gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොවිඩ් නැවත ව්‍යාප්තිය ගැන ජනතාවට බැනලා වැඩක් නෑ, ආණ්ඩුව වගකීම බාරගන්න ඕන - ජවිපෙ

කොවිඩ් වෛරසය පරාජය කළ බවට පාරම් බෑ ආණ්ඩුව, නැවත සමාජය තුළ වෛරසය පැතිර යාමත් සමග එහි වගකීම ජනතාව මත පැටවීමට උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ නැවත කොවිඩ් වෛරසය ව්‍යාප්තියේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවයි.

ලෝකයේ කොරෝනා මර්දනය කළ දෙවැනි රට බවට පත් වූ බව පවමින් ආණ්ඩුවේ දේශපාලනඥයන් දැඩි ප්‍රචාරයක් ගෙනගිය බවත්, ඒ හරහා අවදානම පහව ගොස් ඇති බවට ජනතාව තුළ තහවුරුවක් ඇතිකළ බවත් මන්ත්‍රීවරයා පවසනවා.

වෛරසය මර්දනය පිළිබඳව ආණ්ඩුව අධි තක්සේරුවක සිටි බව දැන් හොඳටම පැහැදිලි බවයි විජිත හේරත් මහතා පවසන්නේ. දැන් තත්වය පෙරටත් වඩා භයානක වී ඇති බවත්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වී මේ වනවිට වෛරසය නැවත රටපුරා ව්‍යාප්ත වී ඇති බවත් පෙන්වා දෙන විජිත හේරත් මහතා පවසන්නේ මෙම අවදානමෙන් ජනතාව මුදා ගැනීම සඳහා ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවයි.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත ‍හේරත් මහතා,

'බ්‍රැන්ඩික්ස් සේවිකාවගෙන් අහම්බයෙන් මේ තත්වය හෙළිවූ බව සනාථ වී තිබෙනවා. ආණ්ඩුවේ මාධ්‍ය මෙන්ම විවිධ මාධ්‍ය ආයතන මේ සේවිකාවන් අපහාසයට, උපහාසයට පත් කරමින් ඇය පිට වරද පටවා අත සෝදා ගන්න උත්සාහ කළා. නමුත් චෝදනාව එල්ල විය යුත්තේ අවදානම අතහැර දමා සිටි ආණ්ඩුව පැත්තටයි. නමුත් මේ මතුවී තිබෙන කොරෝනා රැල්ලේ ඇය පළවැනියා නොවන බව සෞඛ්‍ය අංශ හෙළි කළා. බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ආයතනය තුළ පැනඩෝල් දීලා ඒ අයගෙන් වැඩ අරගෙන තිබෙනවා. මේ ආයතනය තුළට වෛරසය ගියේ කොහොමද කියන එක අදටත් හොයාගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් විවිධ මත තිබෙනවා. ආයතනයේ සේවකයන් තුළ පවා මේ සම්බන්ධයෙන් විවිධ මත පළකර තිබෙනවා.'

'පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 348 දෙනෙක් ඉන්දියාවේ වැඩකර ලංකාවට පැමිණි බව සනාථ වී තිබෙනවා. ඔවුන් විවිධ තැන්වල සිට නිරෝධායනයට ලක්වූ බව කියනවා. නමුත් මෙ අය අතරින් අන්තිමට පැමිණි කණ්ඩායම මුල් දින 14ක් තුළ පෞද්ගලික හෝටල්වල නිරෝධායනය වී තවත් දවස් 14ක් නිවාස තුළ නිරෝධායනය වූ බව බ්‍රැන්ඩික්ස් ආයතනය විසින්ම පිළිගෙන තිබෙනවා. නමුත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් කියන්නේ ඔවුන් යටතේ එවැනි පිරිසක් අධීක්‍ෂණය නොවූ බවයි. මේ නිසා ඉන්දියාවේ සිට පැමිණි සේවක සේවිකාවන් හරහා මේ වෛරසය පැමිණියාද නැත්නම් ලංකාව තුළම තිබිලා බ්‍රැන්ඩික්ස් ආයතනය තුළින් හෙළිවුණාද කියන ප්‍රශ්නය තවම විසඳුනේ නැහැ. දැනට ඒ සම්බන්ධයෙන් විවිධ මත පළ කෙරෙමින් තිබෙනවා.'

'මේ නිසා රටතුළ තවත් තැනකින් හෙට දවසේ පොකුරක් මතුවෙන්න පුළුවන්. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් විධිමත් ආකාරයට කරුණු සොයා බලා ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කළ යුතුව තිබෙනවා. කල් නොයවා ඉක්මනින්ම එය කළ යුතුයි. හෙට අනතුර වළක්වා ගන්න නම් වර්තමාන රැල්ල ඇතිවුණේ කොහොමද කියලා රටට පැහැදිලි කරන ලෙස අපි අවධාරණය කරනවා. දෙවැනි රැල්ල මතුවෙන්න හේතු වුණේ ආණ්ඩුවේ දැනුවත් කිරීම අත්හැරීම සහ මහජනතාව තුළ අධිකත්සේරුවක් ඇතිවීමට හේතුවන ප්‍රචාරයන් කිරීම නිසයි. මුල් අවස්ථාවේදී ජංගම දුරකතන මගින් සෞඛ්‍යාරක්‍ෂක ක්‍රම ගැන කරුණු පැහැදිලි කිරීමේ රිගිං ටෝන් පවා තිබුණා. පස්සෙදී ඒවා නතර කළා. කොරෝනා මර්දන බලකාය නිවැරදිව රැස්විය යුතුව තිබුණත් එය ඒ ආකාරයෙන්ම රැස් නොවූ බවට වාර්තා පළ වෙනවා.'

'මේ නිසා අලුත් තත්වය යටතේ පීඩාවට පත් වූ රෝගීන් හා ජනතාව වෙනුවෙන් ආණ්ඩුව මැදිහත් විය යුතුයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා ආරක්‍ෂක අංශ විශාල මැදිහත්වීමක් කරනනවා. නමුත් විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දී සිටින ප්‍රධානම ප්‍රශ්නය පී.සී.ආර්. පරීක්‍ෂණවල වාර්තා ලබාගැනීමට දින 4-5ක් ප්‍රමාද වීමයි. මේ වෙනකොට පරීක්‍ෂණ 4,000කට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී තිබෙනවා. වාර්තා යවන්න ප්‍රමාද වුණහම වෙනත් අත්‍යාවශ්‍ය ක්‍ෂණික මැදිහත් වීම් ගණනාවක් අඩපණ වෙනවා. ඒනිසා වහාම පී.සී.ආර්. පරීක්‍ෂණ වැඩි කරන්නත් ඉක්මනින් වාර්තා ලබාදෙන්නත් කටයුතු කළ යුතුව තිබෙනවා. මාතලේ ලග්ගල, කන්දකාඩු, රඹුක්කන, ගාල්ල, හම්බන්තොට, වගේ ප්‍රදේශවල නිරෝධායනයට යැවූ අය පරීක්‍ෂණවලට ලක්කර තිබෙන්නේ ඒ මධ්‍යස්ථානවලට ගියාට පසුවයි. මේ නිසා රෝගීන් හා එකට සිටීමෙන් ව්‍යාප්තියට බලවත් පහසුවක් ඇති වෙනවා. 
පරීක්‍ෂණ ප්‍රතිඵල ඉක්මනින් ලබාදිය යුතු බව සහ දින කිහිපයක ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල දෛනික ජන ජීවිතය අඩපණ වීම සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම මැදිහත් විය යුතුයි. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම දෛනික ආදායම් උපයන්නන්ට බරපතළම ප්‍රශ්නයක්. එක දිගට ඇඳිරි නීතිය තිබීමෙන් එදාවේල හම්බ කරන ජනතාවට ජීවන මාර්ග ඇහිරිලා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලබාගැනීමට ක්‍රමයක් නැහැ. ඒ නිසා රජය වහාම ඒ වෙනුවෙන් මැදිහත් විය යුතුයි. ජංගම අලෙවි රථ මගින් ඖෂධ ලබා දීමේ ක්‍රමවේදයක් ඇති කරන්න ඕනෑ. ආහාරපාන ලබාගන්න සහන වැඩපිළිවෙළක් ඇතිකරන්න ඕනෑ. ඡන්දයට පෙර රු. 5,000ක් ලබා දුන්නා. අද ඇඳිරි නීතිය දමා තිබුණත් ඒ වගේ තත්වයක් ක්‍රියාත්මක කර නැහැ.'

'මේ ප්‍රශ්නයට ශ්‍රී ලාංකිකයන් විදිහට, රටක් විදිහට මුහුණ දෙන්න ඕනෑ. ජනතාවගේ පැත්තෙන් වෛරස් රෝගයෙන් මිදීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපැදිය යුතුයි. මේ සඳහා බලධාරීන් අවශ්‍ය නිර්දේශ ක්‍රමානුකූලව ලබා දෙන්න ක්‍රියාකළ යුතුයි. ඒක ආණ්ඩුවේත් වගකීමක්. ආරක්‍ෂා වීම ජනතාවගෙත් වගකීමක්. දේශපාලන පක්‍ෂ, ජාතිභේද කිසිම දෙයක් අදාළ නැහැ. රටක් විදිහට සාමූහිකව මුහුණ දෙන්න ඕනෑ. ඒ අතරේ ආණ්ඩුව මැදිහත් වී මේ වෛරසය ආවේ කොහෙන්ද, වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද, පීඩනයට පත්වූවන්ට සහන සැලසීමට වහාම ඉදිරිපත්වීම යන ක්‍රියාමාර්ගවලට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව අපි අවධාරණය කරනවා.' 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka