ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම වැළැක්වීමට අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්
සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, එම අමාත්‍යාංශයේ ලේකම්වරිය, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු පිරිසක් නම් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවට අනුව බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජය වෙත පැවරී ඇති බව පෙන්වා දෙන පෙත්සම්කාර හිමියන්, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිරදඬුවම් නියම වීමෙන් අනතුරුව ඥානසාර හිමියන්ව කොළඹ මහාධිකරණයට සහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ චීවරය ඉවත් කර සිවිල් ඇඳුමින් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන් කරයි.
බන්ධනාගාර බලධාරීන්ගේ මෙම තීරණය බන්ධනාගාර රෙගුලාසිවලට මෙන්ම බෞද්ධ විනය නීතිවලටද පටහැනි බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙති.
ඒ අනුව, ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක්, ඊට බලකෙරෙන බන්ධනාගාර රෙගුලාසි හෝ චක්‍රලේඛ වේ නම් ඒවා බල රහිත කිරීමේ නියෝගයක් මෙන්ම උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක්ද වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස පෙත්සම්කාර හිමියෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම වැළැක්වීමට අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්
2026-10-09T17:11:00+05:30
Gossip Lanka Hot News





