ආසන 160 ක මාර්ග 160ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භය ඇමති ජොන්ස්ටන් අතින් කපුදූව අන්තර් පිවිසුම අසලින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදවිප්‍රාප්තියේ පළමු වර්ෂ පූරණය නිමිති කොට ගෙන දිවයිනේ සියලුම ආසන වල එනම්,ආසන160ක මාර්ග 160ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භ උත්සවය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්
දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියේ කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා මුල් ගල තැබීමෙන් අද දින (2020.11.22 )සිදු කෙරිණි.
තවද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමගේ සංකල්පයක් පරිදි මාර්ග දෙපස පැල මිලියන 2ක් සිටුවීමේ වැඩ සටහනේ සමාරම්භ උත්සවයද
කපුදූව අන්තර් හුවමාරුව අසලදී ආරම්භ කෙරිණි.
මෙම සමාරම්භ උත්සවයන් සදහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිලිබද රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා, ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා, මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නිපුන රණවක මහතා ඇතුළු මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී විය.
දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය මඟින් ඉදිකරනු ලබන කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය දක්ෂිණ අධිවේගී මාර්ගයේ 130.6 වන කිලෝමීටර කණුව අසළ දී ආරම්භ වේ.
මෙම නව කපුදූව අන්තර් හුවමාරුව ඉදි කිරීම තුළින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා ජනතාවට පහසුවෙන් මාතර - හක්මන මාර්ගයට පිවිසීමේ හැකියාව ඇත .
මාස හයක් වැනි කාලයක් ඇතුළත මෙය ඉදිකර ජනාතාව වෙත ගමනාගමනයට විවෘත කිරීමට සැලසුම් සකස් කර ඇති අතර මේ සඳහා රුපියල් මිලියන 387.5 ක මුදලක් වැය වේ.
කටුනායක හා කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන රථවාහන වලට මෙම කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටවී කඹුරුපිටිය ප්‍රදේශයටත් මාතර ප්‍රදේශයටත් පහසුවෙන් ළඟා වීමට හැකියාව ඇත .මෙම නව කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිට මාතර නගරයට දුර කිලෝමීටර් 6 ක් සහ කඹුරුපිටිය නගරය දක්වා දුර කිලෝමීටර් 11 කි.
එසේම කඹුරුපිටිය සහ මාතර යන ප්‍රදේශවලින් කොළඹ දක්වා ගමන් කරන රථවාහන වලට මෙම අන්තර් හුවමාරු මධ්‍යස්ථානය හරහා දක්ෂිණ අධිවේගී මාර්ගයට ප්‍රවේශයක් ද ලබාගත හැක .
මීට අමතරව පොලතුගොඩ පාලම අසල සිට පහලවිටියල සමගි මාවත දක්වා වු මාර්ගයේ වැඩ ආරම්භ කිරීමටද මුල් ගල තබන ලදී.තවද හතමුණ හන්දියේ සිට බටුවිට ඌරපොල දක්වා මාර්ගය විවෘත කිරීමත් කුඩා නැගෙනහිර අපරැක්ක සිට උඩ අපරැක්ක උතුර දක්වා සාමපුර මාර්ගයත් වැලිහිඳ කොටවිල මාර්ගයත් ජනතා අයිතියට පත්කරන ලදි.