gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උල් ආයුධයකින් ඇන මහදවල් මහපාරේ මරා දැමූ ලසන්ත හේග්වල යළි ඉපිද සටනට එන හැටි!

‘අලුත් දෙයකට අත ගැසීමට බියවීම නිසා, අවුරුදු දහඅටක් පමණ පුවත්පත් කතුකම කරමින් මම කාලය ගෙවීමි. පත්‍ර හිමියන්ට උවමනා දේ ලිවීම ඇතැම් විට කතුකම කරන්නාගේ හිත් වේදනාවට හේතු වුවද පහසු කාරියකි. එවැනි කතු වැකියක් හෝ ලිපියක් මා ලියූවේ කලාතුරකින් දවසකයි. මට ඇති නිදහස අනුව පත්‍ර හිමියන්ගේ හැඟීමටද කෙළින්ම පටහැනි නොවන සේ කතුවැකි හා ලිපි ලිවීම කඹයක ගමන් කිරීම වැනි අමාරු කාරියකි. තනිකර දේශපාලන ප්‍රශ්නයක් හැර රට, ජාතිය, බස පිළිබඳ අනෙක් ප්‍රශ්න ගැන මගේ වැටහීම කීමට මට එක්තරා නිදහසක් තිබිණි. අමාරු වූයේ අවංකවත්, මධ්‍යස්ථවත් ඒ කාරිය කිරීමයි.’

මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘උපන්දා සිට’ ග්‍රන්ථය – 19 වැනි පරිච්ඡේදය, 256 වැනි පිටුව.

මෙම අපූරු වදන් පෙළ ඔබට ලියා තැබුවේ, මෙයට හරියටම වසර 60කට පෙර එනම් 1961 වසරේදී අපගේ හෙළයේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් තමන්ගේ ජීවිත කතාව ලියා තැබූ ‘උපන්දා සිට’ ග්‍රන්ථයෙනි. ඔහු කොළඹ ලේක්හවුසියේ පුවත්පත් කතුකම් දරන යුගයේදී ලැබූ අපූරු ජීවන අත්දැකීම් රැසක් ඔහු එහි අපූරුවට ලියා තැබුවේය. මාර්ටින් වික්‍රමසිංහයන් ගත්කතුවරයකු මෙන්ම, අදීන පුවත්පත් කතුවරයකු ලෙසද කටයුතු කළ ආකාරය අතීත වාර්තා රැසකින් පෙන්වා දෙයි. ඔහු කිසිදු විටෙක තමන්ගේ පුවත්පත් ආයතන හිමියන්ගේ උවමනාවට හෝ වෙනත් පාර්ශ්වයක උවමනාවකට හෝ තමන්ගේ පුවත්පත් කතුකම් නොකළේය. එකල සමාජ රටාවේ හැටියට ඔහු නිරන්තරයෙන්ම තම පුවත්පත් කතුකම බාල්දු නොකිරීමටද වගබලා ගත්තේය. දැනට වසර 70කට පමණ ඉහතදී එසේ ඔහු අතින් සිදුවුණු අදීන පුවත්පත් කතුකම අමරණීය සටහන් රැසක් තැබූ ජාතික දායාදයකි.

අද මෙම ලිපියේ පෙර ගමන මේ ආකාරයෙන් පටන් ගත්තේ, මෙයට දින කිහිපයකට පෙර හෙළි වූ අලුත්ම පත්තර කතාවක් හේතුවෙනි. එය අපගේ මෑත යුගයේ එක්තරා සුවිශේෂී ගමන්මගක් සටහන් කළ පත්තර කතුවරයකුගේ කතාවකි. ඔහු අප සමාජයේ බොහෝ දෙනෙකු හොඳින් හඳුනන ලසන්ත වික්‍රමතුංග මහතාය. දැනට මෙරට සමාජය තුළ වසර 12කට අධික කාලයක් පුරා මෙම නාමය දෝංකාර දෙමින් ඇසෙයි. එසේ වන්නේ ඔහුගේ කුරිරු මරණය නිසාවෙනි. එනම් එක්තරා බියකරු ඝාතකයන් පිරිසක් විසින් ලසන්ත වික්‍රමතුංග නැමැති අදීන, ප්‍රවීණ මාධ්‍යවේදියා 2009 වසරේ ජනවාරි 08 වැනිදා අතිශය ම්ලේච්ඡ ලෙස ඝාතනය කළේය. තමන්ගේ ඝාතනයට පෙර ඔහු වසර ගණනාවක් පුරා තමන්ගේ පෑන් තුඩින් ලියා තබා ලෝකයට හෙළි කළ මෙරට දේශපාලන ප්‍රබලයන්ගේ දූෂණ, වංචා සහ අපරාධ රැසක් හේතුවෙන් ඔහුට එම ඉරණම අත්වූ බව බොහෝ දෙනා විශ්වාස කරන කාරණයකි. ඔහු එවකට ප්‍රකට ඉංග්‍රීසී පුවත්පතක් වූ ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ප්‍රධාන කතුවරයා වූ අතර, ඝාතනයට ලක්වන විට ඔහුගේ වයස හරියටම අවුරුදු 50ක් විය. පුවත්පත් කලාවේ වසර 30ක කාලයක නිරතව සිටියේය.

මෙම අදීන, නිර්භය පත්තර කතුවරයා පසුගිය රාජපක්‍ෂ රජය සමයේදී සිදුකළේ ආන්දෝලනාත්මක පුවත් අනාවරණයන්ය. කෙසේ හෝ ඒවා මෙහි නැවැත ලියා තබන්නට අවශ්‍ය නොවේ. එහෙත් එහි සුවිශේෂී වගතුග වන්නේ මෙම කුරිරු ඝාතනය සිදුවී දැනට වසර 13කට ආසන්න වී ඇතත්, මෙම අපරාධය සිදුකළ කිසිවෙකුත් නීතියේ රැහැනට හසු නොවීමය. රාජ්‍ය ආරක්‍ෂක අංශවලට සම්බන්ධ යම් පුද්ගලයන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණද, නඩු පවරා තිබුණද, ඒ කිසිවෙකින්වත් කිසිවෙකු හෝ සිරගෙට ගියේ නැත. ජාත්‍යන්තර වශයෙන් අපරාධ නඩු පවරා විභාග වුණද ඒවායින්ද පලක් නොවීය. එවැනි වටපිටාවක් තිබියදී මෙයට දින කිහිපයකට ඉහතදී ආරංචි වූයේ සුවිශේෂී පුවතකි. එනම් ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය නැවැත ප්‍රධාන ජාත්‍යන්තර අධිකරණය පද්ධතියක් තුළින් විභාගයට ගැනීමට යෑමේ පුවතකි. මෙය සිදුවන්නට යන්නේ ලෝකයේ තිබෙන එකම සහ ප්‍රධානතම ජාත්‍යන්තර මහාධිකරණය පිහිටා තිබෙන නෙදර්ලන්තයේ හේග් අගනුවරිනි.

නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා තිබෙන යුක්තිය පසඳලීමේ ජාත්‍යන්තර අධිකරණය යනු, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ප්‍රධානතම සංවිධාන 06න් එකක් වෙයි. කෙසේ හෝ ලසන්ත වික්‍රමතුංග ඝාතනය නැවැත විභාගයට ගැනෙන්නේ ප්‍රධාන වශයෙන් මෙම අධිකරණය හරහා නොවේ. එහෙත් හේග් නුවර පිහිටුවා තිබෙන ලොව ප්‍රධානතම ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මෙම සිදුවීම නැවැත විභාගයට ගැනෙයි. ඉන්පසුව එහි නිර්ණයන් නැවැත ඉහළ විනිශ්චයන් සඳහා ප්‍රධාන අපරාධ අධිකරණය වෙත යොමු කෙරෙයි. මෙම සුවිශේෂී සමුච්චය නම් කරනු ලබන්නේ People’s Tribunal for Murdered Journalists (ඝාතනය වූ මාධ්‍යවේදීන් සඳහා වන මහජන විනිශ්චය සභාව) ලෙසිනි. මෙය අලුතින් බිහිකරන ලද ආයතනයක් වන අතර, මෙහි මූලික කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය නොවැම්බර් 02දා හේග් නුවරදීය. ඉන්පසු එහි විනිශ්චය කටයුතු කලින්, කලට නිසි ක්‍රමවේදයක් යටතේ සිදුවෙයි. මෙම නීතිමය විනිශ්චය සභාව ස්වාධීන කර ඇත්තේ, ලොව ප්‍රධානතම ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන තුනක් මගිනි.

ලසන්ත වික්‍රමතුංග ඝාතන විනිශ්චය ගැන කතා කිරීමට ප්‍රථම මෙලෙස එක්වී සිටින ලොව ප්‍රබලතම මාධ්‍ය සංවිධාන 03 ගැන කරුණු දැනගැනීම අත්‍යාවශ්‍යය.
එම ජාත්‍යන්තර සංවිධාන තුන මෙසේය.

Reporters Without Borders (මායිම් සීමා නැති වාර්තාකරුවන්) නැමැති ප්‍රංශයේ පිහිටා තිබෙන ප්‍රකට ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානය. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතද උපදේශන සේවා සපයන ප්‍රබල ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයකි.

ක්‍Commitee to Protect Journalists (ජනමාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමේ කොමිටිය) නැමැති ඇමෙරිකාවේ පිහිටුවා තිබෙන ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානය. අවුරුදු 40ක් ඉපැරැණි මෙම සංවිධානය ලෝකයේ මාධ්‍යවේදීන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රබල සංවිධානයකි.

Free Press Unlimited (සීමාරහිත නිදහස් මාධ්‍ය සංවිධානය) නැමැති, නෙදර්ලන්තයේ පිහිටුවා තිබෙන ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානය. විශේෂයෙන්ම යුද ගැටුම් වාර්තා කරනු ලබන මාධ්‍යවේදීන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය සංවිධානයකි.

දැන් ඔබට මෙම වගතුග වඩාත් පැහැදිලි වනු ඇතිය. මේ ආකාරයට ප්‍රබල මාධ්‍ය සංවිධාන තුනක් එකට එක්ව පිහිටුවා ගත් මෙම ‘මාධ්‍යවේදීන් සඳහා වන මහජන විනිශ්චය සභාව’ තම කටයුතු පළමුවෙන් ආරම්භ කරනු ලබන්නේ, ලොව ඝාතනයට ලක්වුණු ප්‍රධානතම මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ පරීක්‍ෂණයන් හරහාය. 1992 වසරේ සිට මේ තාක් දක්වා වසර 30කට ආසන්න කාලයක් පුරා ලොව පුරා මාධ්‍යවේදීන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනයට ලක්වී ඇති බැව්, ලොව ප්‍රධානතම මාධ්‍ය සංවිධාන ප්‍රකාශ කර සිටියි. මේ අනුව මරණයට පත්වූ මෙම පිරිස්වලට යම් සාධාරණයක් ඉටු කිරීම ඉහත ජාත්‍යන්තර මහජන සභාවේ පරමාර්ථය වෙයි. මෙතරම් ඝාතනයට ලක්වූ සුවිශාල මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් අතරින් සභාව විසින් ප්‍රථමයෙන් විනිශ්චය සඳහා ගනු ලබන්නේ මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ ඝාතන සිදුවීම්ය. එහිදී පුදුමාකාර, සුවිශේෂම සිදුවීම වන්නේ, ප්‍රථමයෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම විනිශ්චයට ගැනීමය. මෙය සැබැවින්ම ශ්‍රී ලංකාවට හිමිවී ඇති විශේෂිතම අවස්ථාවකි. අනෙක් සිදුවීම් දෙක ඇත්තේ ඉන් පසුවය.‘මෙහිදී මෙම සුවිශේෂී මාධ්‍යවේදීන් තිදෙනාගේම වගතුග යමක් සොයා බැලීමද අත්‍යාවශ්‍ය කරුණකි. තවද මෙහි විශේෂත්වයක් වන්නේ මොවුන් තිදෙනාම පුවත්පත් කතුවරුන් වශයෙන්ද තමන්ගේ මාධ්‍ය මෙහෙවර ඉටුකර තිබීමය. ඔවුන් පිළිවෙළින් මෙසේය.

ලසන්ත වික්‍රමතුංග – ශ්‍රී ලංකාව

‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ප්‍රධාන කතුවරයාය. 2009 ජනවාරි 08 වැනිදා තම මෝටර් රථයෙන් කාර්යාලයට පැමිණෙමින් සිටියදී යතුරුපැදි දෙකකින් පැමිණි ඝාතකයන් විසින් තියුණු ආයුධවලින් ඇන ඝාතනය කරන ලදී. මෙම ඝාතනය සඳහා දෝෂාරෝපණය හිමිවී ඇත්තේ එකල පැවැති රජයට සහ නායකයන්ටය. මියයන විට ඔහු 50 වැනි වියෙහි පසුවිය.

මිහෙල් ලෝපෙස් වැලැස්කෝ – මෙක්සිකෝව

ලෝකයේ භයානක මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පැතිර තිබෙන මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය අපරාධකරුවන් ගැන පුවත් මොහු විසින් වාර්තා කළේය. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයන් කිහිප දෙනෙකු ගැනම සත්‍ය කරුණු සොයා වාර්තා කළේය. අවසානයේදී මෙක්සිකෝවේ සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයා විසින් මෙම කතුවරයා ඇතුළු මුළු පවුලම කුරිරු ලෙස සිය නිවෙස තුළදීම ඝාතනය කරන ලදී. 2011 ජුනි 20දා ඔහු ඝාතනයට ලක්වන විට 55 වැනි වියෙහි පසුවිය.

නබිල් අල්-ෂර්බාජි – සිරියාව

දැනට වසර 20කට වඩා සිරියාවේ ජනාධිපති ධුරයෙහි සිටින ප්‍රබල, ඒකාධිපති පාලකයකු වූ බෂීර් අල්-අසාඩ්ගේ පාලන තන්ත්‍රයට එරෙහිව පුවත් වාර්තා කළ මොහු, 2015 මැයි 03 වැනිදා රාජ්‍ය පාර්ශ්ව විසින් ඝාතනයට ලක්කරන ලදී. 2012 වසරේදී මුලින් සිරභාරයට ගත් නබිල් අල්-ෂර්බාජී පසුව ඝාතනය කෙරුණේ 2015දී යුද හමුදා සිරගෙයක් තුළදීය. ඔහු ඝාතනයට ලක්වන විට 45 වැනි වියෙහි පසුවිය.

දැන් ඔබට සිදුවන්නට යන දේ පැහැදිලි වනු ඇතිය. මෙලෙස ප්‍රථම වතාවට පිහිටුවා ගනු ලැබූ ‘ඝාතනය වූ මාධ්‍යවේදීන් සඳහා වන මහජන විනිශ්චය සභාව’ පළමු වරට රැස්වූ නොවැම්බර් 02දා එම කටයුතු සාර්ථකව සිදුකෙරුණු බවට කරුණු වාර්තා විය. තවද මෙදිනම මෙය ස්ථාපිත කිරීමට විශේෂිත හේතුවක්ද විය. එනම් මෙදින එක්තරා ජාත්‍යන්තර සැමරුම් දිනයක් වන අතර, එය International Day to End Impunity for Crimes Against Journalists’ (මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩ මුක්තිය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය) ලෙසින් හැඳින්වෙයි. මෙහිදී මෙම විනිශ්චය සභාව විසින් අධි චෝදනාවන් ඉදිරිපත් කරන්නේද, ඉන්පසුව නඩු පැවරීම් සිදුකරනු ලබන්නේද, එම ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට අයත් වන රටවල්වල රජයන් වෙතය. ඒ අනුව ශ්‍රී ලංකා රජයටද, මෙක්සිකානු රජයටද, සිරියානු රජයටද එරෙහිව එම කටයුතු සිදුකෙරෙනු ඇතිය. කෙසේ හෝ ශ්‍රී ලංකාවට අදාළ ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීමේදී එම විනිශ්චය කටයුතු නොවැම්බර් 02දා සිට ආරම්භ වී සිදුකෙරුණද, එහි අවසාන විනිශ්චය සභාව පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 2022 වසරේ ජනවාරි 12 සහ 13 යන දිනයන්හිදීය. ඉන්පසුව අවසාන විනිශ්චයන් හරහා ශ්‍රී ලංකා රජයට සහ එම සිදුවීමට අදාළ වගකිවයුතු දේශපාලනික නායකයන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයෙහි නඩු පැවරෙනු ඇතිය. මෙතෙක් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට එරෙහිව නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ මහාධිකරණයේ නඩු පැවරීමක් සිදුවී නොමැත.

මෙහිදී සුවිශේෂී පුවතක් ලෙස වාර්තා වන්නේ, ඝාතනයට පත්වූ ලසන්ත වික්‍රමතුංගගේ එකම දියණිය වන දැනට ඇමෙරිකාවේ සිටින අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය විසින් මහජන විනිශ්චය සභාව වෙත තම සම්පූර්ණ සහාය ලබා දීමට එකඟවී තිබීමය. තමාගේ පියා වෙනුවෙන් එය තමාට මහත් ගෞරවයක් බවත්, ඇය ට්විටර් පණිවුඩයක් තබමින් ප්‍රකාශ කර ඇත. ‘ලසන්ත වික්‍රමතුංගගේ පවුලේ සාමාජිකයන් වසර 12ක් පුරා මෙම අපරාධයට එරෙහිව යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා සිටියා, ඒත් එය සිදුවුණේ නැහැ. එහෙත් මෙවර හේග් නුවර විනිශ්චය සභාවේදී මේ මහා අපරාධයට මුක්තිය හිමිවන්නේ නැහැ. මෙවර මෙම අපරාධය ගැන සත්‍ය ලෝකය ඉදිරියේ හෙළිවනවා.’ යැයි එම ට්විටර් පණිවුඩයෙහි අහිම්සා වික්‍රමතුංග වැඩිදුරටත් ලියා තබා ඇත. කෙසේ හෝ ඇය පසුගිය කාලයක් පුරාම තම පියාගේ ඝාතකයන් නීතිය ඉදිරියට ගෙන ඒමට මහත් වෙහෙසක් ගෙන කටයුතු කළාය. ඇය ජීවත් වන ඇමෙරිකාවේ කැලිපෝනියා ප්‍රාන්තයේ නඩුවක් පවා පැවරිණි.

හේග් නුවර මහජන විනිශ්චය සභාවේ පැවැත්වීමට නියමිත ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය සිදුකරනු ලබන්නේ ලොව සිටින ප්‍රවීණ, කීර්තිමත් ජාත්‍යන්තර අපරාධ විනිසුරුවරයකු වන, ශ්‍රීමත් හොවාර්ඩ් මොරිසන් මහතාගේ ප්‍රධානත්වයෙනි. ඔහු හේග් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ හිටපු මහාධිකරණ විනිසුරුවරයෙකි. ඔහුගේ සහායක කටයුතු සඳහා ලෝකයේ සිටින ප්‍රකට මානව හිමිකම් නීතිවේදීන් කිහිප දෙනෙකුම සහභාගි වනු ඇතිය. එසේම විමර්ශනයට අදාළව සාක්‍ෂි ලබා දීම සඳහා අවශ්‍ය වන සාක්‍ෂිකරුවන්ද සහභාගි වනු ඇත. එහෙත් මෙතෙක් ශ්‍රී ලංකාව ආශ්‍රිතව එවැනි පිරිස් ඉදිරිපත්වී නැත. ඒ වුවද විමර්ශනයට පෙර එවැනි පිරිස් සහභාගි වීමට නියමිතවද ඇත. එහෙත් මේ වන විට ලොව ඝාතනයට ලක්වී ඇති ප්‍රකට මාධ්‍යවේදීන් රැසකගේම ඥාතීන්, හිතවතුන් සහ සමීප පාර්ශ්ව කිහිපයක්ම විමර්ශන සඳහා සහභාගි වීමට තම නම් පවා ‘හේග් මහජන සභාවට’ ලබාදී ඇත. එය දීර්ඝ නම් ලැයිස්තුවක් හෙයින් මෙහි ලියා තබන්නට ඉඩක් නැත.

ප්‍රියන්ත හෙට්ටිගේ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka