ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට යටත්ව ඕනෑම කොන්දේසියක් යටතේ සාකච්ඡා කිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු පැවසුවේ මේ වනවිට නිර්මාණය වී ඇති ආර්ථික ගැටලුවට සේම ප්‍රබල දේශපාලන ගැටලුවක් ද මතු වී ඇති බවත්, සමාජයෙන් පැන නගින පළමු සහ කේන්ද්‍රීය ඉල්ලීම වන ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි යන පදනම මත පිහිට ලබා දෙන විසඳුම් එකක්වත් සමාජය පිලි නොගන්නා බවත්ය.
ඔහු පාර්ලිමේන්තුව අමතා මෙසේ ද ප්‍රකාශ කළේය.
පළමු නැගටීම් පළමු ඉල්ලීම් බවට පත් වී තිබුණෙ මේ තමන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දෙන්න කියලා. නමුත් ආණ්ඩුව මේ ගැටලු කිසිවකටත් සාවධානව උත්තර ලබා දුන්නෙ නෑ.
ඊට පස්සේ සටන් පාඨ එන්න ගත්තා ගෝටා ගෝ හෝම් කියලා. ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න කියලා. ඒ නිසා දැන් අපේ රටේ ආර්ථික අර්බුදයක් හා දේශපාලන අර්බුදයක් වර්ධනය වෙලා තියනවා. මේ රටේ ජනතාවගේ අරගලයේ කේන්ද්‍රීය සාධක දෙක දෙකක් තියනවා.
එකක් තමයි මේ ජනාධිපතිවරයා තව දුරටත් මෙම ධුරයේ නොසිටිය යුතුයි කියන යෝජනාව. ඒක අප පිළිගන්න ඕන. මේ සටනේ දෙවැනි කේන්ද්‍රය තමයි සාමාන්‍ය ජනතාවට තමන්ගෙ ජීවිතය පවත්වා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය දේවල් ටික ලබා දීම. ඒ නිසා පුරවැසියන්ගේ අත්‍යාවශ්‍ය දේවල් ටික ලබා දීමත් භාණ්ඩ මිල ඉහළ යෑම යම් ප්‍රමාණයකට පාලනය කළේ නැතිනම් මේ අර්බුදයේ කේන්ද්‍ර දෙකෙන් ඉවත් වෙන්න බෑ.
තමුන්නාසෙලා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වුණා. අපි දන්නවා ලංකා දේශපාලන ඉතිහාසයේ මුල්ම වරට කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස් වුනේ මීට දවස් දෙක තුනකට කලින්. නමුත් ඒක මේ ප්‍රශ්නයට විඳුමක් වුනේ නෑ. කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම හෝ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීනවීම හෝ මේ කිසිවක් අද විසඳුම් බවට පත් වෙලා නෑ.
අන්තර් කාලීන පාලනයක් යෝජනා වෙලා තියනවා. ඒත් ඒ අන්තර්කාලීන පාලනයේ කේන්ද්‍රීය ප්‍රශ්න දෙක ආමන්ත්‍රණය කරන්නෙ නෑ.
වටේ යන්න එපා. එහෙ මෙහෙ අතගාන්න එපා. තමුන්නාසේලා යෝජනා කරන කිසිවක් මේ රටේ ජනතාව අද භාරගන්නෙ නෑ. භාර ගන්නවා නම් මේ වනවිට ජනතාව පාරෙ ඉන්න විදිහක් නෑ. ඒ නිසා මේ ප්‍රශ්නය ඇති කළ ප්‍රධානම කොන්දේසිය වන ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි යන කොන්දේසියට යටත්ව අපි ඕනෑම සාකච්ඡාවක් කරමු.“
