ශිරන්ති FCID කැඳවීමට නොපැමිණියේ 'ඇස් සැත්කමකට' සිංගප්පූරුවේ සිටින නිසා බව නීතිඥවරයා දන්වයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඊයේ (24) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කර තිබූ කැඳවීමට අනුව ඇයට එහි පෙනී සිටීමට නොහැකි වූ බව ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකු විසින් FCIDයට දැනුම් දී තිබේ.
ඇස් ශල්‍යකර්මයක් සඳහා මේ වන විට සිංගප්පූරුවේ රැඳී සිටින බැවින් ඊයේ දින විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බව නීතිඥවරයා විසින් යොමු කළ ලිපිය මගින් දැනුම් දී ඇත.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය යළි මෙරටට පැමිණීමෙන් පසු FCIDය මගින් ලබාදෙන වෙනත් දිනයකදී විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිටින බව ද එමගින් දන්වා තිබේ.
‘සිරිලිය සවිය’ පදනමට අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් FCIDය විසින් යළි සිදුකරන විමර්ශනයකට අදාළව ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම නිකුත් කර තිබිණි.වාර්තා වන පරිදි, එම විමර්ශනයේ එක් ප්‍රධාන කරුණක් වී ඇත්තේ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා PET ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ලබා දුන් බව කියන රුපියල් මිලියන 10ක පරිත්‍යාග මුදලක් ‘සිරිලිය සවිය’ පදනමට අදාළ ගිණුමකට බැර වූ බවට එල්ල වී ඇති සැකයයි.
මේ සම්බන්ධයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ගෙන් ද FCIDය ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වී ඇත.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය සැප්තැම්බර් 16 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා බව ඇයගේ පාර්ශ්වය සඳහන් කර තිබේ.
FCIDයේ කැඳවීම සම්බන්ධ ලිපිය ඇයට ලැබුණේ සිංගප්පූරුව බලා පිටත්වීමට ආසන්නව කටුනායක ගුවන්තොටුපොළේදී බවත්, ඊට පෙර ඇය කැඳවීම පිළිබඳ දැනුවත්ව නොසිටි බවත් ඇයගේ පාර්ශ්වය පවසා තිබිණි.
මේ අතර, පොලිසිය පවසා තිබුණේ සැප්තැම්බර් 24 වැනිදා FCID හමුවේ පෙනී සිටින ලෙස ඇයට දැනුම් දී තිබූ බවත්, එම දැනුම්දීම ගුවන්තොටුපොළේදී ද සිදුකර තිබූ බවත්ය.
ඒ අනුව, ශිරන්ති රාජපක්ෂ මහත්මිය යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව FCIDය විසින් නියම කරනු ලබන දිනයකදී ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.
මේ පුවත තව අයට බලන්න
ශිරන්ති FCID කැඳවීමට නොපැමිණියේ 'ඇස් සැත්කමකට' සිංගප්පූරුවේ සිටින නිසා බව නීතිඥවරයා දන්වයි
2026-09-25T10:09:00+05:30
Gossip Lanka Hot News






