හිටියත්, හෙලිකොප්ටරය නම් කිසිම දවසක මැදමුලනේ බාන්නේ නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ දෙහිවල දී පැවති නිදහස් ජනතා සංධානයේ ජන හමුවක් අමතමිණි. එහිදී ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
77 හැදෙන්න පටන් ගෙන 2022 පුපුරා ගිය බෝම්බය

මොකක්ද අද අපේ රට මුහුණ පා සිටින මේ අර්බූදය. 2021 දෙසැම්බර් මාසයේ 2022 අයවැය විවාදය ආරම්භ කරමින් මම මෙම අර්බූදය ඉතාමත් සරල වාක්‍ය දෙකකින් කිව්වා. ඒ තමයි රටට ඩොලර් නැහැ ආණ්ඩුවට රුපියල් නැහැ කියන එක. මේක සිදුවුණේ කොහොමද ? 1977 තමයි මේ බෝම්බය හැදෙන්න පටන් ගත්තෙ. මේ බෝම්බය ටිකින් ටික හැදිලා 2022 පුපුරා ගියා. කොරෝනා නාවානම් මේක 2025 හෝ 2026 විතර තමයි පුපුරා යන්න ඉඩ තිබුණේ.

අපි ආදායමට වඩා වැඩියෙන් වියදම් කලා. අර බොරු ෂෝ එකට ජීවත්වන මිනිස්සු ඉන්නෙ. ආදායම ලක්ෂය නම් වියදම ලක්ෂ තුනයි. මොකද කරන්නේ. ලක්ෂ දෙකක් ණයට ගන්නවා. ඒ මාසේ ගත කරනවා. ඒ විදිහට බැලුවාම ඊළඟ මාසේ දී ලක්ෂ හතරක් විතර ණයට ගන්න වෙනවා. ඊළඟ මාසේ ඕක තවත් වැඩි වෙනවා. පොලියත් එකතු වෙනවා. මෙන්න මෙහෙම ණය අරගෙන ණය අරගෙන කටයුතු කිරීම අපි කියනවා රෝල ගහනවා කියලා. රෝල ගහගෙන යන අයට කවදහරි හිර වෙලා තියන දේපලත් විකුණගෙන බංකොලොත් වෙන්න සිද්ධ වෙනවාමයි.

ලංකා ආණ්ඩුවට වුණෙත් ඒකමයි. ආදායමට වඩා දෙතුන් ගුණයක් වියදම් කරනවා. නමුත් ආදායම වැඩි කර ගන්නෙත් නෑ වියදම අඩු කර ගන්නේ නෑ. වැඩි පොලියට ණය අරගෙන ගිහිල්ලා එක පැත්තකින් රුපියල් නැතුව හිර වුණා. රටේ පැත්තෙන් 1977න් පස්සේ අපේ සාමාන්‍ය අවුරුද්දක් ගත්තොත් පිටරට බඩු විකුණලා අපි හොයන්නේ ඩොලර් බිලියන 12යි. හැබැයි පිටරටින් අපි බඩු ගේනවා අවුරුද්දකට ඩොලර් බිලියන 22 ක විතර. ඩොලර් බිලියන 10 ක පරතරයක් හැදෙනවා . මේ පරතරය පියවා ගන්න පිට රටවලින් ණය ගත්තා. මේ ණය ඩොලර් බිලියන 55 ක් විතර වෙනකොට රටවල්වලින් කිව්වා තවත් නුඹලාට ණයට දෙන්න බැහැ මොකද ගත්ත ණය ගෙවන්නේ නැහැ කියලා. ඒක තමයි අපි මේ බංකොලොත් වුණා කියලා කියන්නේ.

බැසිල් අර්බූදයට ඉඩ දුන් හැටි

එදා අපි ආණ්ඩුවට රටේ ආර්ථික තත්ත්වය පැහැදිලි කරන්න කියලා නියෝජ්‍ය මුදල් ඇමති විදිහට කටයුතු කරපු අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයා ගෙන් අපි ඉල්ලීමක් කලා. 2020 ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා නිවාඩ් කබ්රාල් මැතිතුමා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට පැහැදිලි කළා. එතැන දී මම කිව්වා නුදුරු දිනකදී අපි ඩොලර් හිඟයකට මුහුණ පානවා. හොඳටම දැනෙන්නේ මට. මම බලශක්ති ඇමති විදිහට. ලංකාවේ අපනයන ආදායමෙන් සියයට 25 ක් ම වැය කරන්නේ තෙල්ගේන්න. ඒ නිසා මේක මට කලින්ම දැනෙනවා. ඒසා අපි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීම සීමා කරන්න අවශ්‍ය බව මම පෙන්වා දුන්නා. නමුත් ඒ යෝජනාවට එදා අමාත්‍ය මණ්ඩල රැස්වීමට පැමිණි පී බී ජයසුන්දර මහතා එකඟ වුණේ නැහැ.

ඔහොම ගිහිල්ලා මට දැන් පේන්න ගත්තා මාසෙට ඩොලර් මිලියන පන්සීය ගානෙ තෙල්වලට දෙන්න සල්ලි නොමැති වෙන බව. කළමනාකරණය කරන්න නම් කරන්න වෙන්නේ එක පැත්තකින් මිල වැඩි කරල ජනතාවට තෙල් ටික අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමට පුරුදු කිරීමයි. ඉන් ඉල්ලුම කළමනාකරණය වෙනවා. අනික් පැත්තෙන් සලාක ක්‍රමය නැත්නම් කෝටා ක්‍රමයක් ගෙනල්ලා සැපයුම කළමනාකරණය කරන්න ඕනෑ. මම මේක අමාත්‍ය මණ්ඩලයට ලිඛිතව කිව්වා. මේක රොකට් සයන්ස් නෙවෙයි. නැනෝ තාක්ෂණය නෙමෙයි. වසර දෙදහසකට කලින් රෝම අධිරාජ්‍යයට තිබුණා තිරිඟු පිටි හිඟයක්. නයිල් ගඟ ගලලා ඊජිප්තුවේ තිරිඟු වතු යටවෙලා තිරිඟු පිටි හිඟය ඇති වුණා. රෝම අධිරාජ්‍ය තිරිඟු පිටි හිගය කළමනාකරණය කළේ මිල වැඩි කරලයි සැපයුම් සලාකයක් දාලයි. ආණ්ඩුව මේක ඇහුවේ නැහැ.

බැසිල් රාජපක්ෂ මැතිතුමා මෙවැනි කාරණා සම්බන්ධයෙන් මාත් එක්ක මරා ගත්තා. එතුමාට ආර්ථික විද්‍යාව තේරෙන්නේ නැහැ. ඒ ගැන අවබෝධයක් තියෙන කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න දන්නේ නැති හන්දා තරහ යනවා. ප්‍රශ්නය අහපු පුද්ගලයට ආයේ ප්‍රශ්නයක් නොඅසා ඉන්න අම්මා මුත්තා නැතුව බයිනවා. ජනාධිපතිතුමා මූලාසනයේ ඉන්නවා මීක් කියන්නේ නෑ. ශීලාචාරව කතා කරන්න බැසිල් මලයා කියලවත් කියන්නේ නැහැ. ඉතින් ඔහු උඩු බුරනවා. මම දැනගත්තා මේ උපාය ඇවිල්ලා මට අපහාස කරලා බැනලා මගේ කටවහන්නයි හදන්නේ කියලා. මම ඉතාම සාමකාමීව කටයුතු කලා. මම එහෙම කේන්ති ගන්නා චරිතයක් නෙවෙයි කියලා තමුන්නාන්සේලා දන්නවා. බනිද්දී හිනා වෙනවා. එතකොට බනින කෙනාට තව ටිකක් තද වෙනවා. මම ඉතාම සාමකාමී ව මෙතුමාගෙන් ප්‍රශ්න කලා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා එකොළහක් දැම්මා. අනාගතයේ එනවා විදේශ විනිමය අර්බුදයක් ඒක කළමනාකරණය කර ගත්තේ නැත්නම් ආර්ථික අර්බුදයකට අප යනවා ඉතිහාසයේ නොවූ විරූ විදියට.

එම පත්‍රිකා 11න් 03ක් ගැනම ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල ලේකම් වරයාට කියලා තිබුණා මේක අමාත්‍ය මණ්ඩලයට දාන්න එපා කියලා. අමාත්‍ය මණ්ඩලයට ගියොත් ඇමතිවරු මාධ්‍ය වලට මේක ගැන තොරතුරු දෙනවා. රටේ ජනතාව බය වෙනවා. ඕක බැසිල් අමාත්‍යවරයාට විතරක් දෙන්න කියලා උපදෙස් දීලා තියෙනවා. මගේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව කෝ කියලා මම අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් මහත්තයාගෙන් ඇහුවහම එතුමා කියනවා ඒක ජනාධිපතිතුමාගෙන් අහන්න කියලා. මම ඒක බාර දුන්නේ ජනාධිපතිතුමාට නොවෙයි ඔබටයි බාරදුන්නේ කිව්වම එතුමා මේ කතන්දර කියනවා. ඒ පත්‍රිකාවල කියන දේ ආණ්ඩුව ඇහුවේ නෑ.

එදා රුපියල් 7කින් ඩීසල් මිල වැඩි කරහම මගේම ආණ්ඩුව මට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගේන්න වැඩ කලා. අර්බුදයක් එනවා කියලා අමාත්‍ය මණ්ඩලය තුළ කියලා වැඩක් නැති හන්දා මම 2021 ජූනි මාසයේ 12 වැනි දා මාධ්‍ය හමුවක් හරහා මම රටට කිව්වා අපි දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට ගමන් කරනවා. එය විසඳා ගත්තේ නැත්නම් ඉතිහාසයේ නොවූ විරූ ආර්ථික අර්බුදයකට යනවා කියලා.

එතකොට බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ගෝල අමාත්‍යවරුන් මොකක්ද රටට ඇවිල්ලා කිව්වේ. එක ඇමති කෙනෙක් ඇවිල්ලා කිව්වා අපිට ඇති තරම් මුදල් තියෙනවා කියලා. අපිට ඇති තරම් සල්ලි තියෙනවා ගම්මන්පිල බොරු බිල්ලෝ මවල මිනිස්සු බය කරනවා කියලයි ඔහු කිව්වෙ. තව ඇමති කෙනෙක් කිව්වා ඩොලර් නැව් මග එනවා ඒව ආවම මේ ප්‍රශ්නය විසඳෙනවා කියලා. ඒ අහිංසකයා දන්නේ නෑ ඩොලර් රටට එන්නේ නැව් වල පටවලා නෙවෙයි කියලා. එහෙම කැබිනට් අමාත්‍යවරුන් හිටපු ආණ්ඩුවක් එක්ක මේ ගනින් හරි මේ ආර්ථිකය බේරිල තිබීම ගැන අපි සතුටු වෙන්න ඕනෑ.

අර්බූදයට විසඳුම් සොයන්න ගොස් අමාත්‍ය මණ්ඩලයෙන් දොට්ට

අපිට තේරුණා කෙතරම් පැහැදිලි කිරීම් කලත් මේ ආණ්ඩුවට නම් මේ ප්‍රශ්නය තේරෙන්නේ නෑ කියලා. අර්බූදයක් එනවා කියලා පිළිගන්නේ නැත්නම් අර්බුදයට විසඳුම් හොයන්න කවුරුවත් සූදානම් වෙන්නේ නෑ. යමෙකුට දුක ගැන තේරුනාම තමයි දුකින් මිදීමේ මාර්ගය සොයාගන්නේ. දුකක් තියෙනවා කියලා අපි තේරුම් නොගත්තොත් කවුරුවත් දුකින් මිදීමේ මාර්ගය සොයන්නෙ නෑ. අන්තිමට සහෝදර පක්ෂවල අප කතා වුණා මේ ගොල්ලෝ අර්බූදයට මේ රට හිතාමතා තල්ලු කරමින් ඉන්නවා. මේ අර්බූදය මොකද්ද ඉන් ගොඩ යන්නේ කොහොමද කියන එක ගැන අපවත් සැලැස්මක් හදමු කියලා. මාස තුනක් තිස්සේ සාකච්ඡා කරල සැලසුමක් හැදුවා.

2022 මාර්තු මාසයේ දෙවැනි දා මුළු රටම හරිමගට කියලා අර්බූදය ගැන අර්බූදයෙන් ගොඩ යන මාර්ගය ගැන ප්‍රශ්නය සහ උත්තර දෙකම ඉදිරිපත් කළා. 5හේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් වගේ. නමුත් අද දේශපාලන වේදිකාවේ මොකක්ද වෙන්නෙ. ඔක්කොමලා ප්‍රශ්න කතා කරනවා. නමුත් කවුරුවත් උත්තරයක් කියනවද. ආර්ථික අර්බූදය වසරකට වඩා වයසයි. හැබැයි ඒ ආණ්ඩුව මේ දක්වා විසඳුමක් ඉදිරිපත් කරන්න සමත් වෙලා නෑ. ආණ්ඩුවට විතරක් නෙමෙයි ජවිපෙටත් උත්තරයක් නැහැ. මේ අර්බූදයට රට හමුවේ උත්තරයක් ඉදිරිපත් කරලා තියෙන්නේ අප සහ අප පමණමයි කියන එක තමුන්නාසේලාට අපි ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. නමුත් ඒ උත්තරේ ඉදිරිපත් කරලා අපට මොකද උනේ. පැය 24ක් ඇතුළත ජනාධිපතිවරයා තීරණය කරනවා මේ අය නැති ප්‍රශ්න මවල ජනතාව බොරුවට බය කරනවා කියලා වීරවංශ මැතිතුමාවත් මාවත් අමාත්‍ය මණ්ඩලයෙන් දොට්ට දැම්මා. නමුත් සති පහක් යනකොට ආර්ථික අර්බූදය උග්‍ර වෙනවා. ජනතාව පාරට බහිනවා. අපි කියපු බියකුරු සිහිනය මහ පොළොවේ සැබෑ වෙනවා.

අවසානයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තෙල් ප්‍රශ්න විසඳුවා කියනවා. 121ට තිබුන ඩීසල් ලීටර හාරසිය ගණන දක්වා මිල වැඩි කරලා ඉල්ලුම කළමණාකරන කළා. එක් එක් වාහන වලට ඉන්ධන සීමාවක් හෙවත් සලාක ක්‍රමයක් හඳුන්වා දීලා සැපයුම සීමා කළා. 2021 නොවැම්බර් මාසයේ අපි ඉදිරිපත් කළ විසඳුම තමයි තමයි අන්තිමට මේ ප්‍රශ්න විසදීම සදහා ක්‍රියාත්මක කලේ. එදා ඒක කළා නම් ජනතාව මෙහෙම දුක් විඳින්නේ නැහැ. රට ගිනි ගොඩක් ලේ විලක් බවට පත් වන්නේ නෑ. මේ අයට මේ ප්‍රශ්නය තේරුම් ගන්න ඔලුගෙඩි ඇතුලෙ මොළගෙඩියක් තිබුණේ නැහැ. එහෙම නැත්නම් වෙනත් යටි අරමුණකින් සිතා මතා මේ රට මෙතනට තල්ලු කලා.

මේ යන්නේ කොයි පාරේ – ඉන්දුනීසියාව ගිය පාරේ

අපි මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කිව්වා මේ ආණ්ඩුව සිතා මතාම මෙරට ආර්ථික අර්බුදයකට ගෙන යනවා කියලා. 1998 දී ඉන්දුනීසියාව එවැනි ආර්ථික අර්බුදයකට ගෙනහිල්ලා ලෝකය විසින් ඒ රටට ආධාර දෙන්න කොන්දේසියක් ගෙනාවා නැගෙනහිර ටිමෝරය ට නිදහස රටක් ලෙස වෙන් වෙලා යන්න ඉඩ දෙන්න කියලා. අචේ ප්‍රාන්තයට ස්වයංපාලන අයිතිය දෙන්න කියලා කිව්වා. රට ජාතිය පිළිබඳ ආඩම්බරයෙන් කතා කරපු ඉන්දුනීසියානු ජනතාව පාරේ පෙළපාලි යන්න පටන් ගත්තා නැගෙනහිර ටිමෝරයට නිදහස දීලා හරි අපිට කන්න දීපල්ලා කියලා. බඩගිනි උනාම මිනිස්සු ඒ විදිහට වෙනස් වෙනවා. මගෙ රට කැබිලි කරන්න බෑ කියලා ජනාධිපති සුහර්තෝ තනතුරෙන් ඉවත් වෙනවා. නමුත් ඒ යෝජනාව පිළි ගත්ත මෙගාවතී සුකර්නෝපූත්‍රි ඊළඟ ජනාධිපතිවරණය දිනලා ඉන්දුනීසියාව කැබලි වලට කඩලා දානවා. මේ පාර දිගේ ලංකාව අරන් යන්න හදන්නේ කියලා අපි ගිය අවුරුද්දේ මාර්තු මාසයේ රට ඉදිරියේ කිව්වා. අද දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම කියලා ආර්ථික අර්බුදය ට මුවා වෙලා මේ කරන්නේ 1998 ඉන්දුනීසියාවට කරපු දේමයි මිත්‍රවරුනි.

හෙලිකොප්ටරය මැදමුලනට බායි ද?

පහුගිය දවස් වල පොහොට්ටුවේ නායකයන්ගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. හෙලිකොප්ටරය මැදමුලනට බායිද කියලා තමයි අහන්නේ. මාලිමාවෙන් පාර හොයන අය මැදමුලන වලව්වේ නතර වුණත් දුරකථනය නාද වෙද්දී දුරකථනයේ අනිත් පස රාජපක්ෂවරුන් හිටියත් හෙලිකොප්ටරය කිසිම දවසක මැදමුලනේ නම් බාන්නේ නෑ කියන ප්‍රතිඥාව ජනතාවට දෙනවා. ඇයි අපි එහෙම කියන්නේ. එදා විපක්ෂය නිදි කිරා වැටෙද්දී එදා රාජපක්ෂවරුන්ගේ යම පාලනයට එරෙහිව අරගලය පටන් ගත්තේ අපි.

2020 අගෝස්තු මාසයේ 17 වැනිදා කුලුඳුල් අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට 69 ලක්ෂයේ ජනවරම ලැබිලා මාස අටයි. තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලය ලැබිලා දින පහළොවයි. රාජපක්ෂවරුන්ගේ ජනතා බලය ඉදිරියේ විපක්ෂයේ ඇස් නිලංකාර වෙලා ගල්ගැහිලා හිටියේ. කිරිබත් කාලා සුබ මොහොතින් පටන් ගත්ත පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමට තමයි බැසිල් මලයට අමෙරිකානු පුරවැසිකම තියාගෙන පාර්ලිමේන්තු එන්න විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. එදා විසි වන සංශෝධනයට එරෙහිව අමාත්‍ය මණ්ඩලය තුළ සටන පටන් ගත්තේ හෙලිකොප්ටරේ සිටින අපි මිස විපක්ෂයේ සිටින කිසිම පක්ෂයක් නොවේ. ඒ අය හඬක් නැගුවේ නෑ.

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයයේ පනස් තුන්වන පිටුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් කියලා තිබුණා නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කරනවා බටහිර ජැටිය සඳහා ආයෝජකයෝ සොයා ගන්න කියලා. නමුත් ඒ පොරොන්දු කඩ කරලා නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න හදනකොට මේ ආණ්ඩුවට එරෙහිව කැරලි ගසලා ඒක නතර කලේ විපක්ෂයේ දේශපාලන පක්ෂ නෙවෙයි. එදා ආණ්ඩුව තුළ හිටපු අපි.

ටෙන්ඩරයෙන් ආපු සමාගමකට ලංකාවේ ගෑස් සැපයීමේ කටයුත්ත දෙන්නේ නැතිව බැසිල් රාජපක්ෂ මහත්තය එක්ක ඩීල් එකක් දාපු ඇමරිකාවෙන් නිව් පෝට්‍රස් එනර්ජි සමාගමට ලංකාවේ ගෑස් ඒකාධිකාරිය දෙන්න හදද්දි අපේ ඇමතිධූර පැත්තකට දාලා ලෝක ඉතිහාසය ප්‍රථම වතාවට අපි අපේ ආණ්ඩුවට එරෙහිව උසාවි ගිහිල්ලා තමයි ඩීල් එක නතර කරන්න කටයුතු කළේ.

ඒ වගේම රසායනික පෝර තහනම හදිසියේ පාත් වුනාම එයට එරෙහිව අමාත්‍ය මණ්ඩලය තුළ අරගල කළේ අපි. ඒ නිසා මේ ආණ්ඩු විරෝධයේ අවංක ආණ්ඩු විරෝධය තියෙන්නේ හෙලිකොප්ටරේ පමණයි කියන එක අපට බය නැතුව කියන්න පුළුවන්.

මේ ආණ්ඩු විරෝධයේ අපි දැල්වූ පුංචි ගිනි සිළුව අද මහා ගිනි ජාලාවක් බවට පත්වෙලා රාජපක්ෂවරුන් ගිණිබත් වෙමින් පවතිනවා. ගින්නේ ආලෝකයෙන් ජනතාවගේ මෝහයේ අන්ධකාරය දුරු කරලා හෙලිකොප්ටරය ජයග්‍රහණය කරනවා කියන්නේ මේ රටට අවශ්‍ය අත්දැකීම් ඇති පරිණත සාමූහික නායකත්වයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමේ අඩිතාලමක් අපි දානවා කියන එකයි.

මේක අලුත් දේශපාලන සංස්කෘතියක්. පුද්ගලයෙක් පවුලක් මිත්‍ර සමාගමක් වෙනුවට සාමූහික නායකත්වයකින් රට පාලනය කිරීමේ ක්‍රමවේදයක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. අන්න ඒ අනාගතය බිහි කිරීමේ මුල් පියවරයි අද අපි මේ පටන් ගන්නේ.

– Media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka