gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"අපේ කටට ඉබ්බා දාලා යතුර පොහොට්ටු කාර්යාලයේ තියන්න හදනවා" - මෛත්‍රීගෙන් ආණ්ඩුවට තවත් ප්‍රහාර මාලාවක්!

'ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ටයි වැඩ කරන අනිත් අයගේ කටවල්වලටයි ඉබ්බා දාලා ඉබ්බගේ යතුර නෙළුම් මාවතේ පොහොට්ටු කාර්යාලයේ සේප්පුවේ දාන්න සමහර අයට වුවමනා වෙලා තියෙනවා. හැබැයි අපේ කටවල්වලට ඉබ්බා දාන්න කාටවත් පුළුවන්කමක් නැහැ. අපි ඇත්ත කතා කරනවා'', යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, පෙරේදා (ජන. 15) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුවට සහභාගි වෙමිනි. 

අඟුණුකොළපැළැස්ස පුරහලේ පැවැති මෙම සමුළුවට පරිසර ඇමති මහින්ද අමරවීර, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර, රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීවේ ය.

"ලංකාවේ අවුරුදු තිහක් විතර අපි කොච්චර කතා කළත් එක ම ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක්වත් වංචාව, දූෂණය නිසා හිරේ ගිහින් නැහැ. අපේ පළාත් පාලන ආයතන අන්ත දූෂිතයි. සියයට අනූවක් ම. ඒ සියයට දහයත් හොයාගන්නේ කොහොම ද කියන එක ප්‍රශ්නයක්. අද පළාත් පාලන ආයතනයකට ගියා ම වැඩක් කර ගන්න සන්තෝසම් දෙන්න ඕනෑ. හොරකම, දූෂණය කියන එක ඉහවහා ගිහින් තියෙනවා. ආණ්ඩුව තුළ ඉඳගෙන අපි මේවා කතා කරනකොට අපි වට කරලා ආයේ ගහන්න පටන් අරන් තියෙනවා. ආණ්ඩුවට විරුද්ධව නෙවෙයි අපි කතා කරන්නේ. රටේ සිදුවන සිදුවීම් සහ ජනතාවට තියෙන පීඩාව ගැනයි අපි කතා කරන්නේ.

සමහර අයට ඕනෑ වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ටයි වැඩකරන අනිත් අයගේ කටවල්වලටයි ඉබ්බා දාලා ඉබ්බගේ යතුර අර බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පොහොට්ටු කාර්යාලයේ සේප්පුවේ දාන්න. 

හැබැයි  අපේ කටවල්වලට ඉබ්බා දාන්න නම් කාටවත් පුළුවන් කමක් නැහැ. අපි ඇත්ත කතා කරනවා. අපි පක්ෂයක් විධියට ඉදිරියට යනවා. පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ කාර්යක්ෂමව සංවිධානය කරනවා. කිසි ම බලවේගයකට අපි ඔළුව පාත් කරන්න ලෑස්ති නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආකර්ෂණය ජනතාව තුළ වැඩිවෙලා තියෙනවා. අනිත් දේශපාලන පක්ෂත් වැඩ කරනවා. පොහොට්ටුවත් පක්ෂයක් විධියට වැඩ කරනවා. ජවිපෙත් වැඩ කරනවා. සමගි ජනබලවේගයත් වැඩ කරනවා. අපි විතරක් සද්ද නැතිව කට වහගෙන ඉන්න ඕනෑ ඉබ්බෝ දාගෙන. එහෙම නීතියක් නැහැනේ. ප්‍රජාතන්ත්‍රවාදී  රටක ප්‍රධාන දෙයක් තමයි පක්ෂයක් ගොඩනැගීමේදී දර්ශනය, පක්ෂයේ මතය කතා කරලා ඒ තුළ තමයි ජනතාව ඒකරාශි වෙන්නේ. පුද්ගලයෝ වටා නොවෙයි. ඒ නිසා පුද්ගලයන්ගෙන් තොර ප්‍රතිපත්තියක් සැලැස්මක් දර්ශනයක් තුළ වැඩ කිරීමේදී බණ්ඩාරනායක මැතිතුමා දක්ෂ දේශපාලනඥයෙකු වගේ ම පඬිවරයෙක්, දාර්ශනිකයෙක්.

කම්මැළිකමට දේශපාලනය කරන්න බැහැ. වැඩිපුර දුවපු තරමට තමයි  ප්‍රතිඵල තියෙන්නේ. ආණ්ඩුවේ කාලය දැන් අවුරුදු දෙකක් ගිහින් තියෙනවා. බොහෝ විට අනාගතයේ එන්න පුළුවන්. පළාත් සභා මැතිවරණය වෙන්න ත් පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණය වෙන්න ත් පුළුවන්. කුමන මැතිවරණයක් හෝ ජයග්‍රහණය කිරීමේ අරමුණු තුළයි අපි මේ යන්නේ.

අවුරුදු දහයේ දොළහේ දරුවෙක් එක්ක අද වැඩිහිටියෙකුට කතා කරන්න බැහැ. ඒ දරුවා ඊට වඩා ඉදිරියෙන් ඉන්නේ. අපි මේක තේරුම් ගන්න ඕනෑ. මේ රටේ උගත් පරපුර බලාපොරොත්තු වෙන ලෝකය මොකක් ද? අද රට හැරදාලා විශාල වශයෙන් යනවා. එය බරපතළ ප්‍රශ්නයක්. අන්තිමට මේ රටේ හොරු ටිකක් විතරක් ඉතුරු වෙන්න පුළුවන්. මේ තත්ත්වය දිගට ම ගියොත්. ඒ නිසා මෙතනින් රට ගලවාගන්න ඕනෑ රට බේරාගන්න ඕනෑ."

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙසේ කීවේ ය.

"දැන් කියනවා කයිය ගහගහ ඉන්නේ නැතිව යන්න ලු. ඕක මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ නෑ. අනාගතයේ රජවරු වෙන්න ඉන්න කට්ටිය කොහොම ද දැන් කතා කරන්නේ. දැන් ඒ අය එහෙම නම් අපිට කතා කරන්නේ ඒ අය අනාගතයේ රජ වෙන්නේ කොහොම ද කියලා අපි බලමු. රජ වෙන්න ඕනෑ නම් මේ රටේ හැම පක්ෂයක් ම ඕනෑ. මේ දිස්ත්‍රික්කයේ මහින්ද අමරවීර මහත්තයා සහ ජනතාව නැත්නම් රජකම් හම්බවෙන්නේ නැහැ. අද ඇමතිකම් අරන් ඉන්න හැම ඇමතිවරයෙක් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද දුන්නු ලක්ෂ 15ක් මිනිස්සුන්ට ණයගැතියි. අපි කාටවත් බයේ දේශපාලනය කරන්නේ නැහැ."


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka