gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘දිගින් දිගටම මාධ්‍යවේදීන් අභිරහස් ලෙස මිය යනවා..’ – SJB ලොක්කෙක් කියයි.. CIDට පැමිණිලි

ජාතික සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සමග එම පක්ෂයට සම්බන්ධ රාජ්‍ය මාධ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රසන්න දේශප්‍රිය සිල්වා යන මහත්වරු විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සිදුකළ අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ ලේක්හවුස් ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති චන්දන බණ්ඩර සහ එහි ලේකම් තිස්ස ධම්මික යන මහත්වරු ඊයේ (08) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

පසුගිය නොවැම්බර් මස 25 වෙනි දින ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සමග එම පක්ෂයට අනුබද්ධ රාජ්‍ය මාධ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරනු ලබන ප්‍රසන්න දේශප්‍රිය සිල්වා යන අය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්මින් මාධ්‍යවේදීන් වත්මන් රජය සහ ජනාධිපතිවරයා පත් වීමෙන් පසුව දිගින් දිගටම අභිරහස් ලෙස මාධ්‍යවේදීන් මිය යන බවට මාධ්‍යවේදීන් භීතියට පත් කරවන ආකාරයට අසත්‍ය සහ ද්වේශ සහගත කරුණු කිහිපයක් ප්‍රකාශ කර ඇති බවද එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

එමෙන්ම අන්තර්ජාලයේ යුටියුබ් හි Prasanna Deshapriya නම් චැනලයේ සහ ෆේස් බුක් ගිණුමේ Prasanna Deshapriya යන්නහි මෙම වීඩියෝව සංසරණය වෙමින් පවතින බවත් එම වීඩියෝව මගින් මාධ්‍යවේදීන් තුළ මරණ බිය ඇති කරවන අතර එවැනි ප්‍රකාශ තුළින් පවතින රජය කෙරෙහි අවිශ්වාසයක් සහ නීතියේ ආධිපත්‍ය පිළිබඳ විශ්වාසය බිඳ වැටීමක් සිදුවන බවද එම පැමිණිල්ල මගින් තව දුරටත් පෙන්වා දී ඇත.

එම පැමිණිල්ල මගින් ජාතික සමගි ජන බලවේගය පක්ෂයට සම්බන්ද රාජ්‍ය මාධ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රසන්න සිල්වා එම මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළ උදෘතයක්ද මෙසේ දක්වා ඇත.
“වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිතුමා පත් විමෙන් පසුව දිගින් දිගටම මාධ්‍යවේදීන් අභිරහස් ලෙස මිය යනවා. පුදුමයට කරුණ නම් මෙලෙස මිය යන මාධ්‍යකරුවන් මේ රජයට විරුද්ධව හඪ නගන අයයි. මේ රජයේ වංචා දූෂණ හෙළි කරන මාධ්‍ය කරුවන් මෙලෙස මිය යනවා. ක්‍රමක්‍රමයෙන් මාධ්‍යයට පීඩනය වැඩි වෙනවා. බලපෑම් වැඩිවෙනවා. එසේම ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාලා දඩයමක් ආරම්භ කර ඇති බවක් පෙනී යනවා. එසේම රජය විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන අකර්මන්‍ය කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කරනවා“

මෙලෙස මාධ්‍ය කරුවන්ට වත්මන් රජය සම්බන්ධයෙන් අවිශ්වාසයක් සහ ඉච්ඡා භංගත්වයක් ඇතිවන ආකාරයේ කරුණු ජාතික සමගිජනබලවේගයට සම්බන්ද රාජ්‍ය මාධ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රසන්න දේශප්‍රිය සිල්වාගේ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රකාශ අනුව ඇතිවිය හැකි බවත් ඔහු පැහැදිලිවම ජාතික සමගි ජනබලවේගයේ දේශපාලන උවමනාවක් ඉටු කරන බවද මෙම පැමිණිල්ල මගින් පෙන්වා දෙයි.

එසේම ඉදිරියේදී ජනමාධ්‍යවේදීන් අභිරහස් ලෙස ඝාතනය කිරීමේ හෝ අතරුදහන් කිරීමේ සැලසුමක් ජාතික සමගි ජනබලවේගය පක්ෂය විසින් සැලසුම් කර තිබේද යන්න පිළිබඳවද මාධ්‍යවේදීන් ලෙස සැකයක් මතු වන බවත් එබැවින් ජාතික සමගි ජන බලවේගය පක්ෂයට සම්බන්ධ මෙම වෘත්තිය සමිති නායකයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් සිදුකරන ලෙසද එම පැමිණිල්ල මගින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී. එම මාධ්‍ය සාකච්ඡාවේ සංගත තැටියක්ද පැමිණිල්ල සමග ලේක්හවුස් ප්‍රගතිශීලී සේවක සංගමය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලේක්හවුස් ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති මාධ්‍යවේදී චන්දන බණ්ඩර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේසේ පවැසීය…

ජනමාධ්‍ය වේදීන් අභිරහස් ලෙස මිය යනවා කියන කාරණය අසත්‍යයක්, එහෙම දෙයක් පේන්න නැහැ, එහෙම දෙයක් වෙන්නෙත් නැහැ. අපිට තිබෙන ගැටළුව එහෙම දෙයක් නොවන අවස්ථාවක සමගි ජනබලවේගයේ වෘත්තීය සමිති නායකයන් එහෙම භීතිකාවක් මතු කරන්නේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක කොටසක්ද කියා මාධ්‍යවේදියෙකු හැටියට මට සැකයක් මතු වෙනවා.

2005 සිට 2015 දක්වා පැවතුණ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පරාජය කිරීමට 2015 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ ප්‍රධානතම සටන් පාඨය වුයේ මාධ්‍යවේදීන් ඝාතනය කළා, පැහැර ගත්තා, මාධ්‍යවේදීන්ට හිරි හැර කළා කියන කාරණයයි.

එහෙම චෝදනා කරපු එදා යහපාලන ආණ්ඩුවේ හිටපු අද සමගිජන බලවේගය විදියට ඉන්න මේ කණ්ඩායම ඉදිරියේදී සැලසුම් සහගතත විදියට මාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සැලසුමක් තිබේද්?, මාධ්‍යවේදීන් පැහැර ගැනීමේ සැලසුමක් තිබේද කියන ප්‍රශ්නය සහ සැකය මතුවෙනවා.

ඊට හේතුව තමයි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය. එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේදී එක්තරා පුද්ගලයෙකුට එම ඝාතනයේ වගකීම පවරනවා. අන්න ඒ පුද්ගලයා අද සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක්. ඒ වගේම තමයි 88/89 කාලයේ කහ බළල්ලු, කළු බළල්ලු, ප්‍රා වගේ කල්ලි හදපු නායකයා අද සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක්. එතකොට මේ වගේ සැලසුම් සහගත ප්‍රහාරයන් සහ ඝාතන කුමන්ත්‍රණ කරන්න පුළුවන් නායකයෝ ජාතික සමගි ජනබලවේගය පක්ෂයේ ඉන්නවා.

ඒ නිසා අපිට සැකයක් උපදිනවා මේ වර්ථමානයේ සැලසුම් සහගත ලෙස මාධ්‍යවේදීන් පැහැරගෙන ඝාතනය කරලා එහි වගකීම ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව වෙත පැවරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ජාතික සමගි ජනබලවේගය පක්ෂයට තිබෙනවාද යන්න. ඒ වගේම තමයි මේ චෝදනා සිදුකරන වෘත්තීය සමිති නායකයා ලේක්හවුස් ජාතික සේවක සංගමයේ ලේකම්වරයායි. ඔහු ලේක්හවුස් ආයතනයේ සේවකයන් නොසන්සුන් ආකාරයට පත්වන අයුරින් අසත්‍ය පතුරවමින් ආයනයේ කාර්මික සාමය නැති කිරීමේ උත්සහයක නිරතව සිටිනවා.

2005 සිට 2015 දක්වා ලේක්හවුස් ආයතනය ස්ථාවර මුල්‍ය තත්ත්වයක තිබුණු ආයතනයක්. නමුත් 2015 සිට 2019 අග වන විට ලේක්හවුස් ආයතනය මූල්‍යමය වශයෙන් විනාශ කිරීමට පසුගිය පසුගිය සභාපතිවරයා ප්‍රමුඛ පාලනාධිකාරිය කරපු කටයුතු හේතු වුණා. උදාහරණයක් විදියට හිටපු සිළුමිණ කර්තෘ චාමර ලක්ෂාන් අභාවයට රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් පැවති නීතිය වෙනස් කරමින් හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ ලක්ෂාන්ගේ බිරිඳට ගෙවලා තිබුණා.

හිටපු සභාපතිවරයා ආරම්භ කළ රැස පුවත්පත 2018 වසරේ පමණක් ලේක්හවුස් ආයතනයට රුපියල් ලක්ෂ 1500ක් පාඩු කරා. ලේක්හවුස් ආයතනයේ වැසිකිළි 04ක් හදන්න රුපියල් එකකෝටි විසි ලක්ෂයක් වියදම් කරා. සභාපතිවරයාගේ කාමරයට කර්ටන් දමන්න රුපියල් ලක්ෂ 21ක් වියදම් කළා. සන්නාම ප්‍රවර්ධන සාමාන්‍යාධිකාරී වරියක් පත් කරලා රුපියල් ලක්ෂ 1500ක් පමණ විනාශ කරා. ලේක්හවුස් ආයතනය ඉදිරිපිට ඩිජිටල් රූපවාහිනී තිරයක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වියදම් කරා. ලේක්හවුස් පිළිගැනිමේ කවුන්ටරය ඉදිරිපිට පැරණි පුවත්පත් වීදුරු රඳවනය සඳහා රුපියල් ලක්ෂ 60ක් පමණ වියදම් කරා. ලේක්හවුස් ඉදිරිපිට වටරවුම අලංකරණයට පුද්ගලික ආයතනයකට වසරකට රුපියල් ලක්ෂ 21කට බදු දුන්නා. එහි මාසික නඩත්තු වියදමට මසකට රුපියල් 75000 ගාණේ ආයතනයකට ගෙව්වා.

මෙවැනි දුෂණ වංචා රැසක් හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේගේ පාලනාධිකාරිය යටතේ සිදු වෙද්දි වචනයක් කතා නොකර හිටපු එවකට ලේක්හවුස් ඡාතික සේවක සංගමයේ ලේකම්වරයා වන ප්‍රසන්න සිල්වා එම දූෂණ වංචාවලට එරෙහි නොවීමෙන් වක්‍රාකාරයෙන් ඊට සහයක් ලබාදී තිබෙනවා දැයි සැකයක් මතුවෙනවා.ඒ නිසා පසුගිය පාලන කාලයේ මුල්‍ය වශයෙන් ඇඳ වැටී තිබූ මේ ආයතනය වත්මන් පාලනාධිකාරිය යටතේ ක්‍රමවත්ව නැගි සිටින මොහොතක කොරෝනා වසංගතය නිසා මූල්‍යමය ගැටළු වලට මුහුණ දී සිටිනවා. එම මුල්‍යමය ගැටළු විසඳාගෙන ඉදිරියේදී සේවකයන්ට සියලු නොගෙවූ සියලු වරප්‍රසාද, දීමනා ගෙවීමට පාලනාධිකාරිය උත්සහ කරමින් සිටින මොහොතක දේශපාලන අරමුණු උදෙසා ලේක්හවුස් ආයතනයේ සේවකයන් අතර නොසන්සුන්තාවයක් ඇති කිරීමට ජාතික සේවක සංගමයේ ලේකම්වරයා උත්සහ කරමින් සිටිනවා. ඒ නිසා මේ පුද්ගලයා වෘත්තීය අයිතිවාසිකම් මුවාවෙන් අහිංසක සේවකයන් නොසන්සුන් තාවයට පත් කිරීම සම්බන්ධයෙනුත් පරික්ෂණ සිදු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ අවස්ථාවට ලේක්හවුස් ප්‍රගතිශීලී සේවක සංගමයේ ගයාන් බණ්ඩාර, අර්ජුන දිනේෂ්, සුමිත් ප්‍රසන්න, නලින් වීරසිංහ, අනුර කුමාර යන මහත්වරුද එක්ව සිටියහ.

– repoter


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka