පෙර පරිදිම බන්ධනාගාර තුළ ජාවාරම් සිදුවන බව විමල් විරවංශ මහතා මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් කළ ප්රකාශයෙන් හෙළිවන බව අසේල සම්පත් මහතා පැවසුවේය. පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ රැඳවියන්ගේ නිවැසියන්ට හෝ ඔවුන් බැලීම සඳහා අවස්ථාවක් නොමැති කාලවකවානුවක ඔවුන් සිවිල් සමාජයෙන් නොගැටී බන්ධනාගාර ආරක්ෂාව යටතේ සිටින විට එලෙස රිවස් පෙත්තක් බන්ධනාගාරය තුළට ගියේ කෙසේද යන ප්රශ්නය මතුවන බවයි ඔහු සඳහන් කළේ.
මෙවැනි තත්ත්වයක එසේ නම් එවැනි ජාවාරමකට ඇමති අලි සබ්රි, රාජ්ය ඇමතිනි සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ, බන්ධනාගාර කොමසාරිස් ඇතුළු මෙකී සියලුම දෙනා ඊට වගකිව යුතු වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
''අපි මොකෝ ගිහින් දෙන්නද රිවස් පෙත්තක්. බැහැනේ. ගෙනියන බත් එකේ ඇටේ ගානේ කූරු ගාලා බලනවා. දැන් අනිත් එක ඒවා ගෙනියන්නත් බැහැ. කිසිදු අමුත්තෙකුට රැඳවියෝ හමුවෙන්න බැහැ. අමුත්තන්ට රැඳවියෝ බලන්න බැරිනම් රැඳවියෝ සිවිල් සමාජය එක්ක මුහුවෙන්නේ නැත්නම් ඉන්නේ බන්ධානගාර රැකවරණයේ නම් කොහොමද රිවස් පෙත්ත බන්ධනාගාරය තුළට ගියේ.? කුණ්ඩලනී ශක්තියෙන්ද ගියේ? අපි අහන්නේ ඒක'' යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.