gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගම්මන්පිල ඉන්දියානු තැරැව්කරුවෙක් කියා ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට අයිති යැයි පවසමින් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා විසින් සිදුකළේ රාජද්‍රෝහී, දේශද්‍රෝහී හා ඉන්දීය ගැති ප්‍රකාශයක් බව ජාතික අවදි සභාව සඳහන් කරයි.

එම සංවිධානය විසින් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මෙම අදහස් පළ කරන ලදී.

ජාතික අවදි සභාවේ කැඳවුම්කරු නිශාන්ත වර්ණසිංහ :

වත්මන් බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල ඇමතිවරයා පසුගිය දිනක කරපු ප්‍රකාශයක් පිළිබඳව මේ වන විට රට තුළ විශාල සංවාදයක්, සාකච්ඡාවක් ඇතිවෙමින් තියෙනවා. ඒ වගේම එකී සාකච්ඡාව අද වන විට බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින් අතර විතරක් නෙමෙයි වෘත්තීය සමිති, ඒ වගේම මේ රටේ දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන අතර විශාල සංවාදයකට බඳුන්වෙලා තියෙනවා.

මොකක්ද මේ සංවාදයට හේතු වෙලා තියෙන්නේ? උදය ගම්මන්පිල බලශක්ති ඇමතිවරයා ප්‍රකාශ කරනවා ඉන්දු ලංකා ගිවිසුමට අනුව ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි 100ම සදාකාලිකවම ඉන්දියාවේ භුක්තියට පවරලා දීලා තියෙනවා කියලා. ඇත්ත වශයෙන්ම මේක ඉතාම බරපතළ ප්‍රකාශයක්. මොකද දැන් මේ රටේ ඉන්න බලශක්ති ඇමතිවරයා මේ විදිහේ ප්‍රකාශයක් කරාම ඒකට නිල බලයක් ලැබෙනවා .

ඒ ප්‍රකාශය ඇහුවහම ඇත්ත වශයෙන්ම ඔහු මේ රටේ බලශක්ති ඇමතිවරයාද, එහෙම නැත්නම් ඉන්දියාවේ බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකද කියලා අපිට ප්‍රශ්නයක් ඇතිවුනා. මොකද මේ අපේ රටට අයිතිව තිබෙන සම්පතක්, දේපලක්, භූමියක් අන්සතු කිරීම පැහැදිලිවම රාජ්‍යද්‍රෝහී ප්‍රකාශයක්. දේශද්‍රෝහී ක්‍රියාවක්.

මොකද මේ රටට අයිතිව තියෙන භූමි භාගයක්, මේ තෙල් ටැංකි 100 සමන්විතව තියෙන ප්‍රදේශය අක්කර 678ක් තියෙනවා. එතකොට මේක නිදහසින් පස්සේ අපිට ශ්‍රී ලංකා රාජ්‍යය පූර්ණ නිදහස ලබා ගැනීම සඳහා ගෙන ගියපු ඒ සටනේ එක වැදගත් සන්ධිස්ථානයක් තමයි මේ ත්‍රීකුණාමලයේ නාවික කදවුර බ්‍රිතාන්‍යයන් සතුව තිබුණු මේ නාවික කදවුර 1957 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා පවර ගන්නවා. එතකොට බ්‍රිතාන්‍ය නාවික හමුදාවෙන් මේක ශ්‍රී ලංකා රජය සතු කරගන්නවා මේ භූමිය. එතකොට ඒ භූමිය සතුව තිබුණු මේ තෙල් ටැංකි පරිහරණය කරපු සමාගම් තිබුණා. ඒ සමාගම් වලිනුත් ඊට පස්සේ 1961දී අපි දන්නවා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියතෙල් සමාගම් ජනසතු කරලා තෙල් ටැංකි ටික පවරා ගනිමින් 1964 වෙනකොට පනතක් හරහා ඛනිජ තෙල් සංස්ථාවට මේ තෙල් ටැංකි ටික පවරනවා. ඒ සඳහා අපි ගෙවපු මුදල කොච්චරද? ඒ වෙනුවෙන් පවුම් දෙලක්ෂ පනස්දාහක් ගෙවලා තමයි, මේ තෙල් ටැංකි ටික ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතට පවර ගත්තේ. එතකොට මේ පවරගත්ත භූමිය, ඒ වගේම මේ තෙල් ටැංකි ටික දැන් ඉන්දු ලංකා ගිවිසුමෙන් පැවරුවා කියලා කියනවා. ඉන්දු ලංකා ගිවිසුම ඉන්දියාවත් ලංකාවත් අතර ඇතිකරගත්ත ගිවිසුමක්. එතකොට ඒ ගිවිසුමෙන් උතුරු හා නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් කිරීම සඳහා, එක පැත්තකින් ඉන්දියාව අපිට යෝජනාවලියක් ඉදිරිපත් කරා. ඒ වගේම අනිත් පැත්තෙන් කිසියම් ආකාරයක ආරක්ෂක ගිවිසුමකුත් ඇතුළත් වුණා.

ඉන්දු ලංකා ගිවිසුම එදා අත්සන් කරේ මොනවගේ වාතාවරණයක් යටතේද? ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරේ ඉන්දියාව බලහත්කාරයෙන් තමයි ඒ ගිවිසුම අපි මත පැටෙව්වේ. එවකට ජනාධිපති J.R.ජයවර්ධන මැතිතුමා බිය වද්දලා, එතුමාගේ අත අඹරවලා, ඒ වගේම විශාල යුධමය තර්ජනයක් එක්ක රාජ්‍යතාන්ත්‍රික තර්ජනයක් එක්ක තමයි එදා ඒ ගිවිසුම අත්සන් කලේ. ඉතින් ඒ නිසා පැහැදිලිව කියන්න ඕන. ඒක බලහත්කාරයෙන් අපි මත පටවපු එකක්. අපි එදා කැමැත්තෙන් ඒ ගිවිසුමට ගියා නෙමෙයි. ඒක ජේ.එන්.ඩික්සිත් මහත්මයා ලියපු “කොළඹ භූමිකාව” කියන පොතේ ඉතා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඒ කරුණු කාරණා කොහොමද පෙළ ගැහුනේ කියලා. එදා වඩමාරච්චි මෙහෙයුම දියත් කරගෙන යනකොට, ඇත්ත වශයෙන්ම 1987තමයි, මේ ත්‍රස්තවාදය අවසන් කරන්න පුළුවන්කම තිබුණේ. මේ බෙදුම් කොටි ත්‍රස්තවාදය, එල්. ටී. ටී. ඊ. සංවිධානය, ප්‍රභාකරන් පරාජය කරන්න පුළුවන්කම තිබුණේ 1987 දීයි. හැබැයි ඒ අවස්ථාවේදී ඒක කරන්න ඉඩ දුන්නේ නෑ. ඉන්දියාව සම්පූර්ණයෙන්ම මොකද කරේ? ඉන්දු ලංකා ගිවිසුම අපි මතට ගෙනාවා. යුද්ධ මෙහෙයුම නතර කරන්න කිව්වා. එදා යුද්ධයට නායකත්වය දුන්න ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න වැනි සියලු දෙනාට එදා සිද්ධ වුණා ඒ මෙහෙයුම නතර කරන්න. එතකොට ඉන්දියාව එදා ඒ විදිහට මැදිහත් වෙලා තමයි මේ ගිවිසුම අපි මත පැටෙව්වේ. ඒක බලහත්කාරී ගිවිසුමක්. දැන් ඒ ගිවිසුම අත්සන් කරපු ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ජීවතුන් අතරත් නෑ. රජිව් ගාන්ධි මැතිතුමාත් ජීවතුන් අතරත් නෑ. එතකොට ඒ ගිවිසුමෙන් අපත් සමග බැඳිලා හිටිය ඉන්දියාව ගිවිසුම ප්‍රකාරව යම්කිසි කාර්යභාරයක් ඉෂ්ට කරන්න. හැබැයි ඒ කාර්යභාරය ඉන්දියාව. ඉෂ්ට කරේ නෑ.

මොකක්ද ගිවිසුමෙන් කිව්වේ? ගිවිසුමෙන් පැහැදිලිව කිව්වා ශ්‍රී ලංකාව තුළ සිටින දෙමළ බෙදුම්වාදී සන්නද්ධ සංවිධාන සියල්ල නිරායුධ කරනවා කියලා. ඒක කරන්න ඉන්දු ලංකා ගිවිසුමෙන් ඉන්දියාව බැඳිලා හිටියා. නමුත් ඉන්දියාව ඒ කටයුත්ත කරේ නෑ. ඉතින් ඒ නිසා ඉන්දියාව ඇත්ත වශයෙන්ම ඒ ගිවිසුම් ප්‍රකාරව බැඳිලා තිබුණු වගකීම ඉෂ්ට කරලා නෑ. ඒ නිසාම ඒ ගිවිසුමේ වලංගුතාවය පිළිබඳ ප් ප්‍රශ්නයක් තියෙනවා.

අද මේ ගම්මන්පිල මැතිතුමා ඇවිල්ලා දිගින් දිගටම අවධාරණය කරනවා, ඉන්දු ලංකා ගිවිසුම අනුව, මේ තෙල් ටැංකි 100ම ඉන්දියාවට අයිතියි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් මේ ප්‍රකාශනය සම්බන්ධයෙන් අපිට සැකයක් මතුවෙනවා. ඔහු ඇත්තටම මේ ශ්‍රී ලංකාවේ බලශක්ති ඇමතිවරයාද ? එහෙම නැත්නම් ඉන්දියානු බලශක්ති අමාත්‍යාංශයේ ඒජන්තවරයද? එහෙම නැත්නම් තැරැව්කාරයද? කියලා.

ඉතින් ඒක නිසා අපි අහන්නේ මේ විදිහේ මේ ප්‍රකාශයක් කිරීම සම්පූර්ණයෙන්ම රාජ්‍ය ද්‍රෝහී අනිත් පැත්තෙන් දේශද්‍රෝහී ප්‍රකාශයක්. හරි. ශ්‍රී ලංකා රාජ්‍ය සතුව තිබෙන දේපළක්, ඉඩමක් ඒ වගේම තෙල් ටැංකි ප්‍රමාණයක් මේ විදිහට අන්සතුයි කියලා ප්‍රකාශ කිරීමෙන් ම මම හිතනවා මෙබඳු පුද්ගලයෙක් ශ්‍රී ලංකා ජනරජයේ කැබිනට් මණ්ඩලය තුළ තවදුරටත් තබා ගත යුතු නැති බව මම හිතනවා.

මේ ප්‍රකාශය සිදු කළ ගම්මන්පිල ඇමතිවරයා ඉන්දියානු තැරැව්කරුවෙක්. එහෙම නැත්නම් ඔහු ඉන්දියන් ඔයිල් සමාගමේ සල්ලි වලට යටවෙලා හරි විකිණිලා හරි තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ වගේ ප්‍රකාශයක් කරන්න විදිහක් නෑ. ඒ නිසා අපි කියන්න කැමතියි. ඉන්දු ලංකා ගිවිසුම විතරක් නෙමෙයි ඔහු කියනවා 2003 මේ තෙල් ටැංකි ටික පැවරුවා කියලා. ගිවිසුමකින්. එතන තියෙන්නේ අවබෝධතා ගිවිසුමක් නෙමෙයි. ඒක කල්බදු ගිවිසුමක්. ඒ ගිවිසුම ඇති කරගන්න කියලා තියෙන්නෙත් මාස හයක් ඇතුළත කාලයක් තුළයි.

දැන් අපි කියමුකෝ. මොකක් හරි මේ අත්සන් කරපු ගිවිසුම් වල යම්කිසි අඩුවක් තියෙනවා කියලා. දැන් ඉන්දු ලංකා ගිවිසුමේ අපි කොතරම් වගන්ති අපි සංශෝධනය කර ගත්තද? එම ගිවිසුමට අනුව ඒකාබද්ධ කරලා තිබුණු උතුරු නැගෙනහිර අපිට පුළුවන්කම ලැබුණා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හරහා නැවත වතාවක් වෙන් කරන්න.ඒ වගේම ඉන්දු ලංකා ගිවිසුමෙන් පළාත් සභා පිහිටුවීමට සම්මත කරගත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි අදටත් මුළුමනින්ම ක්‍රියාත්මක කරලා නෑනේ. එහෙමනම් දැන් මේ ගම්මන්පිල ඇමතිතුමා ඇවිල්ලා මේ ඉන්දු ලංකා ගිවිසුම අනුව තෙල් ටැංකි ටික සේරම දුන්නා කියලා දිගින් දිගටම අසත්‍ය ප්‍රකාශ කරන්නේ ඇයි ? අඩුම වශයෙන්, ඉන්දීය විදේශ ලේකම්වරයාවත්, ලංකාවට ඇවිල්ලා නොකියපු කතාවක් ඇයි මෙයා කියන්නේ? මේ කියන්නේ වෙන මොහොකටවත් නෙමෙයි මේක යට තියෙනවා යම්කිසි කුමන්ත් රණයක්. මොකද්ද ඒ කුමන්ත්‍රණය . මේ තෙල් ටැංකි ටික සම්පූර්ණයෙන්ම එක්කෝ පවරා දෙන්න යනවා. එහෙම නැත්නම් මේ ත්‍රීකුණාමල ඇතුළු මේ තියෙන මේ වටිනා සම්පත් අතයට ගනුදෙනුවක් මත විදේශිකයන්ට විකුණන්න සැලසුම් කරගෙන යනවා. ඒකට විරුද්ධව එන මහජන විරෝධතාවය, වෘත්තීය සමිති වල විරෝධතාවය යටපත් කරන්න තමයි මේ ඇමතිවරයා හදිසියේ මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා එකසැරේම මෙවැනි ප්‍රකාශයක් කළේ . “මේක දැන් අපිට අයිතියක් නෑ. මේක දැන් ඉන්දියාවට දීලා ඉවරයි සදාකාලිකව. සදාතනිකව ඉන්දියාවට අයිතියි. මේක දැන් ආපහු අපිට ගන්න බෑ..” කියලා කියන්නේ ඒකයි.

මේ ඇමතිවරයා ඇමැතිවරයා පසුගිය දිනක ඛනිජ තෙල් පනත සංශෝධනය කරලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව තිබුණු බලය දැන් තමන්ගේ අතට අරගෙන තියෙනවා. උදය ගම්මන්පිලගේ අතට අරගෙන තියෙනවා. සංස්ථාව සතුව තිබුණු බලය දැන්, ඔහු අතට අරගෙන මොකක්ද මේ කරන්නේ? ඔහුගේ අභිමතය පරිදි කටයුතු කරන්න පුළුවන් ඊළඟට. එනම් මේක යට අපිට තේරෙනවා මේ රටේ සම්පූර්ණ මේ ඛනිජ තෙල් ව්‍යාපාරය නැවත වතාවක් විජාතිකකරණය කරන්න එහෙම නැත්නම් වෙනත් සමාගම් අතට පත් කරන්න ඇමතිවරයා සැලසුම් සකස් කරමින් තියෙනවයි කියන එක තමයි මේක තුළින් පේන්නේ. ඒ වගේම මේකට විරුද්ධ වෙන වෘත්තීය සමිති වල හඬ යටපත් කරන්න මහජන විරෝධය යටපත් කරන්න, ජනතාව සම්පූර්ණයෙන්ම දුර්වල කරන්න රජය උත්සාහ කරමින් සිටිනවා.

ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳව මේ රටේ නීති විශාරදයෝ ඉන්නවා. අධිනීතිඥ ගෝමින් දයාසිරි, ඒ වගේම අධිනීතිඥ මනෝහරන් ද සිල්වා මැතිතුමා ඒ වගේම සරත් නන්ද සිල්වා මැතිතුමා මේ උතුරු පළාත, උතුරු නැගෙනහිර දෙපළාත වෙන් කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දීමේදී මූලික වෙලා කටයුතු කලේ සරත් නන්ද සිල්වා මැතිතුමා. එතකොට එහෙමනම් ඒ අයගෙන් විමසන්න පුළුවන්නේ මොකක්ද මේ ඉන්දු ලංකා ගිවිසුම අනුව මේ ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි ටිකේ අයිතිය ඉන්දියාවට නීත්‍යානුකූලව පැවරිලා තියෙනවා ද? ඒක විමසා බලන්න පුළුවන්නේ. අපි දන්න තරමට ඉන්දු ලංකා ගිවිසුමට අදාල ඇමුණුමක සඳහන් කරලා තියෙනවා මේ තෙල් ටැංකි සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඉන්දියාවත් විමසා කටයුතු කළ යුතුයි කියලා. ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරන්න ඕන ඒක සංවර්ධනය කරන්නේ කොහොමද කියලා. දැන් යමෙක් එක්ක විමසා කටයුතු කරන්න ඕන කියන එකෙන් අදහසවෙනවද ඔවුන්ට ඒකෙ අයිතිය පවරලා තියෙනවයි කියලා.

මෙන්න මේ වගේ කරන මේ ප්‍රකාශ වලින් අපිට කිසියම් විදිහකට පැහැදිලි වෙමින් තියෙනවා මේ සූදානම් වෙන්නේ සම්පූර්ණ ත්‍රීකුණාමලයේ තියෙන මේ තෙල් ටැංකිවල සම්පූර්ණ අයිතිය ඉන්දියාවට පවරලා දෙන්නයි .ඉන්දියාවවත් විවෘතව කියන් නැති අයිතියක් ගම්මන්පිල ඇමතිතුමා ඇවිල්ලා ඉන්දියාවට දෙනවා. ඉතින් මෙන්න මේක ඒ නිසා අපි කියන්න කැමතියි ගම්මන්පිල ඇමතිතුමා මහා දේශප්‍රේමියෙක් විදිහට පෙනී ඉන්න ගමන් තමයි මේ වගේ ප්‍රකාශ කරන්නේ. ඒ විතරක් නෙවෙයි ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳව කොතෙකුත් එතුමා ලිපි ලියලා තියෙනවාද?. ඒ පිළිබඳව නීතිමය කරුණු කාරණා පෙන්නලා තියෙනවාද?. අනිත් පැත්තෙන් මේ ඉන්දු ලංකා ගිවිසුම යටතේ ආපු පළාත් සභා ගැන ඉතාම දැඩිව මේ ආණ්ඩුව බලයට පත්වෙනකොට මේ පළාත් සභා ක්‍රමය ගැන ඉතාම දැඩිව විරුද්ධත්වය පළ කළා.

“පළාත් සභා ක්‍රමය අපේ රටට ගැලපෙන්නෑ. මේක අපි අහෝසි කරනවා. එහෙම නැත්නම් දහතුන් වෙනි ව්‍යවස්ථා සංශෝධනය අපි ආණ්ඩුක් ව්‍යවස්ථාවෙන් ඉවත් කරනවා” කියලා කිව්වා. ඒකට තමයි ජනවරමක් ලැබුණේ.

දැන් පසුගිය කාලයේ කිසියම් විදිහකට මේ රටට අහිතකර විදිහේ ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා නම් තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉතින් ඒවා රටට වාසිදායක විදිහට නැවත ජාතිය සතු කරගන්න, රට සතු කරගනනවා කියලයි මේ අය බලය ඉල්ලුවේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හැට නම ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ ඇයි? මේක මේ විජාතිකකරණය කරපු එහෙම නැත්නම් මේ අ. බහුජාතික සමාගම් වලට පවරපු, ජාතික සම්පත් නැවත පවර ගන්නවා කියලයි බලය ඉල්ලුවේ. හැට නම ලක්ෂයක් ඡන්දේ දුන්නා. ඒ විතරක් නෙමෙයි, තුනෙන් දෙකේ බලයක් ලබා දුන්නා. අවශ්‍ය නම් මේ ඕනම දෙයක් සංශෝධනය කරන්න අවශ්‍ය කරන ඒ ජනතාවගේ පරමාධිපත්‍යය බලය තියෙන පාර්ලිමේන්තුවට තුනෙන් දෙකේ බලයක් ලබා දුන්නා. එතකොට ඊට අමතරව ජනාධිපතිවරයාගේ බලතල ප්‍රමාණවත් මදි කිව්වම 20වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා තවත් ජනාධිපතිවරයා ශක්තිමත් කරා. එතකොට මේ සියලුම බලතල සහිතව ඉන්න ජනාධිපතිවරයෙක්, පාර්ලිමේන්තුවක්, අගමැතිවරයෙක්, මේ සියලු දෙනා ඉද්දි දැන් මොකක්ද මේ කියන්නේ?

අපි හිතමු මේ කලින් තිබුණ දෙයක් ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා එදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරේ විශාල පීඩාකාරී වාතාවරණයක් යටතේ නම්, බලපෑමකට යටත් නම්, එතුමාගේ අත අඹරවලා, දනගස්වලා, මුළු රටම බිය වද්දලා, යුධ ටැංකි, යුධ නැව් ගෙනල්ලා නතර කරලා, ගුවනින් පරිප්පු දාලා, අපේ ගුවන් සීමාව උල්ලංඝනය කරලා, ඒ විදිහටනම් කටයුතු කරේ ඉතින්, මේකේ, අපි අහන්න කැමති යම්කිසි කෙනෙක් අපේ ඔලුවට, පිස්තෝලෙ තියලා මේක අත්සන් කරපන් කිව්වම අත්සන් කරනවා. එතකොට ඒ අත්සන් කරපු ගිවිසුමක් හරි ලියවිල්ලක් හරි වලංගු වෙනවද? දැන් ඕවගේ පාතාල ලෝකේ නායකයෝ ඉන්නවනේ. ඒ පාතාල ලෝක නායකයෝ මේ කොළඹ නගරයේ සමහර ඉඩම් අල්ල ගන්නවා. හරි. අයිතිකාරයින්ගේ ඔලුවට පිස්තෝලෙ තියලා, අත්සන් කරපන් කියනවා. අත්සන් කරනවා. දැන් ඊට පස්සේ ඒක ඒ අත්සන් කරලා ගත්තට පස්සේ ඒක කියනවද? මේ ඒක නීත්‍යානුකූලව ව් ඔහුට අයිතියි කියලා. ඉතින් ඒ වගේ යම් යම් පීඩාකාරී වාතාවරණයන් යටතේ දේවල් සිද්ධ වෙන්න ඇති. දුර්වල ආණ්ඩු යටතේ හරි. ආණ්ඩු තිබුනත් සමහර වෙලාවට ඒ බලපෑම් වලට යට වෙලා තියෙනවා. දැන් එහෙම නෙවෙයිනේ. දැන් ගෝඨාභය මහත්තයයි මේක මහින්ද මහත්තයා මේ ඔක්කොම දේශප්‍රේමීන් ජාතිප්‍රේමීන් ඇවිල්ලා මේ සියලුම රටට හානිකර අත්සන් ගිවිසුම් අහෝසි කරනවා කියලා කියලනේ කිව්වේ.

දැන් ඔය විදිහටමනේ කිව්වේ හම්බන්තොට වරාය පවර ගන්නවා කියලා. මහ දවල් මහ බැංකුව මංකොල්ල කාපු අර්ජුන් මහේන්ද්‍රන් කුදලාගෙන එනවා කියලා කිව්වනේ පැය හතළිස් අටක් යන්න ඉස්සරලා. ඉතින් සිදුවෙලා තියෙනවද ?

මේ ඇමතිවරු කරන ප්‍රකාශ දැක්කහම අපිට සාධාරණ සැකයක් මතුවෙනවා මේ ආණ්ඩුවේ කැබිනට් එකේ ඉන්නේ විදේශ වලට කත් අදින තැරැව්කාරයෝ ද කියලා. අද මේ ආණ්ඩුවේ කැබිනට් එකේ ඉන්නවා එක එක රටවල් වලට සේවය කරන තැරැව්කරුවෝ. සමහර තැරැව්කරුවබ්ට ඇමරිකන් පුරවැසිභාවය තියෙනවා. ඒ අය ඇමරිකාව වෙනුවෙන් තමයි කැබිනට් එක ඇතුළේ පෙනී ඉන්නේ. කතා කරන්නේ. ඒ අය මේ රටේ ජාතික සම්පත්, අපේ ආර්ථික මර්මස්ථාන, අපේ බලශක්ති කේන්ද්‍රස්ථාන ඇමරිකාවට විකුණන වැඩේ කරන්න උත්සහ කරනවා. තව කණ්ඩායමක් ඉන්නවා ඔවුන් චීනයත් එක්ක තැරැව්කාර වැඩ කරගෙන යනවා. කොච්චර හොඳ නෑ කිව්වත් රටට කාබනික පොහොර ගේනවා කියලා අසූචි ගෙවන්න උත්සහ කරනවා.දැන් සාම්පල් ගෙනාවා. සාම්පල් දෙකක් අහුවුණා. චීන අසූචි මේ රටේ මේක ගොවියන්ට දීලා, ගොවිතැන සඳහා, කාබනික පොහොර විදිහට පාවිච්චි කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි දැන් කැබිනට් එක ඇතුලේ ඉන්දියාවටත් ඒජන්තයෝ ඉන්නවා. ඉන්දීය රජයටත් වඩා අද ඔවුන් ඉන්දීය දේශපාලඥයින්ටත් වඩා, ඉන්දියාව වෙනුවෙන් පෙනී ඉන්නවා, කතා කරනවා. මේ පැත්තෙ ඉඳගෙන ඉන්දියාවට කොඩිය උස්සන, තැරව්කාරයෝ අපේ කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. තව කණ්ඩායමක් දැන් ඕමානෙත් එක්කත් ඔය විදිහටම ගිවිසුම් වලට එළඹෙමින් ඉන්නවා. මන්නාරම් ද්‍රෝණියේ තෙල් කට්ටි දෙන්න එකඟතාවය පළ කරලා තෙල් ටික කණින්න සල්ලි නෑ. තෙල් ටික ගන්න එතන අද ඒ අයත් එක්ක ණය පහසුකම් ඇති කරගන්න කටයුතු කරමින් ඉන්නවා. දැන් ඒ අතර තෙල් කට්ටි දෙකක් දෙන්න කතා කරමින් ඉන්නවා. එතකොට ඕමානයත් එක්ක මේ ණය පහසුකමක් ලබා ගැනීම සඳහා දැන් සාකච්ඡා කරමින් තියෙනවා.

එතකොට මේ විදිහට අපි අහන්න කැමතියි. හැම පැත්තෙන්ම අපේ උතුරේ විතරක් නෙවෙයි දැන් මුලතිව් පැත්ත ඒ මන්නාරම ඒ හැම පැත්තෙන්ම උතුරු මුහුදේ අපේ මුහුදු සීමා අපේ මුහුදු සම්පත කොල්ල කාගෙන යනවා. ඉතින් ධීවර ඇමතිවරයා මොකද කියන්නේ? ඔහු කාගේ පැත්තෙද ඉන්නේ? මේ රටේ ද සිංහල, දෙමළ, ධීවරයින්ගේ පැත්තෙද ඉන්නේ? එහෙම නැත්නම් ඉන්දියාවෙ පැත්තෙද ඉන්නේ? ඉතින් මේ ප්‍රශ්නය අද අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි කියන්න කැමතියි අද අපේ කැබිනට් මණ්ඩලය ඇතුලේ ඉන්නේ මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගන්න අයද? එහෙම නැත්නම් මම අර කලින් සඳහන් කරා වගේ චීනයේ ඉන්දියාව, ඇමරිකාව එහෙම නැත්නම් වෙනත් ලෝකයේ තියෙන බලගතු රටවල් වෙනුවෙන් පෙනී හිටින තැරැව්කරුවෝද? අපේ කැබිනට් මණ්ඩලයේ ඉන්නේ කියලා අහන්න කැමතියි. මොකද මේ වෙනකොට අපිට පේන්න තියෙන දේ තමයි, වෘත්තීය සමිති මේ ප් ?ප්‍රශ්නය සම්බන්ධයෙන් නැගිටිනකොට, හඬ නගන කොට ගම්මන්පිල බලශක්ති ඇමතිවරයා ඇවිල්ලා මේ කරපු ප්‍රකාශයෙන් ජාතික සම්පත් විජාතිකජරණය එරෙහිව ඒ වගේම ජනතා හඬ යටපත් කරන්න එහෙම නැත්නම් දුර්වල කරන්න කරපු ඉතාම සාහසික ජාතිද්‍රෝහී ප්‍රකාශයක් විදිහටයි අපි දකින්නේ.

ඔහු පැහැදිලිවම එක්කෝ ඉන්දියාවේ ඒජන්තයෙක්. එහෙම නැත්නම් එයා IOC එකට හොඳට විකිණිලා තියෙනවා කියන එක මේ කරපු ප්‍රකාශය තුළින් ඔප්පු වෙනවා . ඒක නිසා මෙන්න මේ සම්බන්ධයෙන් ජාතික අවදි සභාව ලෙස අපි අපගේ බලවත් විරෝධය අපි පළකරනවා. ඒ වගේම වගේ මෙවැනි ජාතිද්‍රෝහී දේශද්‍රෝහී ප්‍රකාශයක් කළ ගම්මන්පිල අමාත්‍යවරයා සිය ධූරයෙන් වහාම ඉවත් වෙන්න ඕනේ කියලා අපි වැඩිදුරටත් අවධාරණය කරනවා. මේ රටේ අයිතිය අන්සතු කරන්න කතා කරන අයට කැබිනට් මණ්ඩලය තුළ හෝ ඇමතිකම් හෝ මන්ත්‍රීකම් හෝ දරන්න කිසිදු සදාචාරාත්මක අයිතියක් නෑ. ඔවුන්ට ලැබිච්ච ජනවරමට ඔවුන් පයින් ගහලා පාවාදීලා තමයි මේ කටයුත්ත කරමින් තියෙන්නේ. බොහොම ස්තූතියි.

ජාතික අවදි සභාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් තිලක් උබේවර්ධන:

අද අපේ මාතෘ භූමියේ තියෙන්නාවූ සම්පත් එකිනෙක විදේශ හස්තයන්ට නතුවෙමින් පවතින අවස්ථාවක අපේ රටේ ඉන්න බලශක්ති ඇමතිවරයා, උදය ගම්මන්පිල මහත්මයා බරපතළ දේශද්‍රෝහී ප්‍රකාශයක් කරනවා. ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි සංකීර්ණයේ තියෙන ඒ දේපළ සියල්ලමත් තෙල් ටැංකි100 සමග ඉන්දු ලංකා ගිවිසුම අනුව ඉන්දියාව සතු වෙලා තියෙනවයි කියලා එතුමා බරපතළ ප්‍රකාශයක් කරනවා.

මේ අවස්ථාවේදී මට මතක් වෙනවා ඒ බලශක්ති ඇමතිවරයා මීට වසර ගණනාවකට ඉස්සෙල්ලා මේ ඉන්දු ලංකා ගිවිසුම බලරහිත කරන්න ඕනේ, අහෝසි කරන්න ඕනේ, ඉරා දාන්න ඕනේ කියලා බොහොම ලොකුවට කෑගහලා උද්ඝෝෂණ කළා කියලා. එහෙම විරෝධතා ඉදිරිපත් කරපු ඒ වගේම ඉන්දු ලංකා ගිවිසුම හොඳින් කියවපු, අවබෝධ කරගත්ත පුද්ගලයෙක් තමයි අද මෙවැනි ප්‍රකාශයක් කරන්නේ.

අපිට බරපතළ සැකයක් මතුවෙනවා මේ අවස්ථාවේදී මේ ඉන්දු ලංකා ගිවිසුමේ එහෙම නැත්නම් 2003 අත්සන් කරපු ගිවිසුමේ හරි තිබෙන කාරණයක් තුළ එතුමා ප්‍රකාශ කරන පරිදි මේ තියෙන්නා වූ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට නතු වෙලා තියෙනවද ?කියලා. ඒ කියන්නේ සින්නක්කරම අයිතිවෙලා තියෙනවයි කියලා ප්‍රකාශයට පත් කරන්නේ ඇයි? කියලා.

මේ අවස්ථාවේදී මං මතක් කරනවා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී අපේ වත්මන් ගරු ජනාධිපතිතුමා එවකට යුද හමුදාවේ කර්නල්වරයෙක්ව සේවය කෙරුවා. ඒ කාලේදී ත්‍රිවිධ හමුදාව විතරක් නෙවෙයි දේශප්‍රේමී මේ රටේ හිටපු සියලු ජනතාවට හදවතට ලොකු රිදුමක් ඇති වුණා මේ ඉන්දු-ලංකා ගිවිසුම. ඒ නිසා එදා එතුමටත් ( වත්මන් ජනාධිපතිතුමාට) එහෙම වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.

එතකොට මම අහනවා, අපි අහනවා, එතුමා දැනුවත්වද එතුමා එතුමාගේ කැබිනට් ඇමතිවරයා, උදය ගම්මන්පිල බලශක්ති ඇමතිවරයා විසින් මේ ප්‍රකාශය සිදුකළේ ? ඒ වගේම රටේ ජනතාවට අයිති, මේ රටේ ජනතාවට සින්නක්කරව තියෙන දේපලක් විජාතිකයන්ට නතු කරන්න බලශක්ති ඇමතිවරයාට තියෙන අයිතිය මොකක්ද?

මේ බලශක්ති ඇමතිවරයාගෙන් මම ඉල්ලා හිටිනවා පසුගිය කාලේ විගණකාධිපතිතුමාගේ වාර්තාවල් කියවන්න. විගණකාධිපතිතුමා කියලා තියෙන්නේ මොකක්ද? මේ 2003 තියෙන්නාවූ සමාගමට අයිති තියෙන දැනට අවුරුදු තිස්පහකට ලබාදීලා තියෙන තෙල් ටැංකි සමූහය ඒ ඒ තෙල් ටැංකි සමූහයෙන් සම්පූර්ණයෙන් සින්නක්කරව සතු වෙලා තියෙනවද ? නැහැ.

ඒ නිසා උදය ගම්මන්පිල මැතිතුමා සිදුකළ මේ දේශද්‍රෝහී ජාති ද්‍රෝහී ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බලන්න කියලා මම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොවුන්ට කිසිම සදාචාර අයිතියක් නැහැ මේ රටේ තියෙන ලක්වැසියන්ට අයිති දේපල විජාතිකයන්ට සතුයි කියලා වගකීම් විරහිතව ප්‍රකාශයක් කරන්න.

ජාතික අවදි සභාවේ විධායක සභික හිටපු යුධ හමුදා කපිතාන් ගයාන් විතානගේ මහතා:

ඇත්තටම මේ එතුමන්ලා දක්වපු අදහස් දෙකම අහන් හිටියම මට දැනෙනවා මේ ගම්මන්පිල මහත්තයා කරන්නේ වෙළඳ දැන්වීමකට පිනි ඉන්නවද කියලා මට හිතුණා . අපිට පේනවා එතුමා දැන් එතුමා පොඩි වෙළඳ දැන්වීමක් කරනවා, ඉන්දියාවට මේවා අයිතියි කියලා. අපි පැහැදිලිව උන්නැහේට කියනවා වසර තිහක ශාපලත් යුද්ධයක් නිමා කරන්න, මේ සමස්ත රණවිරු ප්‍රජාවම මහා දායකත්වයක් සැපයුවා. එහෙනම්, එහෙව් කැපකිරීම් කරලා බේරගත්ත රට, මෙහෙම විජාතිකට විකුණන්න ලෑස්ති වෙන්න එපා. හැබැයි උන්නැහේලා බලයට ආවේ සියලුම විකුනපු දේවල් ගන්නවා කියලා. නමුත් අද මොකක්ද කරන්නේ? දිනෙන් දින මේ ආණ්ඩුව කුජීත වීගෙන යනවා. එතකොට උන්නැහේලා කරන්නේ මොකක්ද? එහෙම කියලා බලයට ඇවිල්ලා අද මේවා විකුණනවා.

ඒ හින්දා මේ වගේ ප්‍රකාශ කරොත් අපි දැක්කා පහුගිය කාලේ අර හිටපු මන්ත්‍රීවරුත් කලින් ආණ්ඩුවේ යම් යම් ප්‍රකාශ කරලා ප්‍රශ්න කරනවා. කටඋත්තර ගන්නවා. අවසානයේ හිරෙත් යනවා. නමුත් මේ තරම් රාජ්‍ය ද්‍රෝහී ප්‍රකාශයක් කරපු උදය ගම්මන්පිලට කිසිවක් නෑ.

ඉතින් මම හිතනවා බොහෝ වෙලාවට මේවා මේ වගේ වැඩ කියලා. තමන්ට කරගන්න බැරි දේ කැබිනට්ටුවේ මිනිස්සු ලව්වා කරනවා කියලා. ඒ හින්දා අපි පැහැදිලිව කියනවා මේ ඇමතිවරුන්ට මේ වගේ තමන්ගේ බලය පාවිච්චි කරලා මේ වගේ අනවශ්‍ය ප්‍රකාශ කරන්න එපා. මොකද අද එක වෙලාවකට හිතෙනවා මේ රටේ ප්‍රශ්න අමතක කරන්න මේගොල්ලෝ මේ වගේ ප්‍රකාශ කරනවද කියලා.

අද මිනිස්සුන්ට කන්න නෑ. ජීවත් වෙන්න විදිහක් නෑ කොරෝනා එකෙන් පීඩා වින්දා. දවස් හතලිස් පහකට පස්සේ රට ඇරියා. නමුත් අපේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නෑ. මෙවැනි ප්‍රකාශ කරලා මේ කැබිනට් එකේ ඉන්න මිනිස්සු මොකද කරන්නේ? මෙවැනි ප්‍රකාශ සාකච්ඡාවට බඳුන් වීමෙන් අනිත් ප්‍රශ්න යටපත් වෙනවා.

මම පසුගිය දවසක සමාජ මාධ්‍ය වලද සමීකරණයක් වගේ එකක් ප්‍රචාරය වනවා දැක්කා.ඒකෙ තිබුනෙ

“හංගනවා + හොයනවා= මිල වැඩි කරනවා ”

මේක තමයි මේ ආණ්ඩුව කරන්නේ. ඒ හින්දා අපි පැහැදිලිව කියනවා මේ බලශක්ති ඇමතිවරයාට මේ වගේ දේවල් ප්‍රකාශ කරන්න එපා කියලා. මොකද හේතුව මේවා කිරීමෙන් වෙන්නේ මොකක්ද? ඒගොල්ලන්ට ජනතාව මේ රටේ අවුරුදු පහකට බලය දුන්නා, ඒ බලය ගන්න කලින් කිව්වා වගේ කලින් ආණ්ඩුව වැරදි කළා නම්, ඒවා නිවැරදි කරන්න ඕනේ. ඒවා කිය කිය මාධ්‍ය සංදර්ශන දොඩවමින් ඉඳලා වැඩක් නෑ. වැරැද්ද හදන්න ඕන. මොකද අවසානයේ මේ රට විනාශ වෙනවා. මේ රට අපිට නැතිවෙනවා. ඒ හින්දා, නැවත වතාවක් මම කියනවා, එදා ඒ සමස්ත රණවිරු ප්‍රජාව රැකදුන් රට, එල්. ටී. ටී. ඊ. එකෙන් මුදවා ගත්ත රට දේශපාලනයන් විනාශ කරන්න ලෑස්ති වෙනවා. ඒ හින්දා අපි පැහැදිලිව කියනවා. මේ වගේ වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. එහෙම කලොත් තමුන්ලට දඬුවම් විඳින්න සිද්ධ වෙයි. මොකද හේතුව මේ රට කොච්චර නම් ලස්සන රටක්ද? ඇයි මේක රැකගන්න බැරි? නමුත් දවස කෑල්ලෙන් කෑල්ල තමන්ගේ සුඛ විහරණය සඳහා මේ ආණ්ඩුව විකුණනවා. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ කැබිනට් එකට ටිකක් වැඩක් කරන්න පුළුවන් මිනිස්සු දාන්න. රෑ බීලා ගිහිල්ලා බන්ධනාගාරවල මිනිස්සුන්ට කරදර කරන ඒ වගේම මේ වගේ දේශද්‍රෝහී ප්‍රකාශ කරන ඇමතිවරු පත් කරන්න එපා. ඒ හින්දා මම අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන් තමුන්නාන්සේලා දැන් මේ රැවටිලා ඉන්නේ. මේ හැට නම ලක්ෂය රැවටිලා ඉන්නේ. ඒ හින්දා නුදුරේදීම දිනයකදී ඔබටත් අප සියලු දෙනාටමත් මේ රට බේරගන්න අවස්ථාවක් එනවා. ඒකෙදි නොකැපිලිව තමන් කටයුතු කරන්න. එහෙම කලොත් අපිට, අපේ දරුවන්ට අනාගත රටක් ඉතුරුව නැති වුනොත්, මේ දේශපාලඥයෝ විශේෂයෙන් මේ වර්තමාන ආණ්ඩුවේ මිනිස්සු මේ රට විනාශ කරලම දානවා. තෙල් ටැංකි නෙමෙයි. මුන් හෙට අනිද්දා අපිවත් විකුණනවා. ඒ හින්දා පැහැදිලිව තමුන්නාන්සේලාට කියන්නේ නැවත වතාවක් අර ආයි ඒ වලේ වැටෙන්න එපා.

– media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka