අයවැය විවාදයේදී මහජන නියෝජිතයන් විවාද කළයුත්තේ ජනතාව වෙනුවෙන් බවත් එහෙත් අද බොහෝදෙනා විවාදයේදී අදහස් දැක්වූයේ පබ්ලිසිටි සඳහා හෝ ජනාධිපතිවරයා අගමැතිවරයාට සතුටු කර ඇමති ධුරයක් ලබා ගැනීම වෙනුවෙන් හෝ පමණක් බව පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (20) අයවැය විවාදයේදී අදහස් දක්වමිනි. දිනකට ජනතා මුදල් රුපියල් ලක්ෂ 80 ක් වැය කරමින් පාර්ලිමේන්තුව රැස් කරන්නේ ජනතාව වෙනුවෙන් බවත්, එහෙත් මහජන නියෝජිතයන් එම මුදල් තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් භාවිතා කරන බවත් ඔහු පවසනවා.
1994 සිට මේ දක්වාම සිටියේ ශ්රීලනිපයේ හෝ ඊට සම්බන්ධ ජනාධිපතිවරුන් බවත්, එම කාලසීමාව තුළ වැඩිම කාලයක් ආණ්ඩු බලයේ සිටියේදී ඔවුන් බවත් පෙන්වා දෙන රන්ජන් රාමනායක මහතා ශ්රී ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසම හැඳින්වීමෙන්, ෆේල් කවුරුන්ද යන්න හොඳින්ම පැහැදිලි බව අවධාරණය කරනවා.
මහ බැංකු හොරුන් අල්ලන බව සඳහන් කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව අන්තිමේදී හොරුන් වෙනුවට විල්සන් කරු අත්අඩංගුවට ගන්නා තත්වයට පහතට වැටී ඇති බව රන්ජන් රාමානයක මහතා පවසනවා. අනෙක් පැත්තෙන් ජනතා මුදලින් සිල්රෙදි බෙදූ පුද්ගලයන් නිදහස් වන බවද මන්ත්රීවරයා පවසනවා.