gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අනුරපුර විරෝධතා රැලියට ලිමිණි එන්නේ නැහැ... මහින්ද රාජපක්ෂ අනිවාර්යයෙන්ම එනවා තිස්සකුට්ටි කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන විරෝධතා ජන රැලිය හෙට (12) අනුරාධපුර නගරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා ධුරයෙන් පහකිරීමේ අරමුණින් මෙම රැලිය සංවිධානය කර නොමැති බවත්, පවතින පාලනයේ අත්තනෝමතික ක්‍රියාකලාපයන්ට එරෙහිව ජනතා විරෝධය ප්‍රකාශ කිරීම මෙම රැලියේ ප්‍රධාන අරමුණ බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම පිටුපස දේශපාලන බලපෑමක් පවතින්නේද යන්න පිළිබඳව රට තුළ සැකයක් නිර්මාණය වී ඇති බවද තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.

අධිකරණ තීන්දු ලබාදීමට පෙර පාර්ලිමේන්තුවේදී සහ දේශපාලන වේදිකාවලදී ඒ සම්බන්ධයෙන් අදහස් පළවීම හේතුවෙන්, මෙම පියවර රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් ගත් එකක්ද යන්න පිළිබඳව ජනතාව අතර ප්‍රශ්නාර්ථයක් මතුව ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙම රැලිය නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්කිරීමේ සටනක් නොවන බවත්, ජනතාව මුහුණ දෙන පීඩනයට සහ පවතින පාලනයේ ක්‍රියාකලාපයන්ට එරෙහි විරෝධතාවක් බවත් තිස්ස කුට්ටිආරච්චි මහතා අවධාරණය කළේය. ප්‍රධාන සංවිධායකවරයා නොමැති වුවද ජනතාව වඩාත් ජවසම්පන්න ලෙස එකමුතු වී රැලිය සාර්ථක කර ගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේ පැවැත්වෙන මෙම ජන රැලිය සඳහා අනිවාර්යයෙන්ම සහභාගී වන බව පක්ෂය විසින් නිල වශයෙන් දැනුම් දී ඇති බවද තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත්, නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ මහත්මිය මෙම රැලියට සහභාගී වන බවට මෙතෙක් නිල දැනුම්දීමක් ලැබී නොමැති බවද ඔහු පැවසීය.

රජයේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු අනෙකුත් විපක්ෂ දේශපාලන පක්ෂවල නියෝජිතයන්ටද මෙම රැලියට සහභාගී වී සහය පළකිරීමේ හැකියාව පවතින බව ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, රැලියට සහභාගී වන ආරාධිත කතිකයින් සහ නියෝජිතයන් සම්බන්ධයෙන් අවසන් තීරණය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් විසින් ගනු ලබන බවද ඔහු කියා සිටියේය.

මීට මාස කිහිපයකට පෙර ගම් මට්ටමින් සිදුකළ සංචාරවලදී ආගමික නායකයන්, රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් මෙම විරෝධතා මාලාව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට පියවර ගත් බවද තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී, ඉරිඟු, බී ලූනු, එළවළු සහ පලතුරු වගා කරන ලක්ෂ එකහමාරකට අධික ගොවි ජනතාවක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවද ඔහු පෙන්වා දුන්නේය. වී කිලෝවක් රුපියල් 85ත් 87ත් අතර අඩු මිලකට අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ගොවි ජනතාව දැඩි ලෙස අසරණ වී සිටින බවද ඔහු සඳහන් කළේය.

හොරොව්පතාන, කහටගස්දිගිලිය, පදවිය සහ කැකිරාව ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ස්ථාවර මිලක් හෝ නිසි නියාමනයක් නොමැති වීම මෙන්ම පොහොර සහ ඉන්ධන ලබාගැනීමේදී පවතින ගැටලු හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

එම ජනතා පීඩනය ප්‍රකාශ කිරීම සඳහා ජනතාව අනුරාධපුර නගරයට එක්වන බවත්, විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේම ජනාධිපතිවරයා බැවින් රටට සහ ජනතාවට ඉටුවිය යුතු වගකීම් නිසි පරිදි ඉටුකරන ලෙස රජයට බලපෑම් කිරීම මෙම රැලියේ ප්‍රධාන අරමුණක් බවත් තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මේ අතර, රැලිය සඳහා සහභාගී වන ජනතාවට ආහාර පාන, මුදල් හෝ මත්ද්‍රව්‍ය ලබාදී ඔවුන් ගෙන්වා ගන්නා බවට ආණ්ඩු පාර්ශ්වයෙන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළේය.

ජනතා විමුක්ති පෙරමුණ හෝ සමගි ජන බලවේගය සංවිධානය කරන දේශපාලන රැලි සඳහා ජනතාව එක්වන ආකාරයෙන්ම, පවතින පාලනය කෙරෙහි ඇති විරෝධය ප්‍රකාශ කිරීම සඳහා විවිධ දිස්ත්‍රික්කවලින් විශාල පිරිසක් සිය කැමැත්තෙන්ම අනුරාධපුර නගරයට පැමිණෙන බවද ඔහු පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන හත සහ ග්‍රාම නිලධාරී වසම් 693ම නියෝජනය කරමින් මෙන්ම රට පුරා සිටින ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ජනතාව විශාල වශයෙන් මෙම රැලියට එක්වන බැවින්, එය මෑත කාලයේ දේශපාලන පක්ෂයක් විසින් සංවිධානය කරන දැවැන්තම විරෝධතා රැලිය බවට පත්වනු ඇති බව තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka