gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ස්පා ඇරෙයි.. ඕලුමරාට ඇප.. කසිප්පු දෝරෙ ගලයි… එරික් තවමත් එතැන..

වෙන්නප්පුවේ කසිප්පුකාරයන්ට කුඩුකාරයන්ට, පාතාල මැරයන්ට එරෙහිව සටන් කිරීමේ වරදට දේශපාලන උදහසට ලක්ව මාරුකර යැවූ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ කතාව තවමත් උණුසුම් ප‍්‍රවෘත්තියක් බවට පත්ව තිබේ. මේ නීතිගරුක නිලධාරියාට සිදු වූ අසාධාරණය ගැන අප ඉකුත් සතියේ විශේෂාංග ලිපියක් පළ කළෙමු. ඒ හෙළිදරව්වත් සමඟම එරික් පෙරේරාට සාධාරණයක් ඉෂ්ට වනු ඇතැයි කියා අප පමණක් නොව මේ රටේ නීතිගරුක පුරවැසියන් විශ්වාස කළහ.

එහෙත් එය එසේ සිදු වූයේ නැත. සිදුවූයේ එරික් පෙරේරාට සාධාරණයක් ඉටුවීම නොව ඔහුට තවදුරටත් පන්න පන්නා පහරදීමය. ඒ පිළිබඳව අපි එතරම් පුදුම නොවෙමු. ඒ අපේ රටේ අපේ දේශපාලනයේ හැටිය. එරික් පෙරේරා වෙනුවට වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස ප‍්‍රදේශයේ ප‍්‍රකට කුඩුකාරයකු හෝ කසිප්පුකාරයකු පත්කරනු ලැබූව ද අපි පුදුම නොවන්නෙමු.

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා සහ ඔහු යටතේ ක‍්‍රියාත්මක වූ විශේෂ පොලිස් ඒකකය වෙන්නප්පුවෙන් පන්නා දැමීම සාධාරණීකරණය කිරීමට දේශපාලන අධිකාරිය දරන උත්සාහය විලිලැජ්ජා සහගතය. වෙන්නප්පුවේ කුඩුකාරයන්, කසිප්පුකාරයන් පාතාල මැරයන් විනාශකර දැමීමට කැප වී ක‍්‍රියා කළ එරික් පෙරේරාට අභූත චෝදනා එල්ල කරමින් තම නිර්දෝෂීභාවය ඔප්පුකර ගැනීමට දේශපාලන අඳබාලයන් කටයුතු කරමින් සිටිති.

එහෙත් ඒ ක‍්‍රියාවලිය හරියට ගලේ පැහැරූ බළලාට සිදු වූ දෙය හා සමානය. සිදු වූ වැරැද්ද වසා ගන්නට මේ අඥාන දේශපාලනඥයන් ගන්නා උත්සාහය උන්ට ම පාරාවළල්ලක් බවට පත්වෙමින් තිබෙයි.

මෙහිදී අප දක්නා බරපතළම මෙන්ම කනගාටුදායකම තත්ත්වය වන්නේ නීතිගරුකව කටයුතු කිරීම නිසා අසාධාරණයට ලක්වූ සහකාර පොලිස් අධිකාරිවරයා වෙනුවෙන් රජය හෝ ඔහු නියෝජනය කරන පොලිස් දෙපාර්තමේන්තුවේ කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පෙනී නොසිටීමය. පොලිසිය භාර ඇමැතිවරයාගේ සිට දේශපාලන අධිකාරිය මෙන්ම පොලිස්පතිවරයාගේ සිට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බහුතරයක් දෙනා මේ ප‍්‍රශ්නය හමුවේ පෙනී සිටියේ කසිප්පුකාරයන් වෙනුවෙන් පෙනී සිටි දේශාපාලනඥයන්ගේ පැත්තේය.

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරාට සිදු වී ඇති අසාධාරණය හමුවේ එකම වචනයක් හෝ කතා කිරීමට වර්තමාන පොලිස්පතිවරයාගේ සිට උසස් නිලධාරීන් කිසිවකුත් ඉදිරිපත් නොවීම පුදුම සහගතය. පුදුමයටත් වඩා එය ලැජ්ජා සහගතය.

පහත් පෙළේ දේශපාලනඥයන්, ජාවාරම්කාරයන් ඉදිරියේ කොන්ද කෙළින් තබාගෙන අයුක්තිය අසාධාරණයට එරෙහිව සටන් වදින පොලිස් නිලධාරීන් අද පොලිස් දෙපාර්තමේන්තුවේ නැති තරම් ය.

මේ ආකාරයට සටන් වදින පොලිස් නිලධාරීන් අප දකින්නේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන දෙමළ හෝ හින්දි චිත‍්‍රපටවල පමණය.

එහෙත් මේ කුජීත දේශපාලනඥයන්ට උන්ට කඬේ යන ජාවාරම්කාරයන්ට එරෙහිව සටන් කරන එක් නිලධාරියකු හෝ ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිටීම පිළිබඳව අපි සතුටු වන්නෙමු. පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින බහුතරයක් නිලධාරීන් හැම විටම උත්සාහ ගන්නේ පවතින රජයට කඬේ ගොස් තම අරමුණු අභිමතාර්ථයන් මුදුන්පමුණුවා ගැනීමටය. උසස්වීමක් තමන් අභිමත ස්ථානයකට මාරුවීමක් ලබා ගැනීමට අද බොහෝ පොලිස් නිලධාරීන් නොකරන දෙයක් නැති තරම් ය.

ඊයේ පෙරේදා එක්තරා උසස් පොලිස් නිලධාරියකුට අපේ රජය කියා කියැවුණේ ඒ නිසාය. මෙවන් සිදුවීම් නිසාම පොලිස් නිලධාරීන් කෙරෙහි සාමාන්‍ය ජනයා තුළ ඇත්තේ අප‍්‍රසන්න හැඟීමකි.

එවන් පසුබිමක් එරික් පෙරේරා වැනි චරිතයක් සාමාන්‍ය ජනතාව අතර වීරයකු බවට පත්වන්නේ තමන්ට ලැබුණු ඒ සියලූ වරදාන වරප‍්‍රසාදවලට පයින් ගසා සාධාරණය වෙනුවෙන් සටන් කිරීමට නොබියම ඉදිරිපත් වූ නිලධාරියකු වූ නිසාය. එරික් පෙරේරාට අත් වූ ඉරණම පිළිබඳව ඉකුත් සතියේ දිවයින ඉරිදා සංග‍්‍රහයේ පළ වූ ලිපිය අන්තර්ජාලය ඔස්සේ කියවූ පාඨකයන් සංඛ්‍යාව ලක්‍ෂ ගණනකි. පුවත්පත ඔස්සේ මෙන්ම විවිධ වෙබ් අඩවි ඔස්සේ ද තවත් ලක්‍ෂ ගණනක් පාඨකයන් මේ ලිපිය කියැවූහ. නීතිගරුක පුරවැසියන් ලක්‍ෂ ගණනක් දෙනා එරික් පෙරේරා ගැන තැබූ මේ සටහන කියැවූයේ හුදෙක් රසාස්වාදයක් ලබා ගැනීමට නොව, මේ රටේ කුජීත දේශපාලනඥයන්ට කසිප්පුකාරයන්ට එරෙහිව සටන් කරන පිටකොන්දක් ඇති නිලධාරියකු පිළිබඳව දැන ගැනීමට උපන් ආශාව නිසාය.

එක්තරා රාජ්‍ය ඇමැතිවරයාකුගේ මැදිහත්වීම මත වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාර එරික් පෙරේරා මාරුකර යවා ඔහු යටතේ තිබූ විශේෂ ඒකකය ද විසුරුවා හැරීමේ සිද්ධිය කරළියට පැමිණ වැඩි දවසක් ගත වන්නට පෙර බළලා මල්ලෙන් එළියට පැන්නේය.

මේ මාරුකිරීම් පිටුපස සිටි රාජ්‍ය ඇමැතිවරයා කවුදැයි ඒවනතුරු කිසිවකුත් දැන සිටියේ නැත. එහෙත් සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මාරුකර යවා විශේෂ ඒකකය විසුරුවා හැරීමට නියෝජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතා පොලිසිය භාර ඇමැති සරත් වීරසේකර මහතාට යැවූ ලිපියක් හිටි හැටියේම සමාජගත වුණේය.

සියල්ල හෙළිවන්නට පටන් ගත්තේ එතැන් සිටය. ඒ අතරම වෙන්නප්පුව සංවර්ධන කමිටු රැස්වීමේදී රාජ්‍ය ඇමැතිවරයා සහ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා අතර ඇති වූ මත ගැටුමකට අදාළ සංවාදයක් ද මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ද තොරතෝංචියක් නොමැතිව ප‍්‍රචාරය වන්නට පටන් ගත්තේය. සත්‍ය කතා කරන්නේ කවුද, අපරාධකාරයන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුන්ද යන්න මේ හඬපට ඔස්සේ රටේ සුවහසක් නීතිගරුක පුරවැසියන් දැන ගත්හ.

පුත්තලම් දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ පමණක් නොව මුළු රටේම පිනට පහළ වූ කෘතහස්ත දේශපාලනඥයකු වන අරුන්දික ප‍්‍රනාන්දු මැතිඳානන් දුප්පත් අසරණ කසිප්පුකාරයන් වෙනුවෙන් හඬක් නඟන ආකාරය ඒ හඬපට හරහා අපි ඇසුවෙමු.

ඒ හඬපට අසද්දී අරුන්දික ප‍්‍රනාන්දු මැතිඳානන් ගැන අපට ඇති වුණේ පුදුමාකාර ආදරයකි. එතුමන් පුනපුනාම කියා සිටියේ වෙන්නප්පුවේ සහ දංකොටුවේ මහා පරිමාණ කසිප්පුකාරයන් ඇල්ලූවාට ප‍්‍රශ්නයක් නැති බවත්, ස්වයං රැකියාවක් ලෙස කසිප්පු ව්‍යාපාරය කරන ජනතාවට ඒ සඳහා කිසියම් සහනයක් ලබා දිය යුතු බවත් ය. අරුන්දික ඇමැතිවරයා මොන තරම් ජනතාවාදී දේශපාලනඥයකුදැයි යන්න මේ හඬපටවලින් මොනවට පැහැදිලි වුණේය.

සිමෙන්ති, කටුකම්බි, කාබයිට්, යූරියා, සීනි වැනි ශරීරයට බොහොම හිතකර ද්‍රව්‍ය යොදා ගෘහාශ‍්‍රිතව සුළු පරිමාණයෙන් කසිප්පු පෙරා ගැනීමට යම් සහනයක් ලබාදෙන ලෙස නියෝජ්‍ය ඇමැතිවරයා සංවර්ධන කමිටු රැස්වීමේදී සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් ඉල්ලා සිටියේය. නියෝජ්‍ය ඇමැතිතුමාගේ පැත්තෙන් ඒ ඉල්ලීම සාධාරණය. ඒ මන්ද යත් අරුන්දික ප‍්‍රනාන්දු මැතිඳානන් ලබන ඡුන්දයට ඉදිරිපත් විය යුතුය. ඒ ඡුන්දය සඳහා ජනතාවගේ සහාය ලබා ගත යුතුය. එසේ නම් ජනතාවට හෙණ ගැහුවත් කම් නැත. කසිප්පුකාරයන්ගේ ඉල්ලීම වෙනුවෙන් ජනතා පුත‍්‍රයා යමක් කළ යුතුය. අරුන්දික ඇමැතිතුමාත් පොලිසියෙන් ඒ ඉල්ලිම කරන්නේ ඒ නිසා බව පැහැදිලියි. එහෙත් විෂ සහිත කසිප්පු පානය කිරීමෙන් හුඟක් මිනිසුන්ගේ ජීවිතවලට වන හානිය, පවුල් සංස්ථාව බිඳවැටීම ගැන කාටවත් අමාරුවක් නැති බව පෙනී යන්නේය. කසිප්පු පෙරීමට විකිණීමට නීතියෙන් අවසරයක් නැත. පිටකොන්දක් ඇති නිලධාරියකුට නියෝජ්‍ය ඇමැතිවරයාගේ ඒ ඉල්ලීමට අනුමැතිය දිය නොහැක. පිටකොන්දක් ඇති නීතිගරුක පොලිස් නිලධාරියකු වූ එරික් පෙරේරා අරුන්දික ඇමැතිතුමාගේ ඉල්ලීම ප‍්‍රසිද්ධියේම ප‍්‍රතික්‍ෂේප කරන්නේ ඒ නිසාය.

තම අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ නොවූ නිසා අරුන්දික ඇමැතිතුමන් සහ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා අතර නොහොඳ නෝක්කාඩු වීමක් ඇතිව තිබුණේය. මේ විරසකය බෝම්බයක් බවට පත්ව පුපුරා යන්නට වැඩි දවසක් ගත වුණේ නැත.

විෂය භාර ඇමැති සරත් වීරසේකර මහතා වෙත නියෝජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මැතිඳානන් ලිපියක් යවමින් එරික් පෙරේරාගේ දූෂණ සොයා බලා ඔහු වහාම මාරුකර යවන ලෙස ඉල්ලා සිටියේ ඉන් පසුවය.

නියෝජ්‍ය ඇමැති අරුන්දික මැතිඳානන් යැවූ ලිපියේ සඳහන්ව තිබූ ආකාරයට සහකාර පොලිස් අධිකාරි එරික් පෙර්රා යනු වෙන්නප්පුවේ පාතාල මැරයන් ඇසුරු කරන, උන්ගෙන් ජරාව කන දූෂිත නිලධාරියෙකි.

එහෙත් වෙන්නප්පුවට හිසරදයක් වූ ඕලූමරා නමැති පාතාල මැරයා අල්ලා, සිරගත කිරීමට කටයුතු කළේ කවුරුන්ද යන්න අරුන්දික මැතිඳානන්ට අමතක වීම පුදුමයකි. ඕලූමරා බිහිකළේ, පෝෂණය කළේ මේ ප‍්‍රදේශයේ කුමන දේශපාලනඥයාද යන්න අපි නොදනිමු. එහෙත් මේ පාතාල මැරයා වධකාගාර පවත්වාගෙන යමින් කුඩු විකුණමින් කප්පම් ගනිමින් මුළු ප‍්‍රදේශයටම පිළිලයක් වී ජීවත් වූ අයකු බව නම් අපි දැන සිටියෙමු.

එරික් පෙරේරාට ඇති බිය නිසා ඕලූමරා අධිකරණයෙන් ඇප නියම කළ ද ඇප ලබාගෙන බන්ධනාගාරයෙන් නිදහස ලබා ගෙන ආවේ නැත. ඇප ලබා ගන්නවාට වඩා තම ජීවිතය ආරක්‍ෂා කර ගැනීම වටිනා බව ඔහු සිතා සිටියා විය යුතුය. වසර එකහමාරකට වැඩි කාලයක් ඕලූමරා මීගමුව බන්ධනාගාරයට වී කාලය ගත කළේ තම ආරක්ෂාව ගැන සිතාගෙන. එහෙත් එරික් පෙරේරා වෙන්නප්පුවෙන් මාරුකර යවා පැය 48 ක් ගත වන්නටත් පෙර ඕලූමරා ඇප ලබාගෙන නැවත වෙන්නප්පුවට ආවේය. එසේ නම් වෙන්නප්පුවේ සිටින එකම පාතාල මැරයා වූ ඕලූමරා එරික් පෙරේරා සමග දීග කෑවාය යන චෝදනවා පිළිගත හැකිද? අරුන්දික මැතිඳුන් කළ චෝදනාව නිකම්ම නිකන් පදනම් විරහිත එකක් බවට ඔප්පු කිරීමට තවත් කරුණු අවශ්‍ය නොවන්නේය.

එමෙන්ම වෙන්නප්පුවේ අහිංසක කසිප්පු කාරයන් අල්ලා උන්ට කුඩු බෝම්බ දමා අධිකරණය වෙත ඉදිරිපත් කර බන්ධනාගාරගත කරන බවට ද එරික් පෙරේරා වෙත චෝදනා එල්ල වී තිබුණේය. නියෝජ්‍ය ඇමැතිවරයා එරික් පෙරේරා මාරුකර යැවීමට කළ ඉල්ලීම සහිත ලිපිය හරියට මොන්ටිසෝරි දරුවකු ලියූ ලිපියක් හා සමානය. පදනම් විරහිතව ඕනෑම අයකුට ඕනෑම චෝදනාවක් කළ හැකිය. වැදගත් වන්නේ එය සාක්ෂි සහිතව ඔප්පු කිරීමය. කිසිම පදනමක් නැති කිසිම සාක්ෂියක් නැති මේ ලිපිය විෂය භාර ඇමැතිවරයා විසින් භාරගෙන තිබුණේය. අවසානයේ අරුන්දික ප‍්‍රනාන්දු මැතිඳුන් ප‍්‍රමුඛ වෙන්නප්පුවේ කසිප්පු ව්‍යාපාරිකය්නගේ සටන ජයග‍්‍රහණය කළේය.

ඇමැති සරත් වීරසේකර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා කොළඹට මාරුකර යවා තිබුණේය. එරික් යටතේ තිබූ විශේෂ මෙහෙයුම් ඒකකය විසුරුවා හැර එහි නිලධාරීන් හතර අතට මාරු කර යැවූහ. එහෙත් ඇමැති සරත් වීරසේකර මහතා කියා සිටියේ එරික් යටතේ තිබූ විශේෂ ඒකකය විසුරුවා හැරීමක් නොකළ බවයි. රාජකාරිය අකුරට ඉෂ්ට කිරීමේ වරදට එරික් පෙරේරා වෙන්නප්පුවෙන් පන්නා දමද්දී විෂය භාර ඇමැති සරත් වීරසේකර මහතා කියා සිටියේ මේ නිලධාරියාට එරෙහිව විවිධ චෝදනා ඇති බවයි. මේ පිළිබඳව ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී මෙන්ම විවිධ මාධ්‍ය සාකච්ඡා ගණනාවකදීම කියා සිටියේය. එරික් පෙරේරා රාජකාරි කළේ තම උපන් ගම වූ වෙන්නප්පුවේ බවය. ඔහු අධ්‍යාපනය ලැබුවේ වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයේ බවය.

උපන් ගමේ සහ අධ්‍යාපනය ලැබූ පාසල පිහිටි ප‍්‍රදේශයේ රාජකාරි කරද්දී යම් යම් වැරදි සිදුවන බව සරත් වීරසේකර මහතා ප‍්‍රසිද්ධියේ කියා සිටියේය. එය මාර කතාවකි. නීතිගරුකව රාජකාරි කරන නිලධාරියකුට තම උපන් බිම අධ්‍යාපනය ලැබූ පාසල පමණක් නොව අම්මා තාත්තා වුව ද වැරද්දක් කරයිනම් එය වරදක් ලෙස දැකි හැකි අයකු වන්නේය. එරික් පෙරේරා ද එවැනිම නීතිගරුක නිලධාරියකු බව මේ වනවිට ඔප්පු කර හමාරය. සරත් වීරසේකර මහතා කර තිබූ ඒ කතාව ඉතාම අසාධාරණය. එය එරික් අධ්‍යාපනය ලැබූ ජෝෂප් වාස් විද්‍යාලයට කළ අවමානයකි.

අනෙක් කරුණ වන්නේ වෙන්නප්පුව එරික් පෙරේරා උපන්ගම නොවීමය. ඔහු උපන්නේ දංකොටුවේය. එසේ නම් සරත් වීරසේකර මහතාගේ නිගමනයට අනුව එරික් පෙරේරාට මීගමුවේ ද රාජකාරි කළ නොහැක. ඒ මන්ද යත් එරික් පෙරේරා වර්තමානයේ පදිංචිව සිටින්නේ මීගමුව ප‍්‍රදේශයේ නිසාය.

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරාට එරෙහිව විමර්ශනයක් පැවැත්වෙන බව ඇමැතිවරයා පුන පුනා කියා සිටිය ද මේ වනතුරු එවැනි විමර්ශනයක් ආරම්භ කර ඇති බවක් දැන ගන්නට නැත.

එරික් පෙරේරාට එරෙහිව චෝදනා ඇත්නම් ඒ සියල්ල වහාම විමර්ශනය කළ යුතුය. එහිදී එරික් පෙරේරා වරදකරුවකු වී ඇත්නම් ඔහුට දඬුවම් ලබාදිය යුතුය. විනය කි‍්‍රයාමර්ග ගත යුතුය.

එසේ නොකර මේ නිලධාරියාට චෝදනා ඇති බව කියමින් තැන් තැන්වල දේශන පැවැත්වීම එරික් පෙරේරාට පමණක් නොව පොලිසියේ ඉතිරිව සිටින කශේරුකාවක් ඇති නිලධාරීන් කීපදෙනාට ද කරන මහා අසාධාරණයකි.

රටේ බහුතරයක් නීතිගරුක පුරවැසියන් සිතුවේ අසාධාරණයට එරෙහිව සටනක් කළ එරික් පෙරේරා වෙනුවෙන් විෂය භාර ඇමැති සරත් වීරසේකර මහතා හෝ පෙනී සිටිනු ඇතැයි කියාය. එහෙත් සිදු වෙමින් තිබෙන්නේ කිසිවකුත් නොසිතූ කිසිවකුත් නොපැතූ දෙයකි. සත්‍ය දැක දැක බලධාරීන් එය නොදැක්කා සේ සිටීම මොන තරම් පහත් අසාධාරණ කි‍්‍රයාවක්ද? පොලිසිය භාර ඇමැති සරත් වීරසේකර ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්වරුන්ගේ සිට රජයේ බහුතරයක් දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රට ජාතිය බේරා ගැනීමේ උදාර සටනට දායකත්වය දුන් රණවිරුවන්ය. මේ රණවිරුවන් බලයට පත් වනවිට අප සිතා සිටියේ මෙරට පහත් දේශපාලකයන්ට යටත් නොවන නීතිගකරු යහපත් සමාජයක් ඇති සුරපුරක් කරනු ඇතැයි කියාය.

එහෙත් මේ රටේ කුජීත දේශපාලනඥයන්ගේ කි‍්‍රයාකාරකම් ඉදිරියේ මේ රණවිරුවන්ගේ තරුපටි ගැලවී යන ආකාරය ජනතාව බලා සිටින්නේ දැඩි පිළිකුලෙන් යුතුවය. අප‍්‍රසාදයෙන් යුතුවය.

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මාරු කර යැවීමෙන් පසු වෙන්නප්පුව දංකොටුව සුරපුරයක් බවට පත් වෙමින් තිබෙයි. දේශපාලන ප‍්‍රජාවට අවශ්‍ය කරන ගණිකා නිවාස, සම්බාහන මධ්‍යස්ථාන නැවතත් වෙන්නප්පුව පුරා බිහිවෙමින් තිබෙයි.

නිදහස ලබා පැමිණි ඕලූමරලා නැවතත් සිය කාර්යභාරය ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටියි. වෙන්නප්පුවේ දංකොටුවේ සුලූ පරිමාණ කසිප්පු නිෂ්පාදන කර්මාන්ත ගෘහස්ථ මට්ටමින් ආරම්භ වෙමින් තිබෙයි. යන්තම් ජීවිතේ ගැටගසා ගෙන ජීවත් වන ජනතාවට මේ ප‍්‍රවෘත්තිය ඉතාම සතුටුදායක එකක් වනු නොවනුමානය. වෙන්නප්පුවේ ජනතා නියෝජිතයන් කසිප්පුකාරයන්, කුඩුකාරයන්, පාතාලයන් දැන් සිටිනේ පස්වනක් පී‍්‍රතියෙන් පිනා ගොසින්ය. හැට නව ලක්ෂයක් ජනතාව මේ රජය බලයට පත් කිරීමට සිය වටිනා ඡුන්දය පාවිච්චි කළේ රට යහමාර්ගයට ගෙන තීතිගකරු සමාජයක් බිහි කරනු ඇතැයි සිතාගෙනය. ඉන්නට හිතෙන රටක් බවට පත් කරනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුවය.

ජනාධිපති ධුරය භාර ගැනීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව හමුවේ කියා සිටියේ රාජ්‍ය නිලධාරීන්ට කිසිම ආකාරයක දේශපාලන බලපෑමක් ඇති වීමට ඉඩ නොතබන බවයි. රාජ්‍ය නිලධාරියාට නීතිය අකුරට කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රසිද්ධියේම පොරොන්දු වුණේය.

එහෙත් දැන් දැන් සිදුවන්නේ ඒ දෙය දැයි සැක සහිතය. සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මාරුකර යවා ඔහු යටතේ තිබූ විශේෂ ඒකකය විසුරුවා හැරීම පිළිබඳ සිද්ධිය මේ වනවිට දේශපාලන මුහුණුවරකට හැරවීමට දේශපාලනඥයන් උත්සාහ කරමින් සිටියි.

එරික් පෙරේරා මාරුකර යැවීමට එරෙහිව රටපුරා ගොඩනැෙඟමින් තිබෙන විරෝධය රජය අපහසුතාවට ලක් කිරීමට සිදු කරන කි‍්‍රයාවක් බවට ඔප්පු කිරීමට මේ අඳබාල දේශපාලනඥයන් කටයුතු කරමින් සිටියි.

ජනාධිපතිතුමනි, තවමත් රටේ නීතිගරුක පුරවැසියන්ට ඔබ කෙරෙහි ඇත්තේ මහත් වූ බලාපොරොත්තුවකි. මේ රට යහමඟට ගනු ඇතැයි යන විශ්වාසය අපගේ සිත්වලින් පහව ගොස් නැත.

නීතිය රකින නීතිය අකුරට කි‍්‍රයාත්මක කරන එරික් පෙරේරා වැනි නිලධාරීන් රැක ගැනීම ඔවුන් දිරිමත් කිරීම සඳහා ඔබතුමන් මැදිහත් විය යුතුය. එසේ නොවුවහොත් ඉන්න හිටින රටක් නිර්මාණය වනවා වෙනුවට යන්න හිතෙන රටක් නිර්මාණය වන්නේ හැටඅට ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තු සුණුවිසුණු කරමින් බව කීමට අටුවා ටිකා අවශ්‍ය නැත.

– divaina
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka