කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීමට භාවිතා කරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලක්ෂ තුනක ප්‍රමාණයක් මෙරටට ගෙන්වා තිබියදී හදිසි මිලදී ගැනීමක් වශයෙන් තවත් සුළු ප්‍රමාණයක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ටෙන්ඩර් කැඳවන්නේ මන්දැයි ප්‍රශ්නයක් මතුවන බව වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
"දෙවතාවකදී 50000 බැගින් මේ ක්ෂණික ප්‍රතිදේහජනක කට්ටල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රයෝජනය සඳහා ලබාගෙන තියෙනවා. ඊළඟට ලෝක සෞඛ්‍ය සංවිධානය ලක්ෂයක කට්ටල ප්‍රමාණයක් එවලා තියෙනවා, තවත් ලක්ෂයක ප්‍රමාණයක් ඔවුන් එවන්න තියෙනවා කියලා වාර්තා වෙනවා.
එතකොට මේ ප්‍රමාණය ගත්තාම ලක්ෂ තුනක වගේ ප්‍රමාණයක්. මං හිතන්නෙ මේ වෙනකොට අපි ක්ෂේත්‍රගතව ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 15000ක වගේ ප්‍රමාණයක් කරලා තියෙනවා. එතකොට මේ පරීක්ෂණ සිද්ධ කරපු ප්‍රමාණය ඉතාම කුඩා ප්‍රමාණයක් කියලා තමයි අපි විශ්වාස කරන්නෙ.
අපි ක්ෂණික ප්‍රතිදේහජනක කට්ටල ලක්ෂ තුනක පමණ ප්‍රමාණයක් ගෙනල්ලා තිබියදී නැවත මේ ඉතාම සුළු 500ක වගේ ප්‍රමාණයක් හදිසියේ බාහිර මිලදී ගැනීම් හරහා, ලෝකල් පර්චස් හරහා මිලදී ගැනීමට උත්සාහ කරන්නේ කුමන අවශ්‍යතාවයකටද කියන ප්‍රශ්නාර්ථය අපට මතුවෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල 500ක් මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මේ වනවිට ටෙන්ඩර් කැඳවා තිබෙන අතර එම ටෙන්ඩරයේ සඳහන් වන්නේ එසේ සැපයුම් කිරීමට ඉදිරිපත් වන සමාගම් අනිවාර්යයෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී තිබිය යුතු බවයි.
කෙසේවෙතත් එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කපිල ජයසිංහ මහතා පවසන ආකාරයට එකී රැපිඩ් ඇන්ටිජන් කට්ටල ගෙන්වීම සඳහා එහි ලියාපදිංචිය මේ වනවිට ලැබී ඇත්තේ මෙරට එක් සමාගමකට පමණි.
