gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාගේ රාජ්‍යයක් සම්බුදු සසුනට කළ හැකි සෑම කැප කිරීමක්ම කරන බව මම පොරොන්දු වෙනවා - සජිත්

සමාජ සංස්කෘතික සහ ආගමික වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉටු කරන අනවරත මෙහෙවර පිළිබඳව විශේෂයෙන් ප්‍රසාදයට පත්ව එකී මෙහෙවර ඇගයීම පිණිස ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මගින් අදාල ගෞරව නාමය ඒ මහතා වෙත පිරිනමනු ලැබීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක,අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන හිමිපාණන්වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමවා වදාල අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ,හිටපු කථානායක කරු ජයසූරිය මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කීවේය.

“අප ජීවත්වන ලෝකය මොන යම් බලවත් තනතුරු නම්බුනාම ලැබුණත් ඒ සියල්ලන්ටම වඩා මහා සංඝ රත්නයෙන් ලැබෙන උපහාර ගෞරව නාම ලක්ෂ ගනින්න අපට වටිනවා. එහි පවත්නා බලවත් ආශිර්වාදයෙන් දිග පළල මට හොඳින් දැනෙනවා. මාගේ ආදරණීය පියාණන් වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් මට බහ තෝරන අවධියේ කියා තිබෙන්නේ කවමදාකවත් තුනුරුවන්ට එරෙහි වන්නට එපා කියයි. මේ වැදගත් අවවාදය එදා දවසෙත් අද දවසෙත් මගේ ඉතිරි ජීවිත කාලය තුළත් එය පසක් කරන්නට ප්‍රායෝගිකවම මම කැපවනවා.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහමත් සමග සොලොස් කලාවන් මෙරටට ගෙනාවා. එහි ආභාෂය ලැබූවා මිසැක අනුකාරකයන් බවට පත් වුණේ නැහැ. පරාධීන නොගැඹුරු නූතන චින්තනවාදීන් විසින් එකී මහ බලැති දේශීය අනන්‍යතාවය අමුඅමුවේ අකා මකා දමමින් සිටිනවා. බත්පත වතුර බිංදුවක් පවා විදේශයන් වලින් එනතෙක් දෑස් අයා බලා සිටිනවා. මෑත යුගයේ මෙරට පාලනය කළ බොහෝ පාලකයින් සබුද්ධිකව ක්‍රියා නොකිරීම කාලයේ වැලි තලාවෙන් යට වීමට ඉඩ දීමත් හේතුවුණා. එකී උත්තුංග උල්පත නැවත පාදා දීම තුළ භෞතික සහ අධ්‍යාත්මික දෙඅංශයෙන්ම සමාන්තර තිරසාර සංවර්ධනයක් කරා රට මෙහෙයවීම කිසිදු අපහසුතාවයක් නැහැ. මීට අදාළ ප්‍රමාණවත් බුද්ධිය, සම්පත් මේ රටේ නොඅඩුවම තිබෙනවා.

බුද්ධිමය මානව සම්පත නිවැරදිව කළමනාකරණය නොකිරීම හේතුවෙන් මිලකළ නොහැකි ඒ සම්පත විදේශගත වෙනවා. ඔවුන් නිසි ඇගැයීමකට ලක්කර මවුබිමට ගෙන්වාගෙන රටේ සංවර්ධනය සඳහා නිසි වැඩපිළිවෙළක් විධිමත්ව සකසා මෙහෙයවීම අපගේ ප්‍රධාන අරමුණක් වෙනවා.

ලංකා ඉතිහාසය සම්බන්ධව කතා කරන විට බුද්ධ ශාසනය හා බද්ධ වූ පෞඩ ඉතිහාසයක් අපට තිබෙනවා. මහාවංශය, දීපවංශය, චූලවංශය ආදී වංශ කතා සමග තිබෙන්නා වූ සාධනීය ඉතිහාසය අපට ශේෂ වුනේ පූජනීය මහා සංඝරත්නය නිසයි. රාජ්‍යත්වය නිර්මාණය කිරීමදීත්, රාජ්‍යයන් පවත්වාගෙන යාමේදීත් අනුශාසකත්වය සහ අනුග්‍රාහකත්වය ලබා දුන්නේ අපේ බෞද්ධ ස්වාමීන් වහන්සේලායි.

එකල රජවරුන්ට තම රාජ්‍ය සුරක්ෂිත කර ගැනීම සඳහා සේනා සංවිධානය කිරීමට පවා සෘජු දායකත්වය සපයමින් පරසතුරු ආක්‍රමණ වලට මුහුණදීම සඳහා කැපවෙමින් ඇතැම්විට යුද පෙරමුණට පවා යමින් රට බේරා ගැනීම වෙනුවෙන් පෙරමුණ ගත්තේ ස්වාමීන් වහන්සේලායි. උන්නාන්සේලාට පිටුපා කටයුතු කළ සෑම රාජ්‍ය නායකත්වයක්ම දුර්වලවී පිරිහුනා පමණක් නෙවෙයි මුලු රටම අරාජික වුණා. ඒ ඉතිහාසය නොදැන අපට මේ ගමන යන්න බැහැ. බැටළු හමින් වසා සිංහ වෙස් ගෙන වුර්කයන් සේ ක්‍රියා කිරීමෙන් අපි කිසිවක් ආරක්ෂා වන්නේ නැහැ.

ධර්ම ද්වීපයක් පමණක් නොව අතීතයේදී මේ පුණ්‍ය භූමිය පෙරදිග ධාන්‍යාගාරය බවටත් විරුදාවලි ලැබුවා. දකුණු ආසියාවේ තිබූ ස්වයංපෝෂිත රටට අද අත්වී තිබෙන ඉරණම ඉතා ඛේදනීය සෝචනීය තත්ත්වයක්. මෙියින් නැවත පුනරුත්ථාපනය වන්නට අපට තුනුරුවන්ගේ ආශිර්වාදය තවමත් නොඅඩුව ලැබෙනවා. එම ආශිර්වාදය මා වෙතත් නොඅඩුව ලැබෙනවා. මා එය ආරක්ෂා කරන බවටත් නැවත නැවතත් සපථ කරනවා.

ලෝකයක් විශ්මයට පත් කළ හැකි මහා සංස්කෘතිය ස්මාරක කලා නිර්මාණ වැව් අමුණු ආදිය මෙන්ම ත්‍රිපිටක පාළිය හා බැදුනු මහා ධර්ම සංඛ්‍යාන මෙන්ම සම්භාව්‍ය ගණයේ මහා සාහිත්‍ය කෘතීන් සිය ගණනක් එදා මෙදාතුර බිහි වූයේ මහ සගරුවනේ ආශිර්වාදය නිසයි. මේ ප්‍රෞඩ ඉතිහාසය කිසිවකුටත් විනාශ කරන්න බැහැ.

කුඩා කල සිට දහම් අධ්‍යාපනය ලබමින් ඒ ආශ්‍රිතව මම කටයුතු කළා. ඒ ඇසුරෙන් සෙසු ජාතීන්ට සෙසු ආගම් වලට සෙසු සංස්කෘතියන්ට සැලකිය යුත්තේ කෙසේද යන්න මම මැනවින් දන්නවා. මාගේ රාජ්‍යයක් යටතේ මෙරට සම්බුදු සසුනෙහි මෙන්ම ලෝක සම්බුදු සසුන වෙනුවෙන් කළ හැකි සෑම කැප කිරීමක්ම කරන බව මම පොරොන්දු වෙනවා.

විශේෂයෙන් පිරිවෙන් අධ්‍යාපනය, දහම් අධ්‍යාපනය, දියුණු කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. සසුනට අරුණ වැඩසටහන යටතේ ආර්ථික දුෂ්කරතා සහිත සාමණේර හිමිවරුන්ගේ දෙමාපිය පවුල් සඳහා නිවාස තනා දීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම බෞද්ධ දේශපාලන දර්ශනයට අනුව ආර්ථික සුරක්ෂිතතාවය ඇති කරන බවටත් බුද්ධ ශාසනය වෙනුවෙන් පැමිණෙන්නා වූ ඕනෑම අධාර්මික බලවේග පරාජය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවටත් මහා සංඝරත්නය ඉදිරියේ ප්‍රතිඥා දෙනවා.

මෙරට ප්‍රධාන බෞද්ධ නිකායන් අතුරෙන් නම දහසකට වඩා විශාල මහා සංඝරත්නයත් වැඩ වසන්නාවූ රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමියන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මා වෙත ප්‍රදානය කිරීමට තීරණය කළ ගෞරව නාමය සක්විති රජකමටත් වඩා වටින ආධ්‍යාත්මික සංග්‍රහයක් හැටියට මම දකිනවා.

මගේ සමාජසේවා දිවියෙම දුගී දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන් කැප කරලා තියෙනවා. මම බෞද්ධ දර්ශනය යථාර්ථය හොඳින් හදුනා ගත් අයෙක්. සියලුම දෙනා මනුෂ්‍යයන් බැවින් අප සතුටට කැමතියි. ඒ නිසා අප සැමගේ දුක කඳුල දුරලීමට මා ගෙනයන වැඩපිළවලට ශක්තියක් එක්කල භාග්‍යසම්පන්න අවස්ථාවක් ලබා දුන් අපි අති ගෞරවනීය මහා සංඝ රත්නයට සහ මේ හා කැපවුණු ගිහි පැවිදි උතුමාණන් සැමට ගෞරවයක් හිමි වනවා.

දේශපාලඥයකු වනවාට වඩා නායකයෙකු වන්නැයි අපේ ඕමල්පේ සෝභිත හිමියෝ ඉතා වැදගත් යෝජනාවක් කළා. දේශපාලඥයන් බොහෝවිට කරන්නේ මැතිවරණ උදෙසා ක්‍රියා කිරීමයි යන්න උන්වහන්සේ පැවසුවා. නායකයන් කළ යුත්තේ ඉද්රි පරම්පරා වෙනුවෙන් රට ශක්තිමත් කිරීමයි. උන් වහන්සේගේ අනුශාසනාවේ සෑම වචනයක්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අකුරටම ක්‍රියාත්මක කරන්න මම මේ අවස්ථාවේ පොරොන්දු වෙනවා. චිරාත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනය බැබලේවා කියා මා ප්‍රාර්ථනා කරනවා” යැයිද විපක්ෂනායකවරයා එහිදී පැවසීය.

– media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka