ඊශ්‍රායලය අවුලෙන් අවුලට.. හත් හවුල් සන්ධානයකට බලය.. නෙතන්යාහු ඉවතට විසිවෙමින්..
ඊශ්‍රායලයේ නව රජය පිහිටුවීම සඳහා සුදුසු අපේක්ෂකයා කවුරුන්දැයි ලබන ඉරිදා වන විට නම් කරන බව ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් නිවේදනය කර තිබේ. ඒ, එරට වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු අබිබවා යමින් විපක්ෂ නායක ගැඩී අයිසෙන්කොට් හට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය හිමිවීමත් සමඟය.
ඊශ්‍රායලයේ ආසන 120කින් යුත් 'නෙසට්' පාර්ලිමේන්තුවට තේරී පත් වූ දේශපාලන පක්ෂ සමඟ පැය ගණනාවක් පුරා පැවති දීර්ඝ සාකච්ඡා වටයකින් අනතුරුව ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා මෙම ප්‍රකාශය සිදු කළේය.
එහිදී හිටපු හමුදාපතිවරයකු වන විපක්ෂ නායක ගැඩී අයිසෙන්කොට් වෙත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 67 දෙනෙකුගේ සහයෝගය හිමි වූ අතර, වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට සහයෝගය පළ කර ඇත්තේ මන්ත්‍රීවරුන් 46 දෙනෙකු පමණි.
සාකච්ඡා වටයෙන් පසු රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ජනාධිපති හර්සොග් සඳහන් කළේ, බැලූ බැල්මට සාකච්ඡාවල ප්‍රතිඵලය පැහැදිලි එකක් සේ පෙනී ගියද, විවිධ දේශපාලන කණ්ඩායම් අතර සහ එම කණ්ඩායම් තුළම පවතින අභ්‍යන්තර මතභේද හා විරෝධතා හේතුවෙන් ස්ථාවර සන්ධාන රජයක් පිහිටුවීමේ වැඩිම හැකියාව ඇත්තේ කාටදැයි තීරණය කිරීම සංකීර්ණ වී ඇති බවයි.
මේ හේතුවෙන් සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවලදී පක්ෂ නායකයන් සමඟ පෞද්ගලිකව තවදුරටත් සාකච්ඡා පවත්වා ඉරිදා දිනයේදී සිය අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බව ජනාධිපතිවරයා පැවසීය.
පසුගිය ඔක්තෝබර් 27 වැනිදා පැවති ඊශ්‍රායල මහ මැතිවරණයේදී කිසිදු ප්‍රධාන පාර්ශ්වයකට ස්ථාවර බහුතර බලයක් හිමි නොවූ අතර, එමඟින් දැඩි දේශපාලන බෙදීමක් නිර්මාණය විය. නෙතන්යාහුගේ 'ලිකුඩ්' පක්ෂය ආසන 27ක් දිනාගනිමින් තනි විශාලතම පක්ෂය බවට පත්වුවද, ඔහුගේ ආගමික-ජාතිකවාදී සන්ධානයට ලබාගත හැකි වූයේ ආසන 53ක් පමණි.
අනෙක් අතට, මධ්‍යස්ථ-වාම සහ දක්ෂිණාංශික පක්ෂ හතරක එකතුවෙන් සැදුම්ලත් අයිසෙන්කොට්ගේ සන්ධානය ආසන 48ක් හිමිකර ගත්තේය. එමෙන්ම ඊශ්‍රායලයේ වෙසෙන පලස්තීන/අරාබි සුළුතරය නියෝජනය කරන පක්ෂ පෙර නොවූ විරූ ලෙස ආසන 19ක් ජයග්‍රහණය කිරීමට සමත් විය.
නෙතන්යාහු මෙන්ම අයිසෙන්කොට්ද අරාබි පක්ෂ සමඟ එක්ව රජයක් පිහිටුවීම ප්‍රතික්ෂේප කර තිබුණද, නෙතන්යාහු බලයෙන් පහ කිරීමේ අරමුණින් අරාබි පක්ෂ දෙකම අගමැති ධුරය සඳහා නිර්දේශ කර ඇත්තේ අයිසෙන්කොට්වය.
කෙසේ වෙතත්, බලය අහිමි වීමේ අවදානම හමුවේ නෙතන්යාහු මැතිවරණ ප්‍රතිඵලය ප්‍රශ්න කරමින් සිටින අතර, අරාබි පක්ෂ ඡන්ද වංචා සිදු කර ඇති බවට චෝදනා නඟයි. එහෙත් ඊශ්‍රායල මධ්‍යම මැතිවරණ කොමිසමේ ප්‍රධානී, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නෝම් සොල්බර්ග් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් අවධාරණය කර ඇත්තේ මැතිවරණයේ විනිවිදභාවය ආරක්ෂා වී ඇති බවත්, බලය සාමකාමීව පැවරීම ප්රජාතන්ත්රවාදයේ මූලික පදනම බැවින් මහජන විශ්වාසය පළුදු නොකරන ලෙසත්ය.
මේ අතර, නෙතන්යාහුගේ අන්ත දක්ෂිණාංශික හිතවතකු වන ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ග්විර් ඇතුළු පිරිස් අරාබි පක්ෂ නායකයින් වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බවට බලකරමින් සිටිති.
ඊශ්‍රායලය අවුලෙන් අවුලට.. හත් හවුල් සන්ධානයකට බලය.. නෙතන්යාහු ඉවතට විසිවෙමින්..
2026-11-06T21:20:00+05:30
Gossip Lanka Hot News





