අපරික්ෂාකාරි ලෙස රිය පදවා කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි මෝටර් රථ ප්‍රදර්ශනාගාරයකට බරපතළ හානි සිදු කිරීමේ චෝදනා එල්ල වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ දියණියක් රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
පොලිස් ඇප මත මුදා හැර සිටි සැකකාරිය වන රොෂානි මධුෂා රත්නායක නමැත්තිය නීතිඥවරු මාර්ගයෙන් අද (18) අධිකරණය වෙත පෙනී සිටි අතර එහිදී කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් කරුණු දක්වමින් පැවසුවේ සැකකාරියට රියදුරු බලපත්‍රයක් නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි.
මෙහිදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 19 වන වියේ පසුවන තම සේවාදායකයාව පෞද්ගලික විශ්වවිද්‍යාලයක ව්‍යාපාර පරිපාලන පිළිබඳ උපාධියක් හදාරන අතර ඇය රිය පැදවීම පිළිබඳව පුහුණුව ලබමින් සිටින බව කියා සිටියා.
සිය මිතුරකුගේ මෝටර් රථයක් පදවාගෙන යාමේදී තිරිංග වෙනුවට ඇක්ස්ලේටරය ඇය විසින් පෑගීම හේතුවෙන් එම බරපතළ අනතුර සිදු වී තිබෙන බව පෙන්වාදුන් නීතිඥවරයා හානියට පත් පිරිස් සමඟ සාකච්ඡා කර සුදුසු වන්දි ප්‍රතිපූර්ණය කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නා.
මෙහිදී අගතියට පත් මෝටර් රථ ප්‍රදර්ශන ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ සැකකාරිය සිදුකළ එම රිය අනතුර හේතුවෙන් තම ආයතනයට රුපියල් ලක්ෂ දෙසීයක පමණ පාඩුවක් සිදුව ඇති අතර ඒ සඳහා සුදුසු වන්දියක් තමන් අපේක්ෂා කරන බවයි.
සැකකාරිය පැදවූ රථයේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ද, අධිකරණයට කරුණූ දක්වමින් අනතුරින් තම මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බැවින් තමන්ට රුපියල් ලක්ෂ 350 ක පමණ පාඩුවක් සිදුව ඇති බව කියා සිටියා.
කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හිරෝෂි කාහිංගල මහත්මිය සැකකාරිය රුපියල් ලක්ෂ දෙකක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ අතර පැමිණිල්ල නැවත මාර්තු මස දෙවනදා කැඳවීමට නියම කළා.
