gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘සයින්දමරුදු පිපිරීම සැක සහිතයි’ – සහරාන්ගේ රියැදුරු ගපූර් මාමා පාස්කු මහ නඩුවේදී සාක්ෂි දෙමින් කියයි

සයින්දමරුදු පිපිරීම පිළිබඳ තමන්ට බලවත් සැකයක් පවතින බව පාස්කු මහ නඩුවේ 2 වැනි විත්තිකරු වන සහරාන්ගේ රියැදුරු ලෙස සේවය කළ ‘ගපූර් මාමා’ නැමැත්තා (අවු: 63) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් ඊයේ (18) කියා සිටියේය.

2019 වසරේ පාස්කු ඉරු දින මෙරට කිතුනු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට අදාළව පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් වීමෙන් පසු පෙරේදා (17) විත්තියේ සාක්ෂි විමසීම ආරම්භ විය.

එහිදී නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙක් සාක්ෂි දෙන ලදි.

මෙම නඩුව නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ දිනපතා විභාග වේ.

ඊයේ (18) නඩුවේ ප්‍රධාන විත්තිකරුවන් වන මොහොමඩ් සරීබු ආදම් ලෙබ්බේ නොහොත් ‘ගපූර් මාමා‘ සහ සහරාන්ගේ කණ්ඩායමේ සන්නද්ධ අංශ නායකයා ලෙස සැලකෙන හයාතු මොහොමඩ් අහමදු මිල්හාන් ඇතුළු

විත්තිකරුවන් 5දෙනකු සාක්ෂි දීමට නියමිතව තිබිණි. සංවිධානය තුළ ඔවුන් හඳුන්වා ඇත්තේ ‘අබු හිදා‘ සහ ‘අබු සලා’ යන නම්වලිනි.

ගපූර් මාමා යන අය සාක්ෂි දෙමින් සයින්දමරුදු පිපිරීමෙන් තමන්ගේ ඥාතීන් 15 දෙනකු මියගිය බව පැවසීය. එම ස්ථානයේ සිදුවූ පිපිරීමකින් තමාගේ දුව, බෑනා, මුනුබුරන්, බෑනාගේ පියා, මව, නංගී ඇතුළු පිරිසක් මිය ගොස් තිබේ.

තමා මරාගෙන මැරෙන කණ්ඩායමක සාමාජිකයකු නොවූ බවත් සියදිවි නසා ගැනීමේ අදහස් නොතිබුණු බවත් සාක්ෂිකරු පවසා සිටියේය.

ඉස්ලාමය අනුව සියදිවි නසා ගැනීම ‘හරාම්’ නමැති පාපකර්මයට අයත් වන දෙයක් බව ඔහු කීවේය. තමා නුවරඑළියේ පැවැති අන්තවාදී ආගමික සැසියකදී දුටු බව පැමිණිල්ලේ සාක්ෂිකාරියක වන ‘අස්නියා’ යන අය කියා සිටියත් තමා එයට සහභාගි නොවූ බව දිවුරා ප්‍රකාශ කළේය.

මේ සිදුවීම නිසා තමන්ගේ පවුල ගැටලු රැසකට මුහුණ දුන් බවත් එහෙත් නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ ලොකු පුතා උසස් පෙළ හා බාල දියණිය සා.පෙළ විභාගයට මේ වසරේ ඉදිරිපත් වූ බව පැවසුවේය.

තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන සිටියදී තමාගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරියා ‘ඌරුමස් ව්‍යාංජනයක්’ සහිත බත් වේලක් ලබාදුන් බව පැවසුවේය. තමා එය ප්‍රතික්ෂේප කළ විට ආහාරයට ගන්නා ලෙස ඔහු බල කළ බවත් පැවසුවේය. ඒ නිසා අකමැත්තෙන් වුවත් එය ආහාරයට ගැනීමට සිදුවූ බව හඬමින් කියා සිටියේය.

ආහාර ගැනීමෙන් පසු කෑම වේල රසදැයි පොලිස් නිලධාරියා විමසූ බවත් අකැප කෑම වේලක් ආහාරයට ගන්නා තැනැත්තකුට එය රස විඳිය හැකිදැයි ප්‍රශ්නකර සිටියේය.

අනතුරුව විත්තියේ 7,8,10,15,17,18 සහ 19 යන විත්තිකරුවන්ගේ සාක්ෂි විමසීම සිදු විය. එම විත්තිකරුවන් ඇතුළුව ඊයේ (18) වන විට විත්තිකරුවන් 12 දෙනකුගේ සාක්ෂි විමසීම අවසන් වීමට නියමිතය.

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නවුෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත. නඩුවේ 6 වැනි චුදිත වන මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් නොහොත් ‘අබු තරීක්’ යන අය නිශ්ශබ්දව සිටීමට තීරණය කර ඇත.

මේ වන විට නඩුවේ 20 සිට 26 වැනි විත්තිකරුවන් ලෙස නම්කර සිටින සෙයිනුල් ආබ්දීන් මොහොමඩ් ජෙසීම්, මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්, මීරා සහීර් මොහොමඩ් නෆ්ලි යන තැනැත්තන් විත්ති කූඩුවේ සිට සාක්ෂි දී තිබේ.

නඩුවේ 24 වැනි චුදිත වන අන්සර්ඩීන් මොහොමඩ් හිල්මි යන අය මෙසේ කියා සිටියේය. තමා කුලියාපිටියේ ඇතුන්ගලගොඩ ප්‍රදේශයේ උපන් බවත් එහි පාසලෙන් ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබූ බවත් පැවසීය. කුඩා කාලයේදීම පවුලේ ආර්ථික කටයුතුවලටද සම්බන්ධ වීමට සිදුවූ බවත් ඒ අනුව පියා දිනපතා පොළේ වෙළෙඳාම් වැඩවලට උදව් වූ බවත් පැවසීය. මෙයට අමතරව ගමේ පොදු වැඩවලට හා පල්ලිය සංවිධාන කළ නොයෙකුත් ආගමික වැඩවලට සම්බන්ධ වූ බවත් පවසා සිටියේය.

2017 වසරේදී විවාහ වූ බවත් තමන්ට පුතුන් දෙදෙනකු සහ දුවක් සිටින බව පැවසීය. 2019 වසරේ අප්‍රේල් 26 වන සිකුරාදා තමා ජූම්මා ආගමික නැමදීම සඳහා පල්ලියට ගොස් ආපසු යන අතරතුරදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව පැවසීය. එම ජීප් රථයේ තමාගේ අයියා සහ වෙනත් පිරිස්ද සිටි බව පැවසීය. අත්අඩංගුවට ගත් තැනැත්තන් දුම්මලසූරිය පොලිස් ස්ථානයේ දින 3ක් තබාගෙන ප්‍රශ්න කළ බවත් අනතුරුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරූ බවත් පවසා සිටියේය.

ඉන්පසු තමා සහ වැඩිමහල් සහෝදරයා වාරියපොළ බන්ධනාගාරයේ දින 14ක් රඳවා සිටි බව පැවසීය. මෙම සිදුවීම සම්බන්ධයෙන් හැර වෙනත් සිදුවීමකට තමා රිමාන්ඩ් බන්ධනාගාරගතව නොමැති නිසා එහි කටයුතු සිදුවන ආකාරය ගැන අවබෝධයක් නොතිබුණු බවත් ඒ නිසාම ගැටලු රැසකට මුහුණ දීමට සිදුවූ බව පැවසීය. එහිදී ඇතිවූ ගැටුමක් නිසා තමා අනුරාධපුර බන්ධනාගාරයට මාරු කළ බවත් කිව්වේය. මේ කාලයේදී සිය සහෝදරයා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදහස් කළ බව පැවසීය.

තමා සහ තවත් තැනැත්තන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 6 වැනි මහලේ 6×4 ප්‍රමාණයේ සිර කුටියක රඳවා සිටි බවත් ප්‍රකාශ කළේය. ඉන් එළියට ගත්තේ ආහාර ගැනීමෙන් පසු අත සේදීමට හා වැසිකිළි යෑමට පමණක් බවත් ඒ සඳහා විශාල පෝලිමක් තිබුණු බවත් පවසා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා තමා සහ අයතුල්ලා යන අය සිය ගමට ගෙනගිය බවත් එම ගමේ ගෞරවනීය චරිතයක් වන තමා දැඩි රැකවල් මැද ගෙන යෑමෙන් බලවත් අපහසුතාවට පත්වූ බව පැවසීය.

පරීක්ෂණයක් සඳහා විමර්ශකයන් සිය නිවෙස අසල ස්ථානයකට ගෙන ගිය බවත් එහිදී තමාට උපන් නිවෙසට මොහොතකට යෑමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටියද එය නොලැබුණු බව සාක්ෂිකරු පැවසීය. තමාගේ රෝගී මව එහි සිටි බවත් ඇගේ මුහුණ දැක ගැනීමට නොලැබුණු බවත් ඇය තමා බන්ධනාගාරගතව සිටි කාලයේ මියගිය බව පැවසීය. තමා ඉන්පසු මැගසින්, පල්ලන්සේන, පල්ලෙකැලේ බන්ධනාගාරවල රඳවා සිටි බව කිව්වේය. මේ කාලය තුළදී විත්තිකරුගේ පියා සහ සහෝදරයාද මියගොස් ඇතත් විත්තිකරුට අවසන් කටයුතුවලට සහභාගි වීමට අවස්ථා දී නැත.

මෙම චෝදනාවලට පැටලීම නිසා පවුලේ සැම දෙනා විශාල පීඩනයකට මුහුණ දීමට සිදුවූ බවත් බිරිඳට හිසේ ලේ කැටියක් හිරවීම නිසා සැත්කමට ලක්කළ බවත් පැවසීය. නඩුවේ චෝදනා 23,000කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇතත් තමන්ට එරෙහිව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොවූ බවත් නඟා ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් පැවසීය. සහෝදර ජනතාවට හානි කිරීම පිළිබඳ සිය ආගමේ නොකියවෙන බව ප්‍රකාශ කළ සාක්ෂිකරු පාස්කු ඉරිදා ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක්කේය. විත්තියේ 20 සිට 26 දක්වා සාක්ෂිකරුවන් සහ පළමු චුදිත මේ වන විට සාක්ෂි දී තිබේ. අධිචෝදනා පත්‍රයේ චෝදනා 23,270ක් පමණ අන්තර්ගත වන අතර පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 1,500කට ආසන්න ප්‍රමාණයක් නම් කර තිබේ.

224 දෙනෙකුට මරු කැඳවමින් සහ තවත් 584 දෙනෙකුට පමණ තුවාල සිදු කරමින් එල්ල වූ මෙම ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වන නඩුවේ 17 වැනි විත්තිකරු මේ වන විට මියගොස් ඇත. නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් කනීල් මද්දුමගේ, රවිදු යසස්, නිරෝෂන් සිරිවර්ධන, ලෝරන්ස් ඇඩම්ස් යන මහත්වරුන්ගෙන් සමන්විත නීතිඥ පිරිසක් පෙනී සිටියහ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka