මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම් කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවල සාක්ෂිකරුවන් ඉලක්ක කර ගනිමින් ඉකුත් දින කිහිපයේ වූ වෙඩි තැබීම් හා ඝාතන රැල්ල ඩුබායිහි රැඳී සිටින මෙරට ප්‍රධාන පෙළේ මත් කුඩු ජාවාරම්කරුවන් සිව් දෙනකුගේ මෙහෙයවීමෙන් කර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කර ගෙන තිබේ.
සාක්ෂිකරුවන් ඉලක්ක කරගෙන දකුණේ වූ වෙඩි තැබීම් සියල්ලක්ම මිදිගම හරක් කටා නමැති අපරාධකරුගේ මෙහෙයවීමෙන් සිදුව තිබෙන බව උසස් පොලිස් නිලධාරියකු අනාවරණය කළේය.
හරක් කටා මේ වන විට සිටින්නේ ඩුබායිහිය. පාකිස්තානයේ සිට මහා පරිමාණයෙන් මෙරටට හෙරොයින් සහ අයිස් නමැති මත්කුඩු මුහුදු මාර්ග ඔස්සේ රැගෙන ඒම මෙහෙයවන්නේ ඔහු විසිනි. අහංගමදී ඉකුත් 4 දාත් තංගල්ලේදී ඉකුත් 5 දාත් වෙඩි තබා ඝාතනය කරන්නේ ඔහුගේ මත්කුඩු ජාලයක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක සාක්ෂිකරුවන් දෙදෙනකු බව ද පොලිසිය සඳහන් කරයි.
තංගල්ලේදි කළ වෙඩි තැබීමට සම්බන්ධ පිරිස් කොළඹට ද සම්බන්ධකමක් ඇති බව හෙළි වී ඇත. තංගල්ල මොරකැටිආරේදි ඉකුත් 5 දා රාත්‍රි කාලයේ වෙඩි තබා ඝාතනය කරන සාක්ෂිකරු 37 වැනි වියේ පසුවන අයෙකි. යතුරු පැදියකින් පැමිණ ඔහුට වෙඩි තබන්නේ ටී 56 අවියකිනි. වෙඩි වැදුණු ඔහු එම ස්ථානයේදීම මරණයට පත් විය. ඔහු සමඟ සිටි දෙදෙනකු තුවාල ලැබීය.
මේ ඝාතනයෙන් පසු වෙඩික්කරු යතුරු පැදිය අතුරු මාර්ගයක දමා මෝටර් රථයකින් ගමන් කර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි විය. එම යතුරු පැදියේ සටහන්ව තිබුණු අංකය ඔස්සේ කළ පරීක්ෂාවේදි අනාවරණය වී ඇත්තේ යතුරු පැදියේ සවි කර තිබුණු අංක තහඩුව දෙමටගොඩ පදිංචි පුද්ගලයකුට අයත් යතුරු පැදියක අංකයක් බවය. පොලිසියට එම අංකය හිමි යතුරු පැදියේ හිමිකරු පවසා ඇත්තේ රාත්‍රි කාලයේ සිය නිවෙස ඉදිරිපිට නතර කර තිබුණු යතුරු පැදියේ අංක තහඩු මාසයකට පමණ පෙර කිසියම් අයෙක් විසින් ගලවාගෙන ගොස් තිබුණු බවකි. ඒ සම්බන්ධයෙන් ඔහු පොලිසියට පැමිණිල්ලක් ද කර තිබී ඇත. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් යතුරු පැදියේ චැසි හා එන්ජින් අංක ඔස්සේ කළ පරීක්ෂාවේදි හෙළිවී ඇත්තේ එම අංක සහිත යතුරුපැදියක් මෙතෙක් ලියාපදිංචි කර නැති බවය. ඒ අනුව පොලිසියට පැහැදිලි වී ඇත්තේ වෙඩි තැබීමට යොදාගත් යතුරු පැදිය ලියාපදිංචි නොකළ එකක් බවය. ඒ අනුව ශ්‍රී ලංකා රේගුවේ සහාය ඇතිව මේ යතුරු පැදිය මෙරටට ආනයනය කළේ කවුරුන්දැයි සොයා බැලීමක් පොලිසිය මේ වන විට නිරතව සිටී. යතුරු පැදිය අතහැර වෙඩික්කරු පලා යෑමට යොදාගත් මෝටර් රථය කුලී පදනම මත ගත් එකක් බව ද සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත. බෙන්තොට ප්‍රදේශයේ වාහන කුලියට සපයන ආයතනයකින් එම මෝටර් රථය ගෙන තිබේ. එම රථය ගැනීමට සම්බන්ධ වූ අය ද හඳුනා ගැනීමට පොලිසිය සමත්ව ඇත.
ගයාන් කුමාර වීරසිංහ
දිණමින
