gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැබිලිත්ත රක්‍ෂිතයේ දැවැන්ත වනාන්තර කොල්ලයක්.. ව්‍යාපාරිකයන් හා නීතීඥ පිරිසක් පසුපස!

අතරමැදි කලාපයට අයත් මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි වත්තේගම – කැඹිලිත්ත වන රක්ෂිතයට අයත් ඉඩම් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ මෙහෙයවීම යටතේ අත්පත් කර ගෙන ඒක බෝග වාණිජ වගාවක් ලෙස බඩඉරිගු වගා බිම් ව්‍යාප්ත කිරීමට සූදානම් වේ. පසුගිය කාලය පුරා ම වරින්වර මෙම වනාන්තර ඉඩම් එළි කර බඩඉරිගු වගා බිම් පවත්වාගෙන ගිය ද ඊට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙවර ව්‍යාපාරිකයන් කණ්ඩායමක් හා නීතීඥවරු කිහිපදෙනෙකු එක් ව සංවිධානාත්මක ව මෙම වන රක්ෂිතයට අයත් ඉඩම් අත්පත් කර ගැනීමට සූදානම් වේ. වත්මන් ආණ්ඩුවේ ඉඩම් ප්‍රතිපත්ති භාවිත කර දැවැන්ත රක්ෂිත වනාන්තර කොල්ලයකට මෙම කණ්ඩායම් එක් ව සැලැසුම් සකස් කරමින් සිටී.

අලි – ඇතුන් ඇතුළු විශාල ජෛව ප්‍රජාවකට වාසස්ථාන සපයන අන්තර් මෝසම් වනාන්තර වැස්මක් සහිත මෙම වන රක්ෂිතය ජල මූලාශ්‍ර බොහොමයක ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශයකි. යාල ජාතික වනෝද්‍යාන සංකීර්ණය හා කුඹුක්කන වන රක්ෂිතය ඇතුළු රක්ෂිත වනාන්තර පද්ධතියක් සම්බන්ධ කරන මෙම වනාන්තරය, වන සංරක්ෂණ ආඥා පනත නීති ගත වූ මුල් අවදියේ සිට ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ රජයට අයත් වනාන්තරයකි. මෙම වනාන්තරය වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම 2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තිය අනුව 2012 නොවැම්බර් මස 12 වන දින අංක 1789/9 දරන ගැසට් නිවේදනය මගින් සිදු කර ඇත. මේ මගින් හෙක්ටයාර 28,926 ක් වන වනාන්තර ප්‍රදේශයක් වත්තේගම – කැඹිලිත්ත රක්ෂිත වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

විල ඔයේ හා කුඹුක්කන් ඔයේ ජල පෝෂක වනාන්තර වැනසීම

හෙක්ටයාර 28,926 ක් නැතහොත් අක්කර 71,537 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරුනු වත්තේගම – කැඹිලිත්ත වන රක්ෂිතය විල ඔය, කුඹුක්කන් ඔය, කොටියාගල වැව හා වට්ටාරම වැව යන සුවිශේෂි ජල මූලාශ්‍රවල ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයකි. මේ නිසා මෙම වන රක්ෂිතය විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු කෘෂිකාර්මික බිම්වල ජල සුරක්ෂිතතාවය කෙරෙහි සෘජු ව බැඳී පවතී.

මරගල කඳුවැටියෙන් ආරම්භ වන විල ඔය, ඇතිමලේ වැව හා කොටියාගල වැව යන ප්‍රධාන වැව් දෙක පෝෂණය කරමින් වත්තේගම – කැඹිලිත්ත මෙම වන රක්ෂිතය හා කුඩුම්බිගල – පානම අභය භූමිය තුළින් ගලා ගොස් පානම කලපුව හා සම්බන්ධ වේ. වර්ග කිලෝමීටර් 484 ක ජල ද්‍රෝණියක් සහිත විල ඔය මරගල කඳුවැටියේ සිට පානම කලපුව දක්වා සීමාවේ පිහිටි වැව් 47 කට ජලය සැපයීම සිදු කරයි. මෙම වන රක්ෂිතයෙන් ආරම්භ වී පෝෂණය වන කරදණ්ඩ ආර, නවදණ්ඩ ආර හා කෝන්කැටිය ආර යන දියදහරාවන් විල ඔය පෝෂණය කරන ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය ලෙස ක්‍රියාත්මක වේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල කඳුවැටියෙන් ආරම්භ වන කුඹුක්කන් ඔය යාල ජාතික වනෝද්‍යානය තුළින් ගලා ගොස් මුහුද හා සම්බන්ධ වේ. වර්ග කිලෝමිටර් 1218 ක ගංගා ද්‍රෝණියකින් සමන්විත කිලෝමීටර් 1218 ක් දිග මෙම ඔයට වසරකට ජලය ඝන මීටර් මිලියන 2115 ක් එක් වේ. එම ජලයෙන් වැව් 93 කට හා අමුණු 145 කට වාරි ජලය ලබා දෙමින් විශාල වගා බිම් ප්‍රමාණයක් පෝෂණය කරයි. මෙම වන රක්ෂිතය තුළින් ආරම්භ වී පෝෂණය වන ලේපොළොන් ආර, මීදඩු ආර හා නාම්පන් ආර යන දිය දහරාවන් මගින් කුඹුක්කන් ඔය පෝෂණය වේ.

මීට අමතර ව මෙම වන රක්ෂිතයෙන් ආරම්භ වී පෝෂණය වන රත්මලේ ආර හා උණ ඇළ මගින් වන රක්ෂිතයෙන් පිටත පිහිටි කොටියගල වැව හා වට්ටාරම වැව පෝෂණය වේ. මෙම වන රක්ෂිතය තුළ ද මීතොටකනත්ත වැව, ලේපොළොන්ආර වැව, මයිල්ල වැව, හංසවැලි වැව හා වරාකනත්ත වැව නමින් හඳුන්වන වැව් පිහිටා තිබේ. එම වැව්වලට එක්රැස්වන වැසි ජලය අලි – ඇතුන් අතුළු විශාල සත්ත්ව ප්‍රජාවකගේ ජල අවශ්‍යතාව සපුරාලන අතර මෙම සතුන් ගම්වැදීම හා වගා බිම්වලට පිවිසීම සීමා වීමට මෙම වනාන්තර පද්ධතිය හා මෙම අතහැර දැමූ කුළු වැව් ඉතා ම ප්‍රයෝජනවත් වේ.

අලි – මිනිස් ගැටුම වර්ධනය වීම හා මොනරාගල වනාන්තර විනාශය

අලි – මිනිස් ගැටුම පිළිබඳ ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හා විවිධ පර්යේෂකයන් විසින් සිදු කර ඇති අධ්‍යයනවලට අනුව තහවුරු වී ඇත්තේ මෙරට අලි – මිනිස් ගැටුම වැඩි ම දිස්ත්‍රික්ක අතුරෙන් සිව්වන ස්ථානය මොනරාගල දිස්ත්‍රික්කයට හිමි වන බව ය. ඊට අමතර ව සිව්වන ස්ථානයට ම වැඩි ම අලි – ඇතුන්ගෙන් සිදු වන දේපල හා වගා හානි පිළිබඳ ව වාර්තා වන්නේ ද මොනරාගල දිස්ත්‍රික්කයෙන් ය. මෙම දිස්ත්‍රික්කයේ වැඩි ම අලි – මිනිස් ගැටුමක් වාර්තා වන්නේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ය. පසුගිය වසර 10 තුළ දී පමණක් මොනරාගල දිස්ත්‍රික්කයේ අලි – ඇතුන්ගෙන් සිදු වූ දේපළ හානි පිළිබඳ ව වාර්තා 1127 ක් පමණ ඇති අතර මිනිසුන් විසින් සිදු කළ අලි – ඇතුන් ඝාතනයන් සහ අලි – ඇතුන් සිදු කළ මිනිස් ඝාතනයන් 330 ක් පමණ මෙම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මෙම තත්ත්වයට බලපාන ප්‍රධාන හේතුව අලි – ඇතුන්ගේ වාසස්ථාන වන වනාන්තර හා තෘණ භූමි විනාශ කිරීම මෙන් ම ඒවා ඛණ්ඩනය වන පරිදි වාණිජ වගා බිම් ස්ථාපිත කිරීම ය.

ඉඩම් පරිහරණ හා ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 5,63,900 ක් පමණ වන අතර ඉන් වනාන්තර හා තෘණ භූමි වලින් හෙක්ටයාර 2,96,125 ක භූමි ප්‍රමාණයක් ආවරණය වී තිබේ. එය දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 52%ක ප්‍රතිශතයකි. නමුත් හෙක්ටයාර 1,05,500 ක් වන සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුළු භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 43,435 ක් පුරා වනාන්තර හා තෘණ භූමි පැතිර ඇති අතර එය මුළු භූමි ප්‍රමාණයෙන් 41%ක ප්‍රතිශතයකි. මෙම වනාන්තර හා තෘණ භූමි එකිනෙක හා සම්බන්ධ පද්ධතියක් ලෙස නොපැවතීම හා උක් වගාව හා බඩ ඉරිඟු වගාව සඳහා බොහෝ හේන් වගා බිම් යොදා ගැනීම මෙන් ම අලි – ඇතුන්ගේ වාසස්ථාන තුළ මෙම වාණිජ වගා බිම් පවත්වා ගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව වැඩි ම අලි – මිනිස් ගැටුමක් වාර්තා වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බවට පත් වීමට හේතු සාධක ගොඩ නැංවී ඇත.

ඈත අතීතයේ සිට ම මහ කන්නයේ දී හේන් ගොවිතැන් කර යල කන්නයේ දී අතහැර දමන බොහෝ හේන් වගා බිම් අලි – ඇතුන් ඇතුළු බොහෝ සත්ත්ව ප්‍රජාවකගේ නියං කාලයේ වාසස්ථාන වුව ද අද වන විට එම හේන් වගා බිම් බඩ ඉරිඟු හා උක් වගාව සඳහා යොදා ගැනීමෙන් යල කන්නයේ අතහැර දැමීමක් සිදු නොවේ. විදුලි වැටවල් සකස් කර හේන් වගා බිම්වල සිදු කරන ඒක බෝග වාණිජ කෘෂිකර්මාන්තය හේතුවෙන් අලි – ඇතුන් ගම් වැදීම වර්ධනය වී තිබේ. එම තත්ත්වය තවත් දෙගුණ තෙගුණ වීමක් වත්තේගම – කැඹිලිත්ත වන රක්ෂිතයේ බඩ ඉරිඟු වගා බිම් මහා පරිමාණයෙන් පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දීම තුළින් ඇති විය හැකි ය.

මෙම වන රක්ෂිතය හුදෙකලා වූ ප්‍රදේශයක් ලෙස නොව අලි – ඇතුන්ගේ වාසස්ථාන පද්ධතියක් තුළ පිහිටා තිබේ. මෙම වන රක්ෂිතය හා සම්බන්ධ ව යාල ජාතික වනෝද්‍යාන සංකීර්ණය හා කුඹුක්කන වන රක්ෂිතය පිහිටා ඇති අතර එම වනාන්තර හා සම්බන්ධ ව ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානය, බක්මිටියාව – තිඹිරිගොල්ල වන රක්ෂිතය, කුඩුම්බිගල – පානම අභය භූමිය හා කුමන ජාතික වනෝද්‍යානය පිහිටා තිබේ. මෙම රක්ෂිත වනාන්තර පද්ධතිය පැවතීමෙන් දැනට පවතින තත්ත්වයෙන් හෝ පාලනය වී ඇති අලි – මිනිස් ගැටුම මෙම රක්ෂිත වනාන්තර බඩඉරිඟු වගාව සඳහා යොදා ගැනීමෙන් උග්‍ර මට්ටමකට පරිවර්තනය වනු ඇත. එම තත්ත්වයට ගොදුරු වීමට ඇතිමලේ, කොටියාගල, වත්තේගම, තෙනගල්ලන්ද ආශ්‍රිත ප්‍රදේශවල ගෙවි ජනතාවට සිදු වනු ඇත. ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා මේ ආකාරයෙන් විශාල ගොවි ජනතාවක් අනතුරට පත් කිරීම නොකළ යුතු ය.

අන්තර් මෝසම් වනාන්තර අහිමි කිරීම

අද වන විට අප රටේ ජනතාව සීග්‍ර වනාන්තර විනාශයේ ප්‍රතිඵල ඉතා ම දරුණු ලෙස බුක්ති විදිමින් සිටිමු. යටත්විජිත යුගයේ වර්ෂ 1881 වන විට මෙරට වනාන්තර ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 84 ක් ලෙස පැවතුනි. වර්ෂ 1900 දී එය සියයට 70 දක්වා පහළ වැටී තිබේ. ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව වනාන්තර පිළිබඳ ව පුළුල් සමීක්ෂණයක් සිදු කෙරුනේ 1956 – 1961 වසරවල ය. එහි දී වන ආවරණය සියයට 44.2 ක් නැතහොත් හෙක්ටයාර 28,98,842 ක් බව හඳුනා ගැනින. වනාන්තර මහ සැලැස්ම සැකසීම සඳහා 1982 – 1985 වසරවල ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් නිදහසින් පසුව සිදු කරන ලද දෙවන වනාන්තර සමීක්ෂණයට අනුව ලංකාවේ වන ආවරණය සියයට 37.5 ක් නැතහොත් හෙක්ටයාර 24,58,250 ක් බව අනාවරණය විය. ලෙග් හා ජුවෙල් විසින් සකස් කරන ලද සිතියම් අනුසාරයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සකස් කළ පරිපාලන වාර්තාවලට අනුව වර්ෂ 1992 වන විට ලංකාවේ වන ආවරණය සියයට 31.2 ක් නැතහොත් හෙක්ටයාර 20,46,599 ක් වන බව හඳුනා ගෙන තිබේ. එම වාර්තාවලට අනුව වර්ග කිලෝමීටර 13,300 ක් පමණ වන අතරමැදි කලාපයේ, අන්තර් මොසම් වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 2,43,877 ක් වන බව සඳහන් වූ අතර එය ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 3.71 ක ප්‍රතිශතයක් විය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1996 වසරේ වාර්තා වලට අනුව වන ආවරණය සියයට 29.6 ක් නැතහොත් හෙක්ටයාර 19,42,219 ක් බව සඳහන් වේ. එම වාර්තාවලට අනුව අතරමැදි කලාපයේ, අන්තර් මොසම් වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 2,21,977 ක් වූ අතර එය ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 3.38 ක ප්‍රතිශතයකි.

2010 වසරේ දී අවසන් වරට සිදු කළ වන ආවරණය පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යයන වාර්තා වලට අනුව ලංකාවේ වන ආවරණය සියයට 29.7 ක් නැතහොත් හෙක්ටයාර 19,51,472 ක් බව සඳහන් වේ. එම වාර්තාවලට අනුව අතරමැදි කලාපයේ, අන්තර් මොසම් වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 1,17,885 ක් වන අතර එය ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 1.8 ක ප්‍රතිශතයකි.

1960 සිට 2010 වසර දක්වා ගෙවුණු වසර පනහ තුළ දී ලංකාවේ වනාන්තර හෙක්ටයාර 9,47,370 ක් එළිපෙහෙලි කර තිබේ. වර්ෂ 1992 සිට 2010 දක්වා ගත වූ වසර 18 ක කාලය තුළ අතරමැදි කලාපයේ, අන්තර් මොසම් වනාන්තර හෙක්ටයාර 1,24,992 ක් ඉවත් කර තිබේ. මේ වසර වන විට එම අගය තවත් කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇත. ඒ අනුව 1992 සිට 2010 වසර වන විට අතරමැදි කලාපයේ, අන්තර් මොසම් වනාන්තර වලින් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් විනාශයට ලක් කර තිබේ. ඒ සියල්ලේ ම ප්‍රතිඵල ලෙස කෘෂිකාර්මික හා පානීය ජල අර්බුධ උද්ගත වීම, අලි – මිනිස් ගැටුම හා වෙනත් වන සතුන් හා මිනිසුන් අතර ගැටුම් වර්ධනය වීම, කාලගුණික හා දේශගුණික විපර්යාස ඇති වීම, කෘෂිකාර්මික බිම්වල ඵලදායීතාව බිඳ වැටීම ඇතුළු බොහෝ හානි කර තත්ත්වයන්ට ජනතාවට මුහුණ දීමට සිදු වී ඇත. එසේ තිබිය දී රක්ෂිත වනාන්තර තුළ වාණිජ වගා බිම් ඇති කිරීමට කිසිදු ආකාරයකින් අවස්ථාව ලබා නොදිය යුතු ය.

වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම

2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති වත්තේගම – කැඹිලිත්ත වනාන්තරය තුළ තහනම් ක්‍රියා සියල්ල පනතේ 7(1) උප වගන්තිය යටතේ දක්වා තිබේ. ඒ අනුව අයුතු ලෙස රක්ෂිත වනයට ඇතුළු වීම හා රැදී සිටීම, ගස් කැපීම, පොතු ගැලවීම, ශාක පිළිස්සීම, දියපහරවල් අවහිර කිරීම, ජලයට විස හෝ අපද්‍රව්‍ය හෝ කැලි කසළ දමා අපවිත්‍ර කිරීම, වනය තුළ ඇති පැළෑටි හෝ කොටස් ඉවත් කිරීම, ඉඩම් එළි කිරීම, පස් කැපීම, ස්ථිර හෝ තාවකාලික ඉදිකිරීම් සිදු කිරීම, ඒවායේ පදිංචි වීම, එළි කරන ලද ඉඩම්වල වගා කිරීම, පාරවල් සකස් කිරීම, සකස් කරන ලද පාරවල් භාවිතා කිරීම, ගවයන් ඇතුළු කිරීම හා ගවයන්ට තණ කොළ සහ පැළෑටි කෑමට සැලැස්වීම, නාමපුවරු හෝ මායිම් සලකූණුවලට හානි කිරීම ඇතුළු සියලූ ම ක්‍රියා තහනම් වේ.

එවන් ක්‍රියාවකට මහේස්ත්‍රාත් අධිකරණයක දී වරදකරුවකු වන පුද්ගලයකු වසර 5 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 10,000 ත් ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය. මෙම දඩුවම්වලට අතිරේකව රක්ෂිත වනයට සිදු කරන ලද හානිය සඳහා අධිකරණය විසින් හානියේ ස්වභාවය අනුව තීරණය කරන වන්දි මුදලක් දඩයක් ලෙස නියම කළ හැකි ය.

පනතේ 7(2) උප වගන්තියට අනුව රක්ෂිත වනයක තහනම් ක්‍රියාවක් සිදු කිරීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරදකරුවකු වන අතර එම තැනැත්තා ද එම දඩුවමට ම යටත් කළ හැකි ය.

පනතේ 49 වන වගන්තියට අනුව වන අපරාධයක් සිදු කිරීම වැළැක්වීම සඳහා සෑම වන නිලධාරියෙකුට ම හා පොලිස් නිලධාරියෙකුට ම මැදිහත් වීම කළ හැකි ය. පනතේ 49අ උප වගන්තියට අනුව වන අපරාධ වැළැක්වීම සඳහා කටයුතු කරන නිලධාරියකුට තර්ජනය කිරීම, බාධා කිරීම, බිය වැද්දීම, පහර දීම වරදක් වන අතර එවන් වරදකට මහේස්ත්‍රාත් අධිකරණයකින් වරදකරුවකු කරනු ලැබූ විට වසර 3 ත් 7 ත් අතර බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 50,000 ත් එක් ලක්ෂ පනස් දහසත් අතර දඩයකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

පනතේ 48(1) උප වගන්තියට අනුව රක්ෂිත වනාන්තරයක් තුළ සිදු කෙරෙන හානි කර ක්‍රියා සියල්ල වරෙන්තුවක් නොමැති ව අත් අඩංගුවට ගත හැකි වන අපරාධ ලෙස දක්වා ඇති අතර එම ක්‍රියා සම්බන්ධයෙන් පනතේ 53 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය යුතු ය. පනතේ 53අ උප වගන්තියට අනුව රක්ෂිත වනයක හෝ රජයට අයත් වෙනත් වනයක් හෝ නීති විරෝධී ලෙස අල්ලාගෙන ඇති අවස්ථාවක දඩුවමට අතිරේක ව නෙරපීමට යටත් විය යුතු ය. ඒ සඳහා 1979 අංක 7 දරන රජයේ ඉඩම් (සන්තකය ආපස් ලබා ගැනීම) පනතේ විධිවිධානවලට අනුව නෙරපුම් නියෝග ලබා ගැනීමට කටයුතු කළ යුතු ය. මෙවන් දැඩි නීති පද්ධතියක් යටතේ වන රක්ෂිත පාලනය වන්නේ ඒවායෙහි ඇති සියලු ම ආකාරයේ වටිනාකම් වර්තමාන හා අනාගත පරපුරේ රැකවරණය උදෙසා ආරක්ෂා කර ගැනීම සඳහා ය.

ජාත්‍යන්තර සම්මුතීන් හා ජාතික ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම

මෙම රක්ෂිත වනාන්තරය ආරක්ෂා කිරීමට නීතියෙන් පමණක් නොව ජාත්‍යන්තරව ද අප බැඳී සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් 2015 සැප්තැම්බර් මස 25 වන දින සම්මත කර ගත් 2030 වසරේ සැප්තැම්බර් 30 වන දින වන විට අත්පත් කර ගැනීමට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්ක 17 වෙනුවෙන් කටයුතු කිරීමට ජාත්‍යන්තර ව අප බැදී සිටී. මෙම ඉලක්ක අතුරෙන් 15 වන ඉලක්කයට අනුව භූමිය හා ජෛව විවිධත්ව හායනය වැළැක්වීම සඳහා පරිසර පද්ධති සුරක්ෂිත කිරීම සහ වනාන්තර තිරසාර ලෙස කළමනාකරණය කිරීම යන කරුණු සාර්ථක කර ගැනීමට අප රටක් ලෙස කටයුතු කළ යුතු ය. ඒ සඳහා රක්ෂිත වනාන්තර හා රක්ෂිත නොවන වනාන්තර ආරක්ෂා කරමින් 13 වන ඉලක්කයේ සඳහන් දේශගුණික විපර්යාස පිටු දැකීමට ද යොමු විය යුතු ය. එපමණක් නොව වනාන්තර ඇතුළු ජල පෝෂක පද්ධති ආරක්ෂා කිරීමෙන් 6 වන ඉලක්කයේ සඳහන් පිරිසිදු ජලය සෑම පුරවැසියකුට ම ලබා ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කළ යුතු ය.

තිරසර සංවර්ධන ඉලක්ක අතුරෙන් පළමු වන ඉලක්කයේ සඳහන් දරිද්‍රතාවය දුරු කිරීමටත් 2 වන ඉලක්කයේ සඳහන් මන්දපෝෂණය දුරු කිරීමටත් ජල පෝෂක වනාන්තර ආරක්ෂා කර වාරි ජල සුරක්ෂිතතාව ඇති කර කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවය ගොඩනැංවීමෙන් ආහාර ස්වෛරීභාවය තහවුරු කළ යුතු ය.

මීට අමතර ව ජෛව විවිධත්ව සම්මුතිය වැනි ජාත්‍යන්තර සම්මූතීන් මගින් පමණක් නොව ජාතික ප්‍රතිපත්ති මගින් ද වනාන්තර ඇතුළු භූමිය ආරක්ෂා කිරීමට ආණ්ඩුව ජනතාව සමග බැඳී සිටී. 1995 ජාතික වන ප්‍රතිපත්තිය මෙන් ම මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ජනතාව සමඟ සම්මුතිගත වූ  “ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අට වන පරිච්ඡේදයේ දැක්වෙන “තිරසර පරිසර ප්‍රතිපත්තියක්” කොටසෙහි ද වනාන්තර ආරක්ෂා කිරීම පිළිබඳ ව සඳහන් වේ. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව, මිනිසාට මෙන් ම අනෙක් සත්ත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු බව සඳහන් වේ. එහි තවදුරටත් දක්වා ඇත්තේ, වර්තමානයේ සිදු වන බොහෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදු වන විනාශය අති විශාල බවත් ඒ නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබෙන බවත් ය.

එපමණක් නොව එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ භූමි භාවිතය පිළිබඳ ව සඳහන් කර ඇත්තේ, ජනතාවගේ යහපැවැත්ම සඳහා භූමිය භාවිත කළ යුතු බවත් මිනිසාට මෙන්ම අනෙක් සත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු බවත් ය. එලෙස ම තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි කොට්ඨාශ, එනම් සත්වයන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරපුරට භූමිය ආරක්ෂා කරන භාරකාරයන් ලෙස රජය ක්‍රියා කළ යුතු බව ය. එපමණක් නොව මෙරට ජාතික වන වැස්ම 30% ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත්, ස්වාභාවික පරිසර පද්ධති සංරක්ෂණය කරන අතර හානියට ලක් වූ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කරන බවත් සඳහන් කර ඇත. මේ ආකාරයෙන් ජනතාව සමඟ සම්මුතිගත වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව රක්ෂිත වනාන්තර විනාශ කිරීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබා දීමට කිසිදු අවස්ථාවක් රජයට නොමැත. එසේ අවස්ථාව ලබා දීමෙන් සිදුවන්නේ ජාත්‍යන්තර සම්මුතීන් හා දේශීය ප්‍රතිපත්තීන් උල්ලංඝනය කරමින් වත්මන් හා අනාගත පරපුර අගාධයකට ගෙන යාමට ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව සලසා දීමකි.

විකල්ප ක්‍රියාත්මක නොකර ගැටළු වර්ධනය කිරීම

වත්තේගම – කැඹිලිත්ත වන රක්ෂිතය වගා කටයුතු සඳහා යොදා ගැනීම වෙනුවට සුදුසු විකල්ප ක්‍රියාමාර්ගයක් මේ වන විට සකස් කර අවසන් ව තිබේ. නමුත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් රක්ෂිත වනාන්තර ඉඩම් අත්පත් කර ගැනීමේ අරමුණින් මෙම විකල්ප ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අවස්ථාව අහුරමින් සිටී. නමුත් මෙම විකල්ප ක්‍රියාමාර්ගය තුළින් බොහෝ ගොවි ජනතාවකගේ ඉඩම් ප්‍රශ්නයට විසදුමක් ලබා දිය හැකි අතර එය නිසි පරිදි කියාත්මක කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවලට හා ආණ්ඩුවට බලපෑම් කළ යුතු ව ඇත.

මෙම වන රක්ෂිතය මායිම් ව පිහිටි වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ පාලනය වූ රජයට අයත් වෙනත් කැලෑ ලෙස සැලකෙන හෙක්ටයාර 11,600 ක භූමි ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රාදේශීය ලේකම් වෙත වගා කටයුතු සඳහා බලපත්‍ර යටතේ ජනතාවට ලබා දීමට බැහැර කර තිබේ. එසේ බැහැර කළ ප්‍රදේශයේ හෙක්ටයාර 1640 ක් වනාන්තර පවතින අතර ඉතිරි හෙක්ටයාර 9960 ක් නැතහොත් අක්කර 24,632 ක් වගා කටයුතු සඳහා නීත්‍යානුකූලව ලබා දීමේ හැකියාව ඇත. මෙම ඉඩම් මහා පරිමාණ ව්‍යාපාරිකයන් වෙත ලබා දීම වෙනුවට එම ප්‍රදේශයේ ඉඩම් අහිමි සුළු පරිමාණ ගොවි ජනතාව වෙත ලබා දීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු ය. ඒ තුළින් එම ජනතාවගේ ජන ජීවිතය ගොඩ නැංවීමට දායකත්වය ලබාදිය යුතු අතර එම ප්‍රදේශයේ පිහිටි විනාශ වූ වැව් ප්‍රතිසංස්කරණය කිරීම හා ඇළ මාර්ග හරස් කර අමුණු ඉදිකර වගා බිම්වලට ජලය ලබා ගැනීමේ පහසුකම් ඇති කළ යුතු වේ.

ඊට අමතර ව ගොවි ජනතාවට මිශ්‍ර බෝග වගා බිම් පවත්වා ගෙන යාමට හා ඒ තුළින් ජන ජීවිතය ගොඩ නැංවීමට මඟපෙන්වීම සිදු කළ යුතු ය. නැවත වරක් මෙම ප්‍රදේශවල ඒක බෝග වාණිජ වගාවන් ලෙස බඩඉරිඟු වගාව ඇති කිරීම තුළින් සේනා දළඹුවන් වැනි වසංගත තත්ත්වයන්ට වගා බිම් ගොදුරු නොකර මිශ්‍ර බෝග වගාව, කෘෂි වන වගාව, සද්‍රෘශ්‍ය වන වගාව සහ පාරිසරික හා කාබනික ගොවිතැන සඳහා මඟ පෙන්වීම සිදු කළ යුතු ය. ඒ තුළින් ගොවි ජනතාවට හොඳ අස්වැන්නක් ලබා ගැනීමට සහ වසර පුරා ම ආදායම් ලබා ගත හැකි මාර්ග සකස් කර දිය යුතු ය. එපමණක් නොව සෞඛ්‍ය ආරක්ෂිත ආහාර නිෂ්පාදන ක්‍රියාවලියකට හා වියදම් අඩු ආහාර නිෂ්පාදන ක්‍රියාවලියකට ගොවි ජනතාවට මඟ පෙන්වීම සිදු කළ යුතු ව ඇත. ඒ තුළින් වනාන්තර එළි කරමින් වගා බිම් ව්‍යාප්ත කරමින් සිදු කරන අසාර්ථක හා හානි කර වගා ක්‍රමවේදය වෙනුවට පාරිසරික තුළිතතාවය රැකෙන, ජන ජීවිතය සුරක්ෂිත වන යෝග්‍ය කෘෂිකර්මාන්තයකට ජනතාවට මඟ පෙන්වීම සිදු කළ යුතු ව තිබේ. එපමණක් නොව මෙම ප්‍රදේශයේ දේශීය කිරි ගොවිතැන ප්‍රවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම තුළින් කාබනික හා පාරිසරික ගොවිතැන සඳහා අවශ්‍ය යටිතලයන් ගොඩනැංවීමේ හැකියාව ද ඇති වේ.

මෙවන් ක්‍රියාමාර්ගයකට යොමු වීම සඳහා සැලසුම්සහගත වැඩපිළිවෙළක් මොනරාගල දිස්ත්‍රික් ලේකම් හා සියඹලාණ්ඩුව ප්‍රාදේශිය ලේකම් එක් වී සකස් කළ යුතු ය. එහි දී මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉඩම් ලබා දීම හා ඒක බෝග වාණිජ වගාවන් සඳහා පමණක් ඉඩම් ලබා දීම වහා ම නතර කළ යුතු ය. ඒ වෙනුවට සුළු පරිමාණ ගොවි ජනතාවගේ මිශ්‍ර බෝග වගා බිම් පද්ධතියක් බවට මෙම ප්‍රදේශය පරිවර්තනය කළ යුතු ය. ඒ තුළින් සමස්ත ප්‍රදේශයේ ම වනාන්තර පද්ධතියත්, ජෛව විවිධත්වයත් ආරක්ෂා කර ගත හැකි අතර අලි – මිනිස් ගැටුම ද පාලනය කර ගත හැකි වනු ඇත.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka