gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බලපත‍්‍රයට මුවා වී දේශපාලඥයෙක් කඩොලාන ගොඩකරයි

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලනඥයකුගේ මැදිහත්වීම මත ගාල්ල,කොග්ගල ඔය ආශ්‍රිත කඩොලාන සහිත පරිසර පද්ධතියක් සහිත ඉඩමක් ගොඩ කිරීමේ කටයුතු සිදුවන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයාට ඊයේ (10 වැනිදා) දැනුම්දීමෙන් පසුව එය වහා නතර කිරීමට ඔහු කටයුතු කළේය.

පරිසර නීති උල්ලංඝනය කරමින් කොග්ගල ඔය ආශ්‍රිත ඉඩමකට පස් පුරවා දැවැන්ත පරිසර විනාශයක් පසුගිය දිනවලදී සිදුවෙමින් පවතින අතර ජීවය සුරකිමු පරිසර එකමුතුව සහ ප්‍රදේශවාසීහු ඊට දැඩි විරෝධතාවක් දැක්වූහ.

ගාල්ල දිස්ත්‍රික්කයේ කතළුව – කිතගල්ල මාර්ගයේ පිහිටා තිබෙන අලවතුකිස්ස ප්‍රදේශය ආශ්‍රිත කඩොලාන සහිත පරිසර පද්ධතියක් මෙලෙස පස්දමා පිරවීම සිදු කෙරෙයි. මෙම ඉඩමේ එක් මායිමකින් කොග්ගල ඔය ගලායන අතර, අනෙක් මායිමෙන් කතළුව- කිතගල්ල මාර්ගය දිවෙයි. මෙම ඉඩමෙන් තුනෙන් එකක් පමණ අයත් වන්නේ කොග්ගල ඔයේ රක්ෂිත කලාපයට බව පරිසරවේදීන් පවසති.

මෙලෙස ගොඩ කරමින් පවතින ඉඩම අදාළ දේශපාලනඥයාට අයත් එකක් බවද පැවැසේ.

ප්‍රදේශයේ ගල් කොරියක් ආශ්‍රිත භූමියකින් ඉවත් කරනු ලබන පස් කියුබ් 1000 ක් ප්‍රවාහනය කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් බලපත්‍රයක් නිකුත් කර ඇති අතර, එම පස් ප්‍රවාහනය කර බැහැර කරනු ලබන්නේ කඩොලාන පරිසර පද්ධතියක් ආශ්‍රිත ඉහත ඉඩමටය. පස් කියුබ් 500 බැගින් අවස්ථා දෙකකදී පස් තොගය ප්‍රවාහනය කිරීම සඳහා මෙම ප්‍රවාහන බලපත්‍රය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර තිබේ.

මෙලෙස පස් බැහැර කිරීම නිසා කොග්ගල ඔය රක්ෂිත කලාපය ගොඩ කෙරෙන අතර දැනටමත් පස් කියුබ් 200 ක් පමණ බැහැර කර තිබෙන බව ජීවය සුරකිමු පරිසර එකමුතුවේ කැඳවුම්කරු සංජය ධනුෂ්ක පවසයි. මේ නිසා කඩොලාන පරිසර පද්ධතියට මේ වනවිට විශාල හානියක් සිදුවී ඇති අතර, කොග්ගල ඔය ආසන්නය දක්වාම පස් පිරවීම සිදුකර තිබේ.

“කොග්ගල ඔය ආශ්‍රිතව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් කොටස සමග පුද්ගලික ඉඩමක් තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පස් ප්‍රවාහනයට බලපත්‍ර නිකුත් කරනු ලැබූවත්, මෙහෙම ඔය ආශ්‍රිත පරිසර පද්ධතිය පස් වලින් පුරවන්න අවසරය දෙන්න බෑ. මෙම ඉඩම ආශ්‍රිතව පාරම්පරික ධීවර කර්මාන්තයේ නිරත අය ඔයට ගමන් කරන මාර්ගයත් පිහිටා තිබෙනවා. ඒ ආශ්‍රිතව ඔරු තොටුපොළත් පිහිටා තිබෙනවා. මෙලෙස පස් පිරවීම නිසා ධීවරයින්ගේ ගමන් මාර්ගයත් වැසී යනවා. අපි මේ පරිසර විනාශය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියටත්, ගාල්ල වාරිමාර්ග කාර්යාලයටත් දැනුම් දුන්නා. වාරිමාර්ග නිලධාරීන් ඊයේ (10 වැනිදා) මෙම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කර අපිට කියා සිටියා අදාළ පස් පිරවීමට විරුද්ධව නීතිමය කටයුතු කරන බවට”යැයි සංජය ධනුෂ්ක කීවේය.

කොග්ගල ඔය ආශ්‍රිත ඉඩමට පස් පිරවීම සම්බන්ධව දිගින් දිගටම මහජන විරෝධය එල්ලවීම නිසා ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් අහංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත. ඒ අනුව අහංගම පොලිසිය මැදිහත්ව අදාළ ඉඩමට පස් පිරවීම තාවකාලිකව නතර කිරීමට කටයුතු කර තිබේ.

ඉඩමට පස් පිරවීම සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් තිබියදී එය නතර කරන්නේ කෙසේදැයි විමසමින් අදාළ දේශපාලනඥයා විසින් අහංගම පොලිසියට දිගින් දිගටම බලපෑම් එල්ලකර ඇතැයිද අනාවරණය වේ.

කෙසේ නමුත්, යම් පරිසර පද්ධතියක් ආශ්‍රිත යම් සංවර්ධන කටයුත්තක් සිදුකරනු ලබන්නේ නම් මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසරය ලබාගත යුතු අතර, ඉඩමක් ගොඩ කරන්නේ නම් ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අවසරය ලබාගත යුතුය. නමුත්,මෙලෙස කොග්ගල ඔය ආශ්‍රිත ඉඩම ගොඩ කරනු ලබන්නේ එම කිසිදු ආයතනයක අවසරයකින් තොරව බවද පරිසරවේදීහු පවසති.

මෙම අනවසර ගොඩ කිරීම සම්බන්ධව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොලට ඊයේ (10 වැනිදා) අප දැනුම්දුන් අතර සභාපතිවරයා කියා සිටියේ අදාළ සිද්ධිය පිළිබඳව වහාම සොයා බලන බවය. ඊට ස්වල්ප මොහොතකට පසුව සභාපතිවරයා අප සමග කියා සිටියේ අදාළ සිදුවීම සත්‍යයක් බවත්, වහාම ඉඩමට පස් පිරවීම නතර කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවත්ය.

“භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් අවසරය ලබාදී තිබෙන්නේ ගල් කොරිය ආශ්‍රිත භූමියෙන් ඉවත් කරන පස් ප්‍රවාහනය කිරීම සඳහා පමණයි. එම ඉඩම එක්තරා දේශපාලනඥයෙකුට අයත් ඉඩමක් බව පැවසෙනවා. මේ ඉඩම පිහිටා තිබෙන්නේ කොග්ගල ඔයට යාබදවයි. මෙලෙස ඔවුන්ට හිතූ මනාපේ ඉඩම් පුරවන්න බෑ. ඒ සඳහා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවෙන් අවසරය ලබාගත යුතුයි. එමෙන්ම,මධ්‍යම පරිසර අධිකාරියෙන්ද අවසරය ලබාගත යුතුයි. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ඉඩම් ගොඩකරන්න අවසරය ලබාදෙන්නේ නෑ. වහාම මෙම ඉඩම ගොඩ කිරීම නවත්වන්න නිලධාරීන්ට උපදෙස් දුන්නා”යැයි සභාපතිවරයා කීවේය.

– Aruna


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka