gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාර විමර්ශනවලට සලේ බාධා කළ ආකාරය උසාවියේදී හෙළිවේ... ගෝඨා ලවා සාරාගේ DNA පරීක්ෂණය කරවූ හැටිත් අනාවරණය කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා ගැනීම අභියෝගයට ලක්කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලිණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරියගෙන් සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වේ.

පෙත්සම කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ” ස්වාමීනී… පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට පෙත්සම්කාර සුරේෂ් සලේ විසින් බාධාකර තිබෙන ආකාරය එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ ප්‍රසාද් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබෙන කටඋත්තරේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. 2019 වසරේ සයින්දමරුදු ප්‍රදේශයේ ඇති වූ පිපිරීමකින් ” සාරා ජස්මින්” නමැති කාන්තාවක් මියනොගිය බවටත් ඇය ඉන්දියාවට පලාගිය බවටත් කතාබහක් ඇති වුණා. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරියාකාරව විමර්ශන නොකළ බවට සුරේෂ් සලේ මහතා විමර්ශන සමාලෝචන රැස්වීම්වලදී චෝදනා මුඛයෙන් කතාකර තිබුණා. සාරා ජස්මින් නමැති කාන්තාව එම ස්ථානයේදීම මිය ගිය බවටත් ඩී.එන්.ඒ. පරීක්ෂණ හරියාකාරව සිදු නොකළ බවටත් සුරේෂ් සලේ මහතා අවස්ථා ගණනාවකදීම චෝදනා කර තිබූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් වෙනවා. සුරේෂ් සලේගේ මතය වුණේ ඩී.එන්.ඒ පරීක්ෂණයක් නැවත සිදුකළ යුතු බවයි. ඒ අනුව ජනාධිපතිතුමා ලවා එම කාර්යය ඔහු ඉටුකර ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබාදී තිබෙන ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙම ප්‍රකාශය 2026 වසරේ මාර්තු මස 11 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන් කර තිබෙනවා” යනුවෙන් කියා සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය මේ හරහා පෙත්සම්කාර සුරේෂ් සලේ විසින් මෙම විමර්ශනවලට මැදිහත් වී ඊට බාධා සිදු කළ ආකාරය මනාව පැහැදිලි වන බවත් පැවසුවාය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ” පෙත්සම්කාර සුරේෂ් සලේ අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා 2019 වසරේ ජනවාරි මස 03 වනදා තමන් ආරක්ෂක පාඨමාලාවක් සඳහා ඉන්දියාවට පිටව ගොස් නැවත පැමිණියේ එම වසරේ දෙසැම්බර් මස බවට. මේ නඩුකරය සමග පෙත්සම්කරුගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයේ මෙන්ම රාජකාරී විදේශ ගමන් බලපත්‍ර වල පිටපත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් කර තිබුණා තමන් මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජකාරී අවසන් වී පැමිණීමෙන් පසුව සිය රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය විදේශ අමාත්‍යංශයට බාරදුන් බවට. නමුත් ඔහු මෙම නඩුකරයට එම රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයේ සත්‍ය පිටපතක් ඉදිරිපත් කර තිබෙනවා. එම විදේශ ගමන් බලපත්‍රය විදේශ අමාත්‍යංශයට බාරදුන්නා නම් එහි සත්‍ය පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන්නේ කෙසේද? ඕනෑම විදේශ ගමන් බලපත්‍රයක පිටු 64 ක් පවතිනවා. නමුත් ඔහුගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයෙන් අධිකරණයට ඉදිරිපත් කළ තිබෙන්නේ තෝරගත් පිටු 17 ක් හෝ 18 ක් පමණයි. රාජකාරී විදේශ ගමන් බලපත්‍රයේ පිටු හතරක් පමණයි අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඔහුගේ රාජකාරී විදේශ ගමන් බලපත්‍රයේ 56 වන පිටුවේ මුද්‍රා කිහිපයක් දකින්නට තිබෙනවා. 2019 වසරේ මැයි මස දා 18 වනදා ඉන්දීය ආගමන හා විගමන අංශයේ මුද්‍රාවක් තිබෙනවා. එහි සඳහන් වෙනවා “ඩිපාචර්” (Departure) යනුවෙන්. ඉන් පසුව 2019 වසරේ ජූනි මාසයේ ඉන්දියානු ආගමන හා විගණන අංශයේ තවත් මුද්‍රාවක් දකින්නට තිබෙනවා. එහි සඳහන් වෙනවා “එන්ටර්ඩ්” (Entered) යනුවෙන්. පෙත්සම්කරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ ආරක්ෂක පාඨමාලාව සඳහා ඉන්දියාවට පිටව ගිය පසු එරටින් බැහැර නොවූ බවට. එසේ නම් මෙම මුද්‍රාවලින් ඔහු ඉන්දියාවෙන් බැහැර වී තිබෙන බව පැහැදිලි වෙනවා. මෙම විමර්ශනවලට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීලා තිබෙනවා. ඒ තුළින් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා තිබෙනවා පාස්කු ප්‍රහාරයට මාසයකට හෝ මාස එකහමාරකට පමණ පෙර එවක යුද හමුදාපතිව සිටි මහේශ් සේනානායක මහතා තමන්ට දුරකථන ඇමතුමක් ලබා දී බ්‍රිගේ සුරේෂ් සලේට තමන් හමුවීමට අවශ්‍ය බව දැනුම් දුන් බව. එම අවස්ථාවේදී තමන් කාර්යබහුල තත්ත්වයක නොසිටි බැවින් තමන් හමුවන ලෙස දැනුම් දුන් බවත් හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබෙනවා. අසාද් මවුලානාගේ ප්‍රකාශයේත් සදහන් වෙනවා එම වකවානුවේ සූරේෂ් සලේ ශ්‍රී ලංකාවේ සිටි බවට. ස්වාමීනි… මේ කරුණු කිසිවක් පෙත්සම්කාර සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කර නැහැ. ඒ සියල්ල ඔහු වසන් කර තිබෙනවා. රිට් අයදුම් පතකින් සහනයක් ලබා ගැනීමට නම් සියලු කරුණු අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. නමුත් ඔහු එසේ කටයුතු කර නැහැ. ඔහු අධිකරණයට ඉදිරියට පැමිණ තිබෙන්නේ පිරිසුදු දෑතින් නෙවෙයි. මෙවැනි පෙත්සමක් නීතිය ඉදිරියේ පවත්වාගෙන යන්නේ කෙසේද?” යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කර සිටියාය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ” ශානි අබේසේකර තමා කෙරෙහි ද්වේෂ සහගත ආකල්පය කින් පසුවන බව පෙත්සම්කරු ප්‍රකාශ කර තිබුණා. මෙම විමර්ශනය ශානි අබේසේකර ගෙන් ඉවත් කරන ලෙසත් පෙත්සම්කරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබුණා. මහේස්ත්‍රාත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ රොහාන් සිල්වා පියතුමා විසින්. එය ඉදිරිපත් කරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත. පසුව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමා එම පැමිණිල්ල පොලිස්පති වෙත යොමු කරනවා. පොලිස්පති වරයා තමයි එය විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන්නේ.
මෙම විමර්ශනයට අදාළ පළමු බී වාර්තාව ඉදිරිපත් වන්නේ 2024 වසරේ නොවැම්බර් මස 11 වනදා. එම අවස්ථාවේදී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තබා පොලිස් සේවයේ වත් හිටියේ නෑ. ඒ වගේම 2024 නොවැම්බර් මස 15 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුරේෂ් සලේ සහ පිල්ලයාන්ට එරෙහිව විදේශ ගමන් තහනම්ක් ලබා ගන්නවා. එම නියෝග ලබා ගත්තේ ශානි අබේසේකර නොවෙයි. ඒ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ මංගල දෙහිදෙණිය මහතායි. තවත් අධ්‍යක්ෂවරියක් වන හිමේෂා මුතුමාලී මහත්මිය යටතේත් මේ විමර්ශනය සිදු වී තිබෙනවා. මේක බරපතල විමර්ශනක්. මේ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන්නේ නැතිව පිටකොටුව පොලීසිය කරන්න ද” යනුවෙන් කියාසිටියාය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය” ස්වාමීනි… යුද හමුදා ඔත්තුකරුවකු වන ජූඩ් රොෂාන් ක්‍රිෂාන්ත පෙරේරා හෙවත් පෙත්තා නමැති පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. සුරේෂ් සලේ මහතා මට කතා කරලා කිව්වා මුස්ලිම් අන්තවාදීන් පිරිසක් බැහැලා ඉන්නවා. ඒ ගැන බලන්න කට්ටියක් එනවා ඒ අයට මීගමුවේ මුස්ලිම් ගම්මාන පෙන්වන්න කියලා. ඒ අනුව දවසක් යම් පුද්ගලයෙකු දුරකථනයෙන් කතා කරලා සුරේෂ් සලේ මහතා කී කාරණාව දැනුම් දුන්නා. මම කිව්වා මම ඉන්නේ මීගමුවේ පෙරියමුල්ලට එන්න කියලා.දවසක් වෑන් රථයකින් හතරදෙනෙකු ආවා. එයාලා මුස්ලිම් ඇදුම් ඇදලයි හිටියේ. මුස්ලිම් ගම්මාන ගැන බලන්න එනවා කිව්වත් ඔවුන් කටුවපිටිය පල්ලිය ළඟට ගිහිල්ලා පල්ලිය ගැන තමයි වැඩිපුර කතාකළේ. මේ ආකාරයෙන් ජුඩ් ක්‍රිෂාන්ත පෙරේරා නමැති පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් කටඋත්තරයේ සදහන් කර තිබෙනවා.” යනුවෙන් පැවසූවාය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රංශයට ගොස් අසාද් මවුලානාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ නීත්‍යානුකූල භාවය ගැන පෙත්සම්කාර පාර්ශවය ප්‍රශ්න මතුකර තිබුණා. එහි කිසිදු නීතිවිරෝධීභාවයක් නැති බව කිවයුතුයි. 2018 අංක 24 දරන අපරාධ කාරණා වලදී අනෝන්‍ය සහයෝගය ලබා ගැනීම පිළිබඳ පනත යටතේ එක් රටක පොලිස් නිලධාරීන් පිරිසකට වෙනත් රටක පොලිස් නිලධාරීන් සමග එක්ව විමර්ශන සිදු කිරීමට, ප්‍රකාශ සටහන් කර ගැනීමට අවකාශ සලසා තිබෙනවා. ඊට අමතරව අපරාධ නඩු විධාන සංග්‍රහයට මෑතකදී එක් කල සංශෝධනයක් මගිනුත් ඊට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. ඒ අනුවයි අසාද් මවුලානා නමැති පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සිදුවුණේ. ජනක් ද සිල්වා කොමිසමේ නිර්දේශ මත නීතිපතිවරයා ඊට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව නඩු පවරා තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව චෝදනා ගොනුකිරීමට ඇති හැකියාව ගැන අධ්‍යයනය කරමින් සිටිනවා. එහෙත් ජයකී ද අල්විස් කමිටුවේ නීතිමය පදනම ගැටළු සහගතයි. එහි සොයාගැනීම් මත නීතිපතිවරයා පියවර ගන්නේ කෙසේද? රොහාන් සිල්වා පියතුමාගේ පැමිණිල්ලේ සදහන් වුණා පසුගිය කාලයේ පාස්කු විමර්ශන නිසියාකාරව සිදුනොවූ නිසා අලුතින් විමර්ශනයක් සිදුකරන ලෙස. එම පැමිණිල්ල තුළින් සුරේෂ් සලේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා තිබුණා. ඒ අනුව තමයි විමර්ශන ආරම්භ වුණේ.” යනුවෙන් ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පෙත්සම්කරු අත්අඩංගුවට ගනු ලැබූවේ විමර්ශන වලදී ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වූ පසුව බවත්, ඒ අනුව මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර කරුණු සලකා බලන දිනය නියම කිරීම සඳහා එය හෙට දින කැඳවන ලෙසත් අධිකරණය නියම කෙරිණි.

මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී, පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ රුක්ෂාන් සේනාධිර විසින් සුරේෂ් සලේගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ඊට විරෝධය පළකරනු ලැබුවාය.

එම අවස්ථාවේදී සභාපති විනිසුරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නේ මේ පිළිබඳව සුදුසු අවස්ථාවේදී කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසයි.

මේ අතර අදාළ පෙත්සමේ වගඋත්තරකරුවක වශයෙන් නම් කර සිටි රොහාන් සිල්වා පියතුමා වෙනුවෙන් පෙනීසිටින්න සුරේන් ඩී. පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් “පෙත්සම්කරු මේ නඩුකරය සමග ජයකි ද අල්විස් කොමිසමේ වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් ජයකී ද අල්විස් කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධියට පත් කරලා නෑ. හිටපු මහත්තය උදය ගමන්පිල මහතා මාධ්‍ය සාකච්ඡාවකදී එය ඉදිරිපත් කළා. එම කමිටු වාර්තාවේ ඡායා පිටපතක් තමයි අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙන්නේ. එය අභියාචනාධිකරණ රීතීන්ට පටහැනිවයි ඉදිරිපත් කරලා තිබෙන්නේ” යනුවෙන් කියාසිටියේය.

ඒ අවස්ථාවේදී සභාපති විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම්දුන්නේ මෙම කාරණය සම්බන්ධයෙන් මීළඟ දිනයේදී කරුණු පැහැදිලි කිරීමට පියවර ගන්නා ලෙසයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka