gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවේ පරිසර විනාශය : ෆේස්බුක් ගිණුම් අවහිර කිරීමේ තැතක් BBC අනාවරණය

පරිසරවේදීන් සහ ක්‍රියාකාරීන්ගේ සමාජ ජාල ගිණුම් අවහිර කිරීමේ උත්සාහයක් පවතින බවට මේ දිනවල ෆේස්බුක්හි පළවන අදහස් පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසුමකි මේ. ශ්‍රී ලංකාව තුළ සිදු වෙමින් පවතින පරිසර විනාශයන්ට එරෙහිව හඬ නැගීමට යොදා ගන්නා සිය සමාජ ජාල ගිණුම් අවහිර (Ban) කිරීමේ තැතක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පරිසරවේදීහු සහ ක්‍රියාකාරීහු පවසති.

රටේ විවිධ ප්‍රදේශයන්හි සිදුවන පරිසර විනාශයන්ට අදාළව තමන් විසින් තබන ලද සටහන් (Posts), වෛරී ප්‍රකාශ (Hate Speech) ලෙස හෝ එමගින් යම් කිසිවෙකු අඩන්තේට්ටමකට සහ පීඩාවකට (Bullying and Harassment) ලක්ව ඇති බව හුවා දක්වමින් ෆේස්බුක් වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමේ (රිපෝට්/Report) සංවිධානාත්මක උත්සාහයක් පවතින බවට ඔවුහු චෝදනා කරති.

එසේ ‘රිපෝට්’ කෙරෙන ඇතැම් සටහන්වල (Posts) සන්දර්භය (Context) නොසලකා, එම සටහන්වල අඩංගු ඇතැම් වචන මත පදනම්ව සිය ගිණුම් අවහිර කෙරෙන බව පවසන ඔවුහු එමගින් සිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වී ඇති බව පවසති.

නීතීඥ සුපුන් ජයවීර එසේ ෆේස්බුක් ගිණුම් අවහිර කිරීමට ලක් වූ පරිසරවේදීන් අතරින් එක් අයෙකි.

“ඒ වගේම පරිසරවේදීන් නොවන, නමුත් ශ්‍රී ලංකාවේ පාරිසරික ගැටලු පිළිබඳ කතා කරන කීප දෙනෙකුගේ පොස්ට්, රිපෝට් වෙන්න අරන් තිබෙනවා. සමහර වෙලාවට අපි අවුරුදු දෙක තුනකට කලින් දාපු කමෙන්ට් උඩට අරන්, ඒවා රිපෝට් කරනවා,” යනුවෙන් ඔහු බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් බීබීසිය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ෆේස්බුක් හි ප්‍රකාශකයෙකු පැවසුවේ සිය සම්මත ප්‍රමිතීන් (Community Standards) උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවකදී අදාළ ගිණුම් අවහිර (Restrict) කිරීමට සිය ආයතනය වහා පියවර ගන්නා බවය.

ෆෙස්බුක්හි සම්මත ප්‍රමිතීන්වලට අයත් වෛරී ප්‍රකාශ (Hate Speech), අඩන්තේට්ටම් සහ පීඩා (Bullying and Harassment) යනාදිය අනුව පරිසරවේදී සුපුන් ජයවීරගේ ෆේස්බුක් ගිණුම තාවකාලිකව අවහිර කර ඇති බව ෆේස්බුක් සමාගම බීබීසිය වෙත තහවුරු කළේය.




මේ අතර දිගින් දිගටම සිය ගිණුම ‘රිපෝට්’ වීම හමුවේ එය සම්පූර්ණයෙන් අවහිර වෙතැයි බියෙන් මේ වන විට තමා විසින් සිය ගිණුම අක්‍රිය (Deactivate) කරනු ලැබ ඇතැයි පරිසරවේදී සුපුන් ජයවීර පවසයි.

“මගේ ප්‍රොෆයිල් එකේ යාළුවෝ තුන්දාහක් පමණ සිටියා. ඊට අමතරව තවත් ෆලෝවර්ස්ලා නවදාහක් විතර සිටියා. විශේෂයෙන් පාරිසරික කාරණා ගැන උනන්දුවක් දක්වන විශාල පිරිසක් ඒ අතර සිටියා. මම කියන දේවල යම් කිසි විශ්වසනීයත්වයක් තිබෙනවා කියලා මගේ ප්‍රොෆයිල් එක ෆලෝ කරපු කට්ටියක් සිටියා. ඒවා ෂෙයාර් කරපු විශාල පිරිසක් සිටියා. ඉතින් ෆේස්බුක් එකේ තිබෙන ලූප් හෝල්ස් (ගැල වී යාමේ මාර්ග) යොදාගෙන මාව වාරණයකට ලක් වීමක් තමයි මේ සිද්ධ වෙලා තිබෙන්නේ.” යනුවෙන් ඔහු කියා සිටියේය.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ තමා කිසිවිටකත් කිසිවකු හෝ පෞද්ගලිකව අඩන්තෙට්ටමකට හෝ පීඩාවකට (Bullying and Harassment) ලක් කර නොමැති බව නීතඥ සුපුන් ජයවීර අවධාරණය කරයි.

“අපි කවදාවත් මනුස්සයෙක් බුලි කරලා, හැරස් කරලා නැහැ. එක සැරයක් මට මතකයි “මුස්ලිම්වරුන්ට ඇටෑක් කරන්න එපා”, කියලා දාපු මගේ පෝස්ට් එකක්, වයලන්ස් (ප්‍රචණ්ඩත්වය දැක්වෙන) කියලා රිපෝට් වෙලා තිබුණා. ඒ තුළ අපේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්පූර්ණයෙන්ම නැති වීමක් සිදු වෙලා තිබෙනවා.”

“මේ රිපෝට් වුණු පෝස්ට් එකක් මගේ යාළුවෙකුගේ ප්‍රොෆයිල්’ එකකින් පබ්ලිෂ්’ කරලා, ටික වෙලාවකින් අපිම ඒක රිපෝට් කළා. එතකොට අපිට රිප්ලයි එකක් එනවා, මේ පෝස්ට් එකෙන් ‘කමියුනිටි ස්ටෑන්ඩර්ඩ්ස්වලට’ (සම්මත ප්‍රමිතීන්වලට) හානියක් වෙන්නේ නැහැ කියලා,”

එබැවින් තමා වැනි පරිසර විනාශයට එරෙහි හඬ නගන පරිසරවේදීන් පෞද්ගලිකව ඉලක්ක කර, ඔවුන් යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව සිතීම සාධාරණ නොවේදැයි සුපුන් ජයවීර ප්‍රශ්න කරයි.




මේ අතර තමා විසින් පවත්වා ගෙන යන ලද, අධ්‍යාපනික කරුණු පමණක් පළ කෙරුණු ‘පරිණාමික දිනපොත (Diary of Evolution) නමැති ෆේස්බුක් පිටුව (Facebook Page) කිසිඳු දැනුම්දීමකින් තොරව “අතුරුදහන්” වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

“මම ඒ පිටුව පවත්වාගෙන ගියේ ස්වභාවික විද්‍යාව ගැන දැනුම ලබා දෙන්න. මොකද ස්වභාවික විද්‍යාව සම්බන්ධයෙන් ලංකාව තුළ ගොඩක් මිත්‍යා මත තිබෙනවා. දැනුම අඩුයි. පාරිසරික විද්‍යාව, පුරා විද්‍යාව සහ පරිණාමය කියන විෂයයන්වල එකතුවක් වශයෙන් තමයි මම මෙහි පෝස්ට් පළ කළේ. අවුරුදු තුනක පමණ සිට, සරල භාෂාවෙන් ලංකාවේ කාටත් තේරුම් ගන්න පුළුවන් විදිහට මම එහි කරුණු පළ කරනවා,”

“ඇත්තටම කිව්වොත් ‘ග්ලෝබල් කොන්ටෙක්ස්ට්’ (ගෝලීය සන්දර්භය) එක තුළ ඒක ‘සයන්ස් කමියුනිකේෂන්’ (විද්‍යා සන්නිවේදන) පේජ් එකක්. එහෙම පේජස් ලංකාවේ ඇත්තෙම නැති තරම්. එහි පනස් දහසකට වැඩි ෆලෝවර්ස්ලා සංඛ්‍යාවක් සිටියා, ලොකු රීච් එකක් තිබ්බ පේජ් එකක්. දේශපාලනයට අදාළ කිසිම දෙයක් එහි පළ වුණේ නැහැ. දැන් ඒ පේජ් එකත් අතුරුදහන් වෙලා තිබෙනවා,”

“කිසිම වෝනිං එකක් නැහැ, නොටිෆිකේෂන් එකක් නැහැ, ඊමේල් එකක් නැහැ. පේජ් එක නිකන්ම අතුරුදහන්.” යනුවෙන් සුපුන් ජයවීර වැඩිදුරටත් සඳහන් කළේය.



පරිසර විනාශයන් පමණක් නොව මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, දූෂණ සහ වංචා සම්බන්ධයෙන් හඬ නගන ක්‍රියාකාරීන් ද ෆේස්බුක් ගිණුම් අවහිර කෙරුණු පිරිස අතර සිටිති.

අතුරුදහන් කිරීම් සහ මානව හිමිකම් වෙනුවෙන් හඬ නගන නීතිඥ අචලා සෙනවිරත්න ද ඒ අතර වේ.

දින තුනකට සිය ෆේස්බුක් ගිණුම අවහිර කර තිබුණු බව පසුගිය සෙනසුරාදා ඇය සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබිණි.

එහෙත් සිය ඡායාරූප මත අසභ්‍ය ප්‍රකාශ, මරණීය තර්ජන සහ නින්දා අපහාස සහිත ප්‍රකාශ පළ කරන ලද ගිණුම් සම්බන්ධයෙන් පැමිණිලි කළ ද (Report) ඒ කිසිඳු ගිණුමක් අවහිර නොවීම (Restrict) “අරුමයක්” බව නීතිඥ අචලා සෙනවිරත්න වැඩි දුරටත් සඳහන් කරයි.

“සත්‍ය කතා කිරීමම හෙණ ගැසීමට හෝ ‘Restricted’ වීමට සුදුසුකමක් විය හැක… නැවතත් ස්තූතියි.”

මේ අතර සමාජ ජාල ඔස්සේ විකල්ප මත සහ අදහස් පළ කරන ක්‍රියාකාරී භික්ෂූන්වහන්සේ නමක් වන කාරිමඩිත්තේ ඤාණාරාම හිමි, සිය ෆේස්බුක් ගිණුම අවහිර කර ඇති බව අප්‍රේල් 02 වෙනිදා සඳහන් කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබූ (Comment) බොහෝ පිරිසක් එම ක්‍රියාව හෙළා දැක ඇති අයුරු සහ ඒ හා සමාන අත්දැකීමක් තමාට ද ඇති බව සටහන් කර ඇත.



සිය සමාජ ජාලයේ පළවන කරුණු පරීක්ෂා කිරීමට සහ ඒවායේ නිවරද්‍යතාව සොයා බැලීමට ෆේස්බුක් විසින් තෙවෙනි පාර්ශවීය කණ්ඩායම් යොදා ගනු ලබයි.

එවැනි කණ්ඩායම්වලට අයත් ඇතැම් “ස්වාධීන විමර්ශකයන්” (Independent Fact Checkers) සිය සටහන්වල සන්දර්භය නොසලකා, ඒවායේ අඩංගු ඇතැම් වචන සෘජුවම ඉංග්‍රීසි බසට පරිවර්තනය කර (Direct translation) ෆේස්බුක් වෙත වාර්තා කරන්නේ දැයි සැක මතු වන බව ගිණුම් අවහිර කෙරුණු පරිසරවේදීන් සහ ක්‍රියාකාරීන් කීප දෙනෙකු සිය අත්දැකීම විස්තර කරමින් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

ඒ අතර සිටින ඇතැම් පුද්ගලයන් වත්මන් ආණ්ඩුවට දක්වන නැමියාවක් (Bias) හේතුවෙන් එසේ කරන්නේ දැයි සැක මතුවන බවත් ඔවුහු කියා සිටිති.

ජාතිවාදය
“ගොං, මෝඩ, බූරු වගේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි කරන වචන අඩන්තේට්ටම් සහ පීඩාවන් (Bullying and Harassment) විදිහට ෆේස්බුක් එකෙන් හඳුනා ගන්නවා. නමුත් පවතින ආණ්ඩුවට පක්ෂ ෆේක් ප්‍රොෆයිල්වලින් (Fake profiles) ඒ වචනම පාවිච්චි කරද්දී ඒවා බ්ලොක් (අවහිර) වෙන්නේ නැහැ.” යනුවෙන් සිය නම හෙළි කිරීමට අකමැති වූ සමාජ ජාල තුළ ක්‍රියාකාරී සාමාජිකාවක් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

“අපි රිපෝට් කළත්, ඒවා බ්ලොක් වෙන්නේ නැහැ. කමියුනිටි ස්ටෑන්ඩඩ්ස්‌ (සම්මත ප්‍රමිතීන්/Community Standards) උල්ලංඝනය වීමක් සිද්ධ වෙලා නැහැ කියලා ෆේස්බුක් එකෙන් අපිට පණිවිඩයක් එනවා,”

“ගොං කියන වචනේ පාවිච්චි කළා කියලා මාව දවස් තිහකට බ්ලොක් වුණා. ඒක, මම ඒ සංවාදයේ සිටි කිසිම කෙනෙකුට සෘජුව අපහාස කරන්න කියපු දේකුත් නෙමෙයි,”

“පැවති සහ පවතින ආණ්ඩුව ගැනත්, පරිසර ප්‍රශ්න ගැනත් සෘජුව කතා කරන පුරවැසියෙක් වශයෙන් මම, මාව හඳුන්වා ගන්නවා,” යනුවෙන් ඇය පැවසීය.

ඒ තුළ සිය ෆේස්බුක් ගිණුම පෞද්ගලික ඉලක්කයක් වී ඇතැයි හැඟෙන බව ඇය කියා සිටී.


සමාජ ජාල ඔස්සේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව වෛරී ප්‍රකාශ පැතිර යාම සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා වැළක්වීම සඳහා 2018 වසරේ මාර්තු මස ෆේස්බුක් ඇතුළු සමාජ ජාල කීපයක් ශ්‍රී ලංකාව තුළ අවහිර කෙරිණි

පසුගිය කාලයේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර එල්ල කෙරුණු ප්‍රහාර හෙලා දැක, “ජාතිවාදයට එරෙහිව” තමන් එවක පළ කළ අදහස් (Posts/Comments) වසර කීපයකට පසු ‘රිපෝට්’ වෙමින් පවතින බව ද ඇය සඳහන් කරයි.

“ජාතිවාදයට විරුද්ධව දාපු පෝස්ට් කීපයකුත් රිපෝට් වෙලා තිබෙනවා. ඉස්සර ‘නොලිමිට්’ යන ගෑණු ළමයින්ට ජාතිවාදියෝ බිත්තර ගහපු අවස්ථාවේ, මම ඒකට විරුද්ධව ලියපු පෝස්ට් එක රිපෝට් වෙලා, ‘හයිඩ්’ වෙලා තිබෙනවා. ඒ වගේ කීපයක්ම තිබෙනවා,”

එසේ ඉවත් කරන ලද සටහන් (Posts) තුළ ෆේස්බුක් සම්මත ප්‍රමිතීන් (Community Standards) උල්ලංඝනය වන ආකාරයේ වචන අඩංගු වුණි දැයි බීබීසිය ඇයගෙන් විමසා සිටි අතර ඊට ඇයගේ ප්‍රතිචාරය වූයේ, “ජාතිවාදීන්ට සැර පරුෂ වචනෙන් (Strong language) ප්‍රතිචාර දක්වා තිබුණා විය හැකියි. නමුත් සන්දර්භය ගත්තට පස්සේ, එය ඉවත් කළ යුතු යමක් නොවෙයි කියලා මම හිතනවා. මොකද ෆේස්බුක් කියන්නේ අපට අදහස් ප්‍රකාශ කරන්න තිබෙන මාධ්‍යයක්,”

“මුස්ලිම් කඩේකට ඇඳුම් ගන්න යන ගැහැණු ළමයින්ට බිත්තර ගහනවා නම් ඒක අමු ජාතිවාදී, සේක්සිස්ට් (Sexist/ බොහෝ විට ස්ත්‍රියක වීම නිසා පූර්ව විනිශ්චයක පිහිටා කටයුතු කිරීම හෝ වෙනස් ලෙස සැලකීම), ගොං වැඩක්. ඒ වැඩේට ගොං වැඩක් කියලා කියන්න බැරි නම් එතන භාෂණයේ නිදහසක් නැහැ.” යනුවෙන් ඇය සඳහන් කළාය.

ස්ත්‍රී විරෝධය
සමාජ ජාල ඔස්සේ, පවතින පාලනය විවේචනය කිරීම හෝ විකල්ප අදහස් දැරීමට අමතරව කාන්තාවක් වීම නිසාම එල්ල වන අභියෝග ද ඇති බව ඇය පෙන්වා දෙයි.

“පිරිමියෙක් යම් කතාවක් කියනවට වඩා ගැහැණියෙක් ඒ කතාව කිව්වොත් ඒක අවඥාවෙන් සලකන බවක් අපේ සමාජයේ තිබෙන බව මට දැනෙනවා. “ගැහැණියක් කොහොමද එහෙම කතාවක් කියන්නේ?” වගේ ආකල්පයක් සමාජයේ තිබෙනවා. ඒ කියන්නේ “පිරිමියෙක් නම් කමක් නෑ, ගෑණියක් කොහොමද මෙහෙම කතා කරන්නේ,” වගේ තැනක සමාජය ඉන්න බව මට හැඟෙනවා,”

තමා වැනි වෙනස් මත හෝ විකල්ප අදහස් දරන පුරවැසියන් සමාජ ජාල තුළ පළ කරනු ලබන අදහස් සහ විවේචනයන්ට යම් කිසි “බරක්” පවතින්නේ යැයි විශ්වාස කරන ඇය, සිය හඬ “යටපත් කිරීමේ උත්සාහයක්” ක්‍රියාත්මක වන බව ෆේස්බුක් වෙත දැන්වීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව වැඩිදුරටත් සඳහන් කළාය.

ෆේස්බුක් ප්‍රතිචාරය

සිය සමාජ ජාලයේ පළවන කරුණු පරීක්ෂා කිරීමට සහ ඒවායේ නිවරද්‍යතාව සොයා බැලීමට ෆේස්බුක් විසින් යොදා ගනු ලබන තෙවෙනි පාර්ශවීය කණ්ඩායම් තුළ ආණ්ඩුවේ බලපෑමට යටත් හෝ එවැනි නැමියාවක් (Bias) දක්වන පුද්ගලයන් සිටින්නේ යැයි සැකයක් පවතිනබවට පරිසරවේදීන් කරන ප්‍රකාශ පිළිබඳ බීබීසිය ෆේස්බුක් සමාගමෙන් විමසීමක් කළේය.

ශ්‍රී ලංකාව තුළ කරුණුවල නිරවද්‍යතාව සහතික කිරීමේදී ගෝලීය වශයෙන් සහතික කරන ලද තෙවෙනි පාර්ශ්වීය ආයතන දෙකක් යොදා ගනු ලබන බව ෆේස්බුක් සමාගම එහිදී පැවසීය.

“කරුණුවල නිරවද්‍යතාව සහතික කිරීමේ (Fact checking) අපගේ ගෝලීය වැඩසටහනේ කොටසක් වශයෙන්, ෆේස්බුක්හි පළවන දෑ හි නිරවද්‍යතාව ඇගයීමට (Rate) සහ විමර්ශනය කිරීමට (Review) 2019 වසරේ සිට අප ‘AFP Sri Lanka’ සහ ‘Fact Crescendo Sri Lanka’ සමග එක්ව කටයුතු කරනවා. කරුණුවල නිරවද්‍යතාව සොයා බලන ජාත්‍යන්තර ජාලය (International Fact-Checking Network) විසින් සහතික කරන ලද සහ ස්වාධීනව ඇගයීම් ලබා දෙන අසූවකට වැඩි ගෝලීය හවුල්කරුවන් අතරට ඔවුන් එක් වෙනවා. කරුණුවල නිරවද්‍යතාව සහතික කරන අපගේ හවුල්කරුවන්ට කළ හැක්කේ, කතාවක නිරවද්‍යතාව විමර්ශනය කිරීම සහ ඇගයීම පමණි. ෆේස්බුක්හි පළවන දෑ ඉවත් කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැත,” යනුවෙන් ෆේස්බුක්හි ප්‍රකාශකයෙක් ඊට ප්‍රතිචාර දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ නමුත් ප්‍රශ්නගත ගිණුම් සහ පිටුවලට අදාළ යොමු (links) නොමැතිව, පරිසරවේදීන් විසින් එල්ල කරනු ලබන විශේෂිත චෝදනා සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ වැඩිදුර තොරතුරු ලබා දීමේ හැකියාවක් නොමැති බව ෆේස්බුක් සමාගම පවසයි.

ෆේස්බුක් හි අන්තර්ගත දෑ ඉවත් කිරීම




ෆේස්බුක් සමාගම පවසන පරිදි:

කරුණුවල නිරවද්‍යතාව සහතික කිරීමේ ස්වාධීන තෙවෙනි පාර්ශ්වීය හවුල්කරුවන්ට, ෆේස්බුක් ගිණුමක් හෝ එහි පළවන යමක් ඉවත් කිරීමට, අත්හිටුවීමට හෝ තාවකාලිකව අවහිර කිරීමේ හැකියාවක් නොමැත. යම් ‘පෝස්ටුවක්’, පිටුවක් (Page) හෝ ගිණුමක් අපගේ සම්මත ප්‍රමිතීන් (Community Standards) උල්ලංඝනය කරන්නේ ද, නැද්ද යන්න මත පදනම්ව ෆේස්බුක් විසින් සියලුම තීන්දු ගනු ලබයි.

සම්මත ප්‍රමිතීන් උල්ලංඝනය වී ඇතැයි සිතෙන අවස්ථාවක අදාළ පිටු (Pages), කණ්ඩායම් (Groups), ගිණුම් (Profiles), පෝස්ටු (Posts), ඡායාරූප (Potos), වීඩියෝ (Videos), කමෙන්ටු (Comments), වෙළෙඳ දැන්වීම් (Advertisements) ඇතුළු ෆේස්බුක්හි පළවන ඕනෑම දෙයක් පිළිබඳ පැමිණිලි (Report) කළ හැක. එසේ පැමිණිලි කරන ලද ඕනෑම ආකාරයක දෙයක්, පිටුවක් හෝ ගිණුමක් සිය ප්‍රතිපත්ති කඩ කර ඇත්නම් ෆේස්බුක් ඒ සම්බන්ධයෙන් පියවර ගනු ඇත.

යමක් සම්බන්ධයෙන් කෙතරම් පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙන්නේ දැයි යන්න හෝ එය පැමිණිලි කරන පුද්ගලයා කවුරුන්දැයි යන්න සම්මත ප්‍රමිති බලාත්මක කිරීමේ දී බලපෑමක් ඇති නොකරයි. ඊට අදාළ ක්‍රමවේද අවභාවිත කිරීම වළකාලීමේ තාක්ෂණය ෆේස්බුක් සතුය. අපගේ සම්මත ප්‍රමිති උල්ලංඝනය කෙරෙන යමක් සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා ෆේස්බුක් සමාගමට අවශ්‍ය වන්නේ එක් පැමිණිල්ලක් (Report) පමණි.

ආණ්ඩුවේ විග්‍රහය


පොදුවේ ගත් කළ ශ්‍රී ලංකාව තුළ මහා පරිසර විනාශයක් වන බව හුවා දැක්වීමේ ප්‍රයත්නයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ද අදහස වී ඇති බව ඔවුන් විසින් මෑත දී කරන ලද ප්‍රකාශවලින් පෙනී යයි.

විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් සමාජ ජාල තුළ පළවන අදහස් ඔවුන්ගේ විවේචනයට සහ දෝෂදර්ශනයට ලක්වන අයුරු දැකිය හැක. එහෙත් මාධ්‍ය වාරණයක් සිදු නොවන බව ආණ්ඩුව අවධාරණය කරයි.

පරිසර විනාශයන්ට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් සමාජ ජාල තුළ පළවන සාවද්‍ය පුවත් මෙන්ම නිරවද්‍ය කරුණු නිරීක්ෂණය කිරීම සඳහා පරිසර අමාත්‍යංශය විසින් නව ඒකකයක් ස්ථාපනය කරනු ලැබීමට නියමිත බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත මාර්තු 28 වෙනිදා වාර්තා කර තිබිණි.

එම කාර්යය සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් “පරිසර නිලධාරීන්” 323 දෙනෙකු බඳවා ගනු ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් කී බව එම වාර්තාවේ සඳහන් විය.

මොනවද මේ කමියුනිටි ස්ටෑන්ඩඩ්ස්?


තමන් අසාධාරණ ලෙස දණ්ඩනයකට ලක්වී ඇතැයි සිතනවා නම් එයට එරෙහිව අභියාචනා කිරීමේ ක්‍රමවේදයක් ෆේස්බුක් සමාගම හඳුන්වා දී තිබෙනවා – සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන

ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම භාවිත කෙරෙන සමාජ මාධ්‍ය වේදිකාව වන ෆේස්බුක්හි බල පවත්වන කොන්දේසි හඳුන්වනු ලබන්නේ ෆේස්බුක් ප්‍රජාවගේ සම්මත ප්‍රමිතීන් (Community Standards) ලෙසය.

සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන පවසන පරිදි කිසිදු ආණ්ඩුවක බලපෑම නිසා සිය වේදිකාවේ පළවන දේශපාලන හෝ සමාජ විවේචන වාරණය කිරීමක් නොකරන බව ෆේස්බුක් සමාගමේ දීර්ඝ කාලීන ස්ථාවරයයි.

ඉහත කී කාරණයෙන් බැහැරව පොදුවේ ගත් කළ ෆේස්බුක් ගිණුමක් අරඹන විට බොහෝ දෙනෙකු එහි සම්මත ප්‍රමිතීන් (Community Standards) හා ඊට ඇතුළත් කොන්දේසි නොකියවා ඒවාට එකඟ වන බැවින් ඒ පිළිබඳ පවතින දැනුම සීමිත බව ඔහු පෙන්වා දෙයි.

“සමාජ මාධ්‍ය වේදිකා බහුතරයකගේ ඒවාට ආවේණික වූ කොන්දේසි තිබෙනවා. නොමිලයේ එම වේදිකා භාවිතයට ගිණුමක් අරඹන සෑම අයකුම මේ කොන්දේසිවලට අනුගත වීමට බැඳී සිටිනවා.”

“කර්කශ හෝ දරදඬු නොවූ සැහැල්ලු පරිසරයක් ලෙස ෆේස්බුක් වේදිකාව පවතිනවා දකින්නට එහි පරිපාලකයන් කැමති නිසා, මේවා ‘නීති’ හෝ ‘කොන්දේසි’ කියා නම් නොකළත්, ෆේස්බුක් සේවාව භාවිත කරන සැම පුද්ගලයකුම මෙන්ම සැම ආයතනයක්ම මේවා පිළිපැදීම අනිවාර්යයි,” යනුවෙන් සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන වැඩිදුරටත් පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka