කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න යන අය මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නිල නිවසට ඉදිරිපත් කිරීමෙන් පසු අද (30) පස්වරුවේ ඇප ලබා දුන්නා.
රතිඳු සේනාරත්න වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ,කෞෂල්‍ය නවරත්න සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාස් නූර්දීන් පෙනී සිටියා.
රතිදු වෙනුවෙන් කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාස් නූර්දීන් මහතා පැවසුවේ මෙම චෝදනා සම්බන්ධයෙන් පොලිසියට ඇප ලබා දිය හැකි බැවින් පොලිසියේ අත්සන් කිරීමෙන් අනතුරුව රතිඳු සේනාරත්න ඇප මත මුදාහරින ලෙසයි.
එමෙන්ම පොලිසිය රතිඳු අත්අඩංගුවට ගත්තද, අත්අඩංගුවට ගැනීමට හේතු වූ සාක්ෂි සම්පිණ්ඩනයක් අධිකරණයට ඉදිරිපත් කර නැතැයිද නූර්දීන් මහතා පෙන්වා දුන්නා.
මංමාවත් අවහිර කිරීම, රාජකාරියට බාධා කිරීම ඇතුලු රතිඳුට එල්ල කර ඇති චෝදනා පොලිස් ඇප දිය හැකි වැරදි බවත්, එසේ තිබියදී මෙවැනි වේලාවක ඔහුව අධිකරණයට රැගෙනවිත් ඇති බවත් නූර්දීන් මහතා මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු දැක්වූවා.
මෙහිදී පොලීසිය සඳහන් කළේ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට සෙනඟ විශාල පිරිසක් එක්රැස්වූ නිසාවෙන් ආරක්ෂාව සඳහා රතිදු සේනාරත්න අයව මහේස්ත්‍රාත්වරයා ඉදිරියට රැගෙන ආ බවයි.
කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා පොලීසියට අවවාද කළේ වරදක් කර ඇත්නම් අධිකරණයට වාර්තා කර අවශ්‍ය කටයුතු සිදු කළ හැකි බවටයි.
එමෙන්ම රතිදු සේනාරත්න යන අයටද අවවාද කරමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ උද්ඝෝෂණ කරන්නේ නම් අධිකරණයට පැමිණෙන අයට අවහිර නොවන ලෙසට කටයුතු කරන ලෙසයි.
ජුනි 13 අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා රතිඳු සේනාරත්න හට පොලිසියේ අත්සන් කර මුදා හැරීමට නියෝග කළා.
