ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට 2019 අප්‍රේල් 20 රාත්‍රී 8 ට පමණ ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂවරයා නිසි පියවර ගෙන නැති බවත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට රාජ්‍ය බුද්ධි සේවයට පැහැදිලි හැකියාවක් තිබූ බවත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂක , විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී පරාක්‍රම ලංකාපුර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේය.
ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට 2019 අප්‍රේල් මස 20 වැනි දින සවස ලැබුණු තොරතුර සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට රාජ්‍ය බුද්ධි සේවයට හැකියාව තිබූ අතර එම තොරතුර සම්බන්ධයෙන් හෝටල්වලට සහ දේවස්ථානවලට දැනුම් දීමේ හැකියාව ද රාජ්‍ය බුද්ධි සේවයටම තිබුණු බව ලංකාපුර මහතා කියාසිටියේය.
එමෙන්ම ආගමික නායකයින්ටද අදාළ තොරතුර දැනුම් දීමට හැකියාව තිබූ අංශ රාජ්‍ය බුද්ධි සේවය තුළම ක්‍රියාත්මක වූ බව කියා සිටි ඒ මහතා බුද්ධි නිලධාරීන් සිවිල් රාජකාරියේ ඒ අවස්ථාවේ සිට යොමු කළ යුතුව තිබුණේ යැයිද සඳහන් කරන ලදී.
''තොරතුර ලැබී පැය ගණනක් තිබුණා. ජීවිත බේරගන්න කටයුතු කරන්න ඕන. මාධ්‍යට ප්‍රකාශයක් කළ හැකියි. ඉතිහාසයේ අපි මෙවැනි මෙහෙයුම් කර තිබෙනවා. වෙලාව මදි නිසා දැනුම් දෙන්න නොහැකි නම් නිවෙස්වලට ගොස් හෝ දැනුම් දෙන්න ඕන. මේ තොරතුරු සම්බන්ධයෙන් අත්දැකීමක් තිබෙන්නේ බුද්ධි අංශයට. ඉහළට දැනුම් දෙනවාට වඩා අපිටම මෙහෙයුම් කරන්න තිබුණා. හෝටල් පල්ලි ආරක්ෂා කරන්න යොදන්න තිබුණා. මේක ඉහළට යොමු කළ එක ගැන මට පුදුමයි. ඇයි සිසිර මෙන්ඩිස් මහතාගෙන් අහන්නේ. අපියි විමර්ශන කර නිර්දේශ දිය යුතු වන්නේ'' යැයි හෙතෙම තවදුරටත් සඳහන් කළේ ය.
ලංකාපුර මහතා මේ බව කියා සිටියේ අගරදගුරු හිමිපාණන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා සිදු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.
මෙහිදී හිටපු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් නීතිඥ මධු ජයතිලක මහත්මිය ද ප්‍රශ්න විමසුවාය.
