ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදයක පැටලී ඇති පසුබිමක ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර දියත් කිරීමට තහනම් කරන ලද දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) පැරණි සාමාජිකයින් යළි ත් එක් වී සිටින බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇතැයි ‘ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ.
මැයි 13 වන දා පළ කර ඇති අදාළ ලිපිය මගින් එම පුවත්පත පෙන්වා දෙන්නේ, බහුජාතික සම්බන්ධතා ඇති ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවේ සමහර කොටස් විරෝධතාකරුවන් සහ ආරක්ෂක අතර සිදුවෙමින් පවතින ගැටුම්වලදී තම පැවැත්ම “දැන්වීමට” උත්සහ කරමින් සිටි බව පොලිස් ආරංචි මාර්ග සිකුරාදා පැවසූ බව ය.
මැයි 18 වන දාට යෙදෙන මුල්ලිවායිකාල් සංවත්සරය සමරන ඇතැම් කණ්ඩායම් දෙමළ ජන සංහාර සැමරුම් දිනය ලෙස ප්‍රකාශ කර ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරනවාට අමතරව හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් තම නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු පිරිස ඝාතනයට පළිගැනීමට ද කුමන්ත්‍රණ කරමින් සිටින බව එම වාර්තා පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා පැරණි සාමාජිකයින් පිරිසක් තමිල් නාඩුවට ඇතුළු වී ඇති බව බුද්ධි තොරතුරු උපුටා දක්වමින් එම ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව ‘ද හින්දු’ වාර්තා කර ඇත.
ඒ අනුව, රාජ්‍ය බුද්ධි අංශ සහ ප්‍රාදේශීය පොලිසියේ විශේෂ කණ්ඩායම් ප්‍රාන්තයේ කිලෝමීටර් 1,000කට වැඩි වෙරළ තීරයේ සෝදිසියෙන් පසු වන බව එම වාර්තා සඳහන් කර තිබේ.
තව ද තමිල් නාඩු පොලිසියේ වෙරළාරක්ෂක කණ්ඩායම විසින් මුහුදු සීමාවේ මුර සංචාර වාර ගණන වැඩි කරනු ලැබ ඇති බව ආරංචි මාර්ග සඳහන් කර ඇත.
ධීවරයින්ට ද මෙම අවදානම් තත්ත්වය පිළිබඳ දැනුවත් කර ඇති අතර ගැඹුරු මුහුදේ සහ ජාත්‍යන්තර මුහුදු සීමාවේ කිසියම් සැක කටයුතු ක්‍රියාකාරකමක් හෝ පුද්ගලයින් සිටී දැයි අවධානයෙන් පසුවන ලෙස උපදෙස් ලබා දී ඇතැයි ‘ද හින්දු’ වාර්තා කර තිබේ.
ශ්‍රී ලාංකිකයින් ඉන්දියාවට ඇතුළුවීම වැළැක්වීමට වෙරළබඩ ආරක්ෂක ආයතනවලට දැනුම් දී ඇති අතර, මුහුදට යන සියලු ම මාර්ගවල වාහන පරීක්ෂා කිරීම සඳහා මුරපොළවල් ශක්තිමත් කරන ලෙසට සියලු ම වෙරළබඩ දිස්ත්‍රික්කවල පොලිස් අධිකාරීවරුන්ට දන්වා ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරට ත් ප්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්, මෙරට ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානය මැයි මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් ‘ද හින්දු’ පළ කර ඇති වාර්තාව පිළිබඳව මෙරට බුද්ධි අංශ ඉන්දීය බුද්ධි අංශ වෙතින් කරුණු විමසීමක් කළ බව ය.
එහිදී එම තොරතුර “සාමාන්‍ය තොරතුරක්” ලෙස දන්වා ඇති බව ත් මේ පිළිබඳව තවදුරට ත් විමර්ශනය කර වැඩිදුර තොරතුරු වේ නම් ඒවා පිළිබඳව මෙරටට දැනුම් දීමට කටයුතු කරන බව ත් ඉන්දීය බුද්ධි අංශ සඳහන් කළ බව ආරක්ෂක අමාත්‍යංශය සිය නිවේදනයේ සඳහන් කර ඇත.
ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරට ත් සඳහන් කරන්නේ, මෙම තොරතුර සහ ජාතික ආරක්‍ෂාව හා සබැඳිව බුද්ධි සහ ආරක්‍ෂක අංශ වෙත ලැබෙන සියලු තොරතුරු පිළිබඳව නිසි විමර්ශනයන් සිදු කර අදාළ ආරක්‍ෂක අංශ දැනුවත් කර ආරක්‍ෂාව තර කිරීම සඳහා සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව ය.
කෙසේ වෙතත්, ඉන්දීය ඔත්තු සේවා මූලාශ්‍ර උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත පළ කර ඇති වාර්තාව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතික්ෂේප කළ බව ඊයේ (මැයි 14) එම පුවත්පත සඳහන් කර තිබේ.
“එම ලිපිය සම්පූර්ණයෙන් ම පදනම් විරහිතයි. එවැනි ආරක්ෂක තර්ජනයක් ගැන අපට බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් ලැබී නැහැ,” යනුවෙන් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසූ බව ‘ද හින්දු’ වාර්තා කර ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කර ඇත්තේ, වාර්ගික සබඳතා වැඩි දියුණු වෙමින් පවතින ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ සන්දර්භය තුළ “එල්ටීටීඊය නැවත සංවිධානගත වීම” යන ‘ද හින්දු’ වාර්තාව අතිශයින් ම සිත් සසල කරවන බව ය.
-colomboxnews
