දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේශතුරෙයි චන්ද්‍රසේකරන් නොහොත් පිල්ලෙයාන් ට එරෙහිව මඩකලපුව මහාධිකරණයේ විභාග වන නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව අද (11) අධිකරණයට දැනුම් දී තිබේ.
රජයේ අධිනීතිඥ මාධව තෙන්නකෝන් මහතා ඒ බව අධිකරණයට දැන්වීය.
2005 නත්තල් දින දේවමෙහෙයට එක්වී සිටියදී මඩකලපුව ශාන්ත මේරි දේවස්ථානයෙදී වෙඩික්කරුවෙක් විසින් පරරාජසිංහම් මහතාව ඝාතනය කෙරිණි.
එම ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් සහ තවත් පස් දෙනෙක් ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. ඉන් පස් දෙනෙක් අද අධිකරණයේ පෙනී සිටි බව වාර්තා වේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පිළිබඳ ව ලබන බදාදා තම තීරණය ලබාදෙන බව මහාධිකරණ විනිසුරුවරයා දැන්වීය.
