වර්තමානයේ රට පත්ව ඇති තත්වය පිළිබඳව තමන් ද ඇතුළුව මෙතෙක් බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම වගකීම බාරගත යුතු බවත් අනුන්ට ඇඟිල්ල දිගු කරමින් සිටිනවා වෙනුවට සිදුවූ වැරදි පිළිබඳව සමාලෝචනය කරමින් ඒ වැරදි හදාගනිමින් ඉදිරියට යාමට තමන් ඇතුළු සමගි ජන බලවේගය කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
"මේ රටේ බිහිවුණු හැම ආණ්ඩුවකින්ම හැම පාලනයකින්ම අපි ඇතුළුව රාජ්‍ය පාලනයට සම්බන්ධ වුණු සියලු දෙනාම වර්තමානයේ අපේ රටේ තත්වය පිළිබඳව වගකියන්න ඕනෑ. දේශපාලන ප්‍රතිවාදීන්ට පමණක් ඇඟිලි දිගු කරන්නේ නැතිව පළමුවෙන්ම කරන්න ඕනෙ අපි අපිටම ඇඟිලි දික් කරගැනීම. ඒ කර්තව්‍යයේ මම නියැළී සිටිනවා. ඒ කර්තව්‍යයේ සමගි ජන බලවේගය නියැළී සිටිනවා.
කැඩපතක් ඉදිරියට ගිහිල්ලා සිදුවුණු අඩුපාඩුකම් අසාධාරණකම් ඌනතාවයන් වැරදි මේ හැම දෙයක්ම අවබෝධ කරගෙන අපේ වැරදි නිවැරදි කරගෙන, අපේ වැරදි පිළිබඳ ජනතාවගෙන් සමාව ඉල්ලලා අපි නැවත වරක් අලුත් ගමනක් ඔස්සේ පොදු ජනතාවගේ දෙපතුළ ළඟට ඇවිත් මේ රටේ අතිවිශිෂ්ඨ සංවර්ධන යුගය බිහි කරන්නට අපි සැදී පැහැදී සිටිනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (19) හාලිඇල ප්‍රදේශයේදී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව පැවති රැස්වීමක් අමතමිනි.