gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටම ලෑස්ති වෙන්න: මෙන්න පත්තු වෙන්න යන ජිනීවා බෝම්බය

මෙවර ශ්‍රී ලංකාවට හිමිවුණේ ඉතිහාසගතවන පරාජයක්. පසුගිය එම ඉතිහාසයේ කවදාවත් ඡන්ද 11කට ශ්‍රී ලංකාව වැටිලා නැහැ. අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද ගණනාවකට පසුගිය කාලය පුරාම මුහුණ දීලා තිබෙනවා. මෙවර 2021 වසරේදී ශ්‍රී ලංකාව ලබාගත්තු ඡන්ද ප්‍රමාණය තමයි මෙතෙක් අඩුවෙන්ම ලබාගත්තු ඡන්ද ප්‍රමාණය. මීට පෙර සෑම වසරකදීම මේ ප්‍රමාණයකට වඩා ඡන්ද අපි ලබාගත්තා. ඡන්දය දුන් නැති රටවල් 14ක් තිබෙනවා. ඒ කියන්නේ ඒ රටවල් අපට ඡන්දය දුන්නා නම් අපි ජයග්‍රහණය කරනා. වෙනදා අපට ඡන්දය දෙන නොබැඳි ව්‍යාපාරයට අයත් රටවල් රැසක් තමයි මේ පාර අපට ඡන්දය නොදී තිබෙන්නේ. මේවා බාහිර රටවල් නෙවෙයි. සමාජවාදී රටවල්, ප්‍රජාතන්ත්‍රවාදී රටවල් මේ අතර තිබුණා. මේ නිසා මෙවර අපට පෙර තිබුණු ඡන්ද පදනම පවා නැතිවී ගියා. එනම් යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය දීලා තිබුණා. ඒ අතරේ විපක්ෂව රටවල් 11ක් ඡන්දය ලබා දී තිබුණා. මේ නිසා ශ්‍රී ලංකාවට විශාල පරාජයක් අත්වුණා.

ශ්‍රී ලංකාවට ඉතිහාසගත පරාජයක් අත්වුණේ යැයි කියන ඔහු කවුද? ශ්‍රී ලංකාවේ බොහෝ පිරිස් හොඳින් හඳුනන ඔහු ආචාර්ය දයාන් ජයතිලකය. එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජිත සහ ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයකුද වන ඔහු ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඉතා හසළ අවබෝධයක් ඇති විද්වතකුද වෙයි. ඔහු ප්‍රවීණ දේශපාලන විචාරකයකු මෙන්ම ග්‍රන්ථ කතුවරයකුද වෙයි. මෙයට දින කිහිපයකට පෙර නිමාවට පත්වුණු අප රටත්, ජාත්‍යන්තරයත් මහත් ආන්දෝලනයකට ලක්කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සභා වාරයේදී ශ්‍රී ලංකාව එල්ල කරගෙන පැවැත්වූ ඡන්ද විමසීමට අදාළව ආචාර්ය ජයතිලක තම අදහස් මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේය. පසුගියදා අවසන් වුණු එම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර, ශ්‍රී ලංකාවට හිමිවූයේ ඡන්ද 11ක ප්‍රමාණයක් පමණි.
මෙම අර්බුදය පිළිබඳව ආචාර්ය දයාන් ජයතිලක විශ්ලේෂණාත්මකව කරුණු දක්වා සිටින්නේ මෙසේය.

‘අද රාජ්‍ය පාර්ශ්ව විවිධ කතා කියනවා. ඡන්දය නොදී හිටපු රටවල් 14 අපේ ගොඩට දාලා හදාගන්න තිබුණා නම් ඒ අය අපට ඡන්දය දෙනවානේ. ඒත් එහෙම ඡන්දය දාන්නේ නැහැනේ. ඔය ඡන්දය නොදීපු රටවල් 14 අර පැත්තට ඡන්දය දෙන්න තිබුණා. අපිට වුණත් ඡන්දය දෙන්න තිබුණා කියලා කියන්න පුළුවන්. ඒත් ඒ අය ඡන්දය නොදී සිටියේ ඔය දෙපැත්තටම අකැමැති නිසා. අපි හුඟක් හොඳින් මතක තියාගන්න ඕනෑ ඔය රටවල් 14ක් බහුතරයක් මෙයට පෙර වතාවන් ගණනාවකදීම ශ්‍රී ලංකාවට ඡන්දය දුන්නු රටවල් බැව්. ඉන්දියාව සහ නේපාලය පමණක්ම අරගෙන බලන්න. ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. මේ රටවල් අපෙන් ඈත්වෙන විදියට පසුගිය කාලයේ වත්මන් රජය කටයුතු කළා. මේ අවස්ථාවේදී මෙම තත්ත්වයට මුහුණ දීමට රජයට යම් විකල්පයක් ඉදිරිපත් කරන්න තිබුණා. ඒත් රජය ඒක කළේ නැහැ. ඉතින් කවුද අපිට ඡන්දය දෙන්නේ. අවසානයේදී යෝජනාව සම්මත වුණා. මෙම තත්ත්වයට මුහුණ දීමට රජය පසුගිය කාලයේ නිසි ක්‍රමවේදයක් අනුගමනය කළේ නැහැ.’

පසුගිය කාලය තුළදී වත්මන් රජය අනුගමනය කළ සමාජ ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටීන් මෙවැනි තත්ත්වයක් ඇති වීමට මාර්ගය එළිපෙහෙළි කළ බැව්, ආචාර්ය දයාන් ජයතිලක අවධාරණය කර සිටියි. කොවිඩ්-19 රෝගී තත්ත්වයෙන් මියයන මුස්ලිම් ජාතිකයන් බලාහත්කාරී ලෙස ආදාහනය කිරීම, ඉස්ලාමික කාන්තාවන්ගේ බුර්කා තහනම ගැන රජයේ ප්‍රධානීන් අදහස් දැක්වීම, මද්රාසා පාසල් සහ ඉස්ලාමික පොත්පත් ගැන ගත් තීරණ සහ තවත් කරුණු කිහිපයක්ම මෙම තත්ත්වයට ඉතා ප්‍රබලව බලපෑම් කළ බැව් ආචාර්ය ජයතිලක ප්‍රකාශ කර සිටියි. මෙතෙක් කාලයක් ශ්‍රී ලංකාව සමඟ සබඳකම් පැවැත්වූ මුස්ලිම් රටවල් කිහිපයක්ම මේ නිසා අමනාපකාරී තත්ත්වයකට පත්විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරියේදී ශ්‍රී ලංකාවට එරෙහිව නඩු තීන්දු ක්‍රියාත්මක කිරීමට බලයක් නැතැයි, රාජ්‍ය පාර්ශ්ව විසින් සිදුකරනු ලබන ප්‍රකාශය පිළිබඳව ආචාර්ය ජයතිලක කියා සිටින්නේ අපූරු කතාන්දරයකි.

‘දැන් මේ යෝජනාව සම්මත වුණා. ඉන්පසුව සිදුවන්නේ එය ක්‍රියාත්මක වීමයි. ඒක වෙන්නේ මෙහෙමයි. ඉදිරියේදී මානව හිමිකම් කොමසාරිස්ගේ කාර්යාලය තුළ ශ්‍රී ලංකාව ගැන ක්‍රියා කිරීමට වෙනම කාර්යාලයක් ස්ථාපිත කෙරෙනවා. මෙම කාර්යාලය මගින් ඉදිරියේදී නඩුවලට අවශ්‍ය වන සියලු කටයුතු සම්පාදනය කෙරෙනවා. ඉන්පසුව විවිධ රටවල්වල අධිකරණයන්ට මේ තොරතුරු යොමු කරනවා. ඒ විතරක් නෙවෙයි නඩු පැවරීමට අවශ්‍ය මූලෝපාය පවා මෙම කාර්යාලය මඟින් ලබා දෙනවා. ඒ ක්‍රියාවලිය ගැන යෝජනාවලියේ සඳහන් වෙනවා. ඒ නිසා ඕක මහා මණ්ඩලයට යන්න ඕනෑ නෑ. ආරක්‍ෂක මණ්ඩලයට යන්න ඕනෑ නැහැ කියන කතාව. ඒත් අපි තේරුම් ගන්න ඕනෑ සැප්තැම්බර් 22 දාට පෙර අපි යම් ක්‍රියාවලියක් අනුගමනය කරන්නට ඕනෑ. එහෙම නැති වුණොත් එක, එක රටවල්වලදී අපට විරුද්ධව නඩු පවරනවා. ඒ තත්ත්වය නවත්වන්න කාටවත් බැහැ. මේක ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාවක් සම්මත වීමක් නෙවෙයි. ඒ මොකද අපි කවුරුවත් ගිහිල්ලා කාගේවත් මානව හිමිකම් උල්ලංඝනය කරලා නැහැනේ. මෙය ශ්‍රී ලංකාවේ එක්තරා පාලක ස්ථරයකට විරුද්ධවයි ගොඩනැඟී ඇත්තේ. අපට කියන්නම් වාලේ කියන්න බැහැ අපි මේවා ගණන් ගන්නේ නැහැ කියලා. එහෙම වුණාම වෙන්නේ තවත් ප්‍රශ්නවලට මුහුණ දීමටයි. ඒ නිසා වහාම රජය මැදිහත්වීමෙන් මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට නිසි ක්‍රමවේදයක් සැලසීම ඉතාමත්ම ඉක්මනින් සිදුකළ යුතුයි’ යැයි ආචාර්ය ජයතිලක අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලේකම මණ්ඩලයට පසුගිය 2021 පෙබරවාරි 19දා බාර දෙන ලද කෙටුම්පත නම් කර ඇත්තේ ‘ශ්‍රී ලකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය යනුවෙනි. මෙම යෝජනාවලියේ යෝජක කණ්ඩායම ලෙස රටවල් 6ක් ඉදිරිපත්ව ඇති අතර, මහා බි්‍රතාන්‍ය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසඩෝනියාව, මලාවිය සහ මොන්ටිනීග්‍රෝව එම රටවල් වෙයි. මෙම විශේෂ කෙටුම්පත ප්‍රාරම්භක ඡේද 15කින්ද, සක්‍රීය ඡේද 16කින්ද සමන්විතය. මෙම යෝජනාවලියෙන් ප්‍රධානතම යෝජනා 7ක් දැක්වෙයි. ඒවා කෙරෙහි එකින් එක අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය සාධකයකි.

– දීර්ඝකාලීනව පවත්වාගෙන එන සංකේතාත්මක නඩු ඇතුළුව මානව හිමිකම් කඩකිරීම් සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමේ සියලු චෝදනා සම්බන්ධයෙන් කඩිනම්, අංගසම්පූර්ණ සහ අපක්‍ෂපාතී විමර්ශනයක් සිදුකරන බවත්, අවශ්‍ය වේ නම් නඩු පවරන බවත්, සහතික වන ලෙසට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

– ජාතික මානව හිමිකම් කොමිසම, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය සහ හානි පූර්ණ කාර්යාලය යන ආයතනවල ඵලදායී සහ ස්වාධීන ක්‍රියාකාරීත්වය සහතික කරන ලෙසද ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

– සිවිල් සමාජ ක්‍රියාකාරීන් ආරක්‍ෂා කරන ලෙසත්, ඔවුන්ට එරෙහිව එල්ලවන කවර හෝ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙසත්, අවහිරයෙන්, අනාරක්‍ෂාවෙන් සහ පළිගැනීම්වලින් තොරව ආරක්‍ෂාකාරී ලෙසින් සිවිල් සමාජයට කටයුතු කළ හැකි පරිසරයක් සහතික කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

– ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කරන ලෙසත්, ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක කිරීම සඳහා වන කවර හෝ නීතියක් හෝ වේ නම් ඒවා ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීතිවලට අනුකූල බවට සහතික වන ලෙසත්, ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. එනම් එහිදී ජාත්‍යන්තර ප්‍රමිතියට අදාළ විය යුතුය. සියලුම ආගමික ප්‍රජාවන්ට සිය ආගම ප්‍රකාශ කිරීමටත්, විවෘතව හා සමානයන් ලෙසින් සමාජයට දායක වීමටත් ඉඩකඩ සලසා දීමෙන් ආගමික නිදහස සහ බහුවිධතාව පෝෂණය කරන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

– එක්සත් ජාතීන්ගේ විශේෂ විධිනියාම දරන්නන්ට දක්වන සහයෝගය දිගටම පවත්වාගෙන යෑමටත්, මේතාක් ඉටු නොවූ ඔවුන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමටත් මෙයින් ශ්‍රී ලංකා රජය දිරිමත් කරනු ලැබේ.

– ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර ඇතිකරගන්නා එකඟතාවය මත, උක්ත පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ තාක්‍ෂණික සහාය ලබා දීමට එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සහ විශේෂ විධිනියාම දරන්නන් මෙයින් දිරිගන්වනු ලැබේ.

දැන් ඔබට නිසි තත්ත්වය පැහැදිලි වනු ඇතැයි සිතමි. මෙම ප්‍රධාන යෝජනා 07ට අමතරව තවත් උප යෝජනා රැසක්ද මෙම විශේෂ කෙටුම්පතට ඇතුළත්ය. කෙසේ හෝ මෙම ප්‍රධාන යෝජනා 07 තුළින්ම පෙනී යන්නේ මෙම ක්‍රියාවලිය ඉතාමත් බැරෑරුම් එමෙන්ම සංකීර්ණ එකක් බැව්ය. මෙවර යෝජනාවලිය මෙයට පෙර ඉදිරිපත් කරන ලද යෝජනාවලියන්ට වඩා බලවත් එකක් බැව් දේශපාලන සහ නෛතික අංශ විශ්ලේෂකයන් පෙන්වා දී ඇත. කෙසේ හෝ මෙම තීරණාත්මක තත්ත්වයට මුහුණ දීම සඳහා මෙම 2021 වසරේ ජනවාරි මාසයේ සිටම රජය විශේෂ වැඩපිළිවෙළක්ද දියත් කර තිබුණේය. එනම් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මගින් ඉදිරිපත් කර ඇති චෝදනා හා එම චෝදනා සොයා බැලීමට පත්කළ කමිටුව විසින් විශේෂ වාර්තාවක් සකස් කළ අතර, එම කමිටු වාර්තා අධ්‍යයනය කිරීම සඳහාද නව විශේෂ ත්‍රිපුද්ගල විමර්ශන කොමිෂන් සභාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පත්කරන ලදී. පසුගිය 2020 වසරේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙවැනි කොමිසමක් පත්කරන බැව් කවුන්සිලයට දැනුම් දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම කොමිසම පත්කරනු ලබන බැව් ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව එම විශේෂ කොමිසම පත්කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එච්. එම්. ඩී. නවාස් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව පසුගිය 2021 ජනවාරි 21 වැනිදා ජනාධිපතිවරයා විසින් පත්කරන ලදී. මෙය ත්‍රිපුද්ගල කමිටුවක් වන අතර, මෙතෙක් ප්‍රකාශයට පත්වුණු ශ්‍රී ලංකාව පිළිබඳව මානව හිමිකම් වාර්තාවන් කිහිපයක්ම පිළිබඳව කමිටුව අධ්‍යයනය කරයි. කෙසේ හෝ මෙවැනි තත්ත්වයක් වත්මන් රජය යටතේ තිබුණද, 2015 වසරේදී එකල යහපාලන රජය විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ යෝජනාවලිය පිළිගැනීමට කටයුතු කළේය. එසේම එකල විදේශ ඇමැති මංගල සමරවීර විසින් එම යෝජනාවලියට සම අනුග්‍රහය නිල වශයෙන් දක්වා තිබිණි. එසේම එකල එම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා 2017 වසරේදී කාල දිගුවක්ද ශ්‍රී ලංකා රජය ලබාගෙන තිබිණි. මේ සිදුවීම් තුළින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ, මානව හිමිකම් කඩවීම්, අතුරුදන් කිරීම් ආදිය සිදුව ඇති බවට ලක් රජය පිළිගෙන තිබෙන බැව් එකල මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කර තිබිණි. ඒ කෙසේ වුවද මෙම ‘මානව හිමිකම් නාටකය’ හැම වසරකදීම මෙම කාලයේදී කරළියට පැමිණෙයි.

කෙසේ හෝ මෙම මානව හිමිකම් නාටකය තවත් අවසාන වී නොමැත. මෙම වසරේ එම නාටකයේ ජවනිකා පෙළ නිමවී තිරය වැසීයනවාත් සමඟ අපේ රාජ්‍ය බලධර ඇත්තන්ද නිකම් සිටියේ නැත. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා රජයේ ස්ථාවරය කියා සිටින්නටද අමතක කළේ නැත.

‘එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලික සිද්ධාන්ත පවා ප්‍රතික්‍ෂේප කරමින් තමයි රටවල් 6ක් විසින් ශ්‍රී ලංකාවට එරෙහි මේ යෝජනාව ගෙනාවේ. ජගත් මානව හිමිකම් කවුන්සිලයටද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට එරෙහිව කටයුතු කළ නොහැකියි. මානව හිමිකම් ජගත් කවුන්සිලයේදී කුමන යෝජනා සම්මත කරගත්තද, ශ්‍රී ලංකාව අනුගමනය කරන දේශීය යාන්ත්‍රණය රටේ ජනතාව වෙනුවෙන් අඛණ්ඩවම ක්‍රියාත්මක කරනවා. රටේ ස්වෛරීත්වය සහ පැවැත්ම ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් මානව හිමිකම් ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිසමේ කටයුතු අඛණ්ඩවම සිදුකරගෙන යනවා. මෙවර සැසියේදී මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව ගැන ඉදිරිපත් කළ වාර්තාව අසාධාරණ කරුණු සහ අසත්‍ය සංඛ්‍යාලේඛන මත ඉදිරිපත්කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනි ලෙස මෙලෙස එක් රටක් එල්ල කරගෙන යෝජනා ඉදිරිපත් කරන්න බැහැ’ යැයි විදේශ ඇමැතිවරයා අවධාරණය කළේය.

ප්‍රියන්ත හෙට්ටිගේ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka