අගමැතිවරයාට ගෞරවණීය ලෙස ඉල්ලා අසවීම සඳහා සතියක් කල් ලබා දෙන බවත් එසේ ඉල්ලා අස් නොවුනහොත් මේ සතිය තුළ විශ්වාස භංග යෝජනාවක් පාරලිමේන්තුවට ගෙන එන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසුවේය.
අද (25) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උදය ගම්මන්පිල කීවේ මේ වනවිට 113ක් වෙනුවට නිත්‍ය වශයෙන්ම 120ක් පමණ අගමැතිවරයා සහ ආණ්ඩුව ඉවත් විය යුතුය යන මතයේ සිටින බවය.
එමෙන්ම දැනට තමන්ගේ මතය ප්‍රකාශ නොකළ විශාල පිරිසක් විශ්වාසභංගයක දී සහාය දැක්වීමට සූදානමින් සිටින බව ඉතා විශ්වාසයෙන් යුතුව හෙළි කරන බවත් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කීවේය.
“අගමැතිතුමාට සහාය පල කරමින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කිරීමක් පසුගිය සති අන්තයේ දී ආරම්භ වුනා.පොහොට්ටුවේ ප්‍රධාන ලේකම්වරයා දුරකථනයෙන් කතා කරමින් අනිවාර්යයෙන් මේකට අත්සන් කළ යුතු බව දැනුම් දුන්නා. නමුත් ඔවුන්ට එකතු කරගන්න පුලුවන්වුනේ අත්සන් 46ක් පමණක් නිසා ඒ උත්සාහය අත්හැරියා.
ඒක එහෙම නෙමෙයි නම් අගමැති තුමාට සහය පල කරමින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අත්සන් කළ අත්සන් ලේඛණය ප්‍රසිද්ධ කරන්න කියලා මා පොහොට්ටුවේ ලේකම්ට අභියෝග කරනවා.“
විශ්වාස භංග ගෙනැවිත් බල පොරයකට නොයා කළ යුතු සුදුසුම දේ ආණ්ඩුව ඉල්ලා අස්වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම බැවින් අගමැතිවරයා ඉල්ලා අස්වෙන්නවා නම් ආණ්ඩුව විසිරී නව ආන්ඩුවකට පාර කැපෙන බව පෙන්වා දුන්නේය.
අගමැතිවරයා ඉල්ලා අස්වීමට සූදානම් වුවත් ඉල්ලා අස්වීමට ඉඩ නොදී තනතුරේ රඳවා ගැනීමට උත්සාහ කරන්නේ දූෂිතයින් කිහිප දෙනෙක් බව ගම්මන්පිල මන්ත්‍රීවරයා කීවේය.
තව දුරටත් මේ ජරා සෙල්ලම පවත්වාගෙන යන්නේ නම් එම දූෂිතයන් නම් කරන බවත් ඔහු කීවේය.
